
කඳ මැදට වැදුණු පොලු පහරින් කොඳු නාරටිය බිඳී ගිය පිඹුරු පැටියා වේදනාවෙන් මඳක් හිස ඔසවන විට වටේ සිටි පිරිසෙන් හඬක් නැඟුණි.
“ගහපං ඔළුවටම. පනින්නයි හදන්නෙ, ගැට පොළඟ”
හිසට වැදුණු ඊළඟ පහරින් පිඹුරු පැටියාගේ එක් ඇසක් චුරු පැන්නේය. ජානමය ශක්තියෙන් ලබාගත් උරුමයෙන් වේදනාව ඉවසීමේ ශක්තියක් තිබුණත් වේදනාවෙන් ඌ හිස බිමට තබා ගත්තේය. උගේ විවර වූ ඇසින් වටේ රැස්ව සිටි පිරිස දෙස බැලීම පවා බියකරු විය.
දුරුත්තේ හීතලත් සමඟ ක්‍රමයෙන් උණුසුම් වන කාලගුණයක් සහිත එසