
අමිල මලවිසූරිය
එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ පැවැත්වීමට මෙවර තෝරාගෙන ඇත්තේ අතිබහුතරයක් බෞද්ධයන් වෙසෙන අපේ රටයි. එහෙත් මෙරට ඇතැම් බෞද්ධයන්ට තවමත් හරිහැටි වැඳුම්-පිදුම් කිරීමට, ආගමික වතාවත් කරගැනීමට පන්සලක්, විහාරයක් නොමැති ගම්මාන ද නැතුවාම නොවේ. එලෙස ආගමික වතාවත් කරමින් තම දරුවන්ගේ දහම් අධ්‍යාපනයට නිසි තැනක් නොමැතිව ළතැවූ ගම්මානයක් හැටියට ඇඳගලයාය හැඳින්විය හැකිය. ඇඳගලයාය පිහිටියේ තණමල්විල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ කොටවෙහෙරමංකඩ ග්‍රාමසේවා වසමේය.
වැලිපොතයාය, ධම්වැල්ඕඩය, පොකුණුතැන්න හා කෝන්ගහමංකඩ යන ගම්මානවලට මැදිව උඩවලව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ පිහිටි ඇඳගලයාය ගම්මානය හරිහමන් පාර-තොටක් නොමැති වන අලින්ගෙන් දැඩි සේ පීඩා විඳිමින් ගොවිතැන් බතින් ජීවිකාව ගෙවන පවුල් 100 කින් පමණ සමන්විත දුෂ්කර ගම්මානයකි.
එම ගම්මුන්ගේ දහම් පිපාසාව සේම අවැසි අනෙකුත් ආගමික වතාවත් සඳහා ඇඳගලයාය ශ්‍රී අශෝකාරාම රජමහා විහාරය නමින් විහාරස්ථානයක් ගම්මානය වෙනුවෙන් ඉදිකරමින් පසුගිය 28 වැනිදා ජනයාගේ වැඳුම් පිදුම් වෙනුවෙන් විවෘත කෙරිණි. ගම්මුන් වෙනුවෙන් එම අතිඋතුම් පූජනීය සත්කාරයට මූලිකත්වය ගෙන කැපවූයේ, බළන්ගොඩ වැලිපොතයාය ප්‍රාථමික විදුහලේ විදුහල්පති සේම ධම්වැල්ඕඩය රජමහා විහාරයේ විහාරාධිපති වැලිපොත පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේය.
“මං වැඩ සිටින ධම්වැල්ඕඩය විහාරයේ ඉඳලා ඇඳගලයාය ගම්මානයට කිලෝමීටර් 5ක් විතර තියෙනවා. අපේ පන්සලෙන් තමයි ඒ ගම්මුන්ගේ සියලු ආගමික අවශ්‍යතා ඉටුවුණේ. ඒත් මගේ පන්සලේ ඉඳලා ඇඳගලයායට යනවා කියන්නේ දුෂ්කර ගමනක්. හරියට පාරක්-තොටක්වත් නෑ. ගමන්-බිමන් බොහො වෙලාවට පයින්, අත්ට්‍රැක්ටරයක එහෙම නැත්නම් බයිසිකලයකින්.
භයානකම ප්‍රශ්නේ අලින්ගේ කරදරේ. ඉතින් මීට අවුරුදු පහ-හයකට විතර කලින් දවසක් ගම්මු මගෙන් ඉල්ලීමක් කළා ‘අනේ අපේ පැටවු වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබා දෙන්න දහම් පාසලක් පටන්ගන්න’ කියලා. මම ඊට පස්සේ ඇඳගලයායට වැඩලා එහි තිබෙන ප්‍රජා ශාලාවේ 2011දී සිරි මිහිඳු දහම් පාසල ආරම්භ කළා. ඔය අතරේදී ගම්මු නැවතත් බැගෑපත් වුණා ගමට පන්සලක් ගොඩනඟලා දෙන්න කියලා. පස්සෙ මීට අවුරුදු දෙකකට පමණ ඉහතදී පන්සල ගොඩනඟන්න ගම්මුන් සමඟ පිඹුරුපත් සැකැසුවා” යැයි උන්වහන්සේ පැවසූහ.
“අවුරුදු සිය ගානක් පැරැණි පුරාණ විහාරයක් තිබිච්ච තැනකයි අපි ඔය පන්සල හැදුවේ. ගම්වාසීන් සමඟ ගොස් අභාවයට ගිහින් තිබුණ ඒ පුරාණ විහාරය ගැන සොයා බැලුවා.
නිධන් හොරු හාරාලා විනාශ කරලයි ඒ පින්බිම තිබුණේ” පසුව ගම්මුන්ගේ පරිත්‍යාගයෙන් සේම ශ්‍රම දායකත්වයෙන් පන්සල ඉදිවූ බව උන්වහන්සේ කීහ.
පවුල් සියයකට ආසන්න ප්‍රමාණයක් වෙසෙන ඇඳගලයායට මෙන්ම විහාරස්ථානයක් නොමැති පොකුණුතැන්න හා කෝන්ගහමංකඩ ගම්මානවල ජනතාවට අද රිසි සේ වැඳුම්-පිදුම් කරමින් වතාවත් කිරීමට විහාරස්ථානයක් ඉදිවී තිබේ. ඒ වෙනුවෙන් අපමණ කැප කිරීම් කරමින් වෙහෙසුණු කෙනෙකි, එම්. කේ. චන්ද්‍රාරත්න ගොවි මහතා.
“අපේ ගම්වල වෙසෙන සියලු දෙනාගේ ජීවනෝපාය ගොවිතැන. මේ ගම්මාන බිහිවුණේ 1990 පමණ කාලේ. එදා පටන් අපි මහ දුෂ්කර ජීවිත ගත කරන්නෙ. අපේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබෙන්නෙත් නෑ.
ඒ නිසා හැම තිස්සේම දරුවන්ට බෞද්ධාගම ගැන දැනුමක්වත් ලබා දෙන්නෙ කෙසේ ද කියා ළතැවෙමින් අපි සිටියේ. හරියට ආගමක්, දහමක් අදහන්න තියා පාංශුකූලයකට හාමුදුරුනමක් හිටියේ නෑ. එහෙම ඉන්නකොට තමයි අපි වෙනුවෙන් පිහිට වුණේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ. වරක් උන්වහන්සේ මීට අවුරුදු හයකට විතර කලින් අපේ ගමේ පාංශුකූලයකට වැඩියා. ඒ වෙලාවෙ අපේ දුක උන්වහන්සේට කිව්වා.
පස්සේ ලොකු හාමුදුරුවෝ අපි වෙනුවෙන් අනුශාසනා දෙමින් මඟ පෙන්වමින් වර්තමානයේ අපි ලබා තියෙන දියුණුව වෙනුවෙන් කැප වුණා” එසේ පවසන චන්ද්‍රා රත්න මහතා ඉදිවූ නව විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි.
වර්තමානයේ ගම්මුන්ගේ ආගමික වතාවත් වෙනුවෙන් අවැසි සියලු දෙයින්ම පොහොසත් ඇඳගලයාය අශෝකාරාම විහාරස්ථානයේ ඉදිකිරීම් ගැන දායක සභාවේ භාණ්ඩාගාරික සෝමසිරි මහතා කරුණු අවධාරණය කළේ මෙසේය.
“අඩි 40යි 20ක ධර්ම ශාලාවක් ඉදිකළා. ඒකෙම උඩ තට්ටුවේ අඩි 10යි 20ක සංඝාවාසයක් ගොඩනැඟුවා. සංඝාවාසය උඩකින් හැදුවේ නිතරම අලි කරදරේ නිසා. අඩි 7ක් උස ලක්ෂ එකහමාරක් පමණ වන බුද්ධ ප්‍රතිමාවක් මොරටුවෙන් වැඩමෙව්වා. බුදු පිළිමය සඳහා රුපියල් හැත්තෑපන්දහසක් පමණ වියදම් කරලා ගලක් මත ආසනයක් නිර්මාණය කළා. දැන් මේ සියලු වැඩ කටයුතු වෙනුවෙන් ලක්ෂ හත-අටක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම ගමේ සෑම දෙනාම එකා මෙන් ශ්‍රම දායකත්වයෙන් දායක වුණා” යැයි පවසන සෝමසිරි මහතා මුලින් මුදල් සොයා ගැනීම වෙනුවෙන් ගම්මුන්ගෙන් රුපියල් දාහ බැගින් එකතු කරගත් බවත් පසුව සෑම කන්නයකදීම ගම්මුන් අස්වැන්නෙන් කොටසක් පරිත්‍යාග කරමින් රුපියල් ලක්ෂ ගානක මුදලක් සොයා ගැනීමට දායක වූ බව කීවේය.
වැවත්, දාගැබත්, කෙතත් මනාව ඉස්මතු වෙමින් වැව සහ කුඹුර ආසන්නයේ අලංකාරවත් විහාරයක් වර්තමානයේ ඇඳගලයාය ගම්මානයේ ඉදිවී තිබේ. මේ විහාරස්ථානය පසුගිය 28 වැනිදා පස්වරුවේ යෙදුණු සුබ මොහොතින් ශ්‍රීපාදස්ථාන හිටපු භාරකාර කෝප්පකන්දේ සුමනතිස්ස සහ තණමල්විල ශාසන බල මණ්ඩලයේ ලේකම් මොරඇළ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගේ මෙන්ම අවට ගම්මානවල ගිහි-පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි.
“ඇත්තෙන්ම මේ ගම්මුන්ට අද තියෙන්නෙ පුදුමාකාර සතුටක්. ඒ වගේම මටත් ඒ අහිංසකයන්ගේ මූණු දැක්කම හරිම සතුටුයි. ගමේ පුංචි පැටවුන්ට මං අවුරුදු පහ-හයක්ම අතිදුෂ්කර ගමනක් ගෙවලා සෙනසුරාදා හවසට ඇවිත් ඉරිදාට දහම් පාසල කරලා ගියේ. දැන් දහම් පාසලත් පන්සලේම කරන්න පුළුවන්.” යනුවෙන් පැවසූ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් පින් කැමැති පරිත්‍යාගශීලීන්ට දායක වන මෙන්ද ඉල්ලා සිටියහ.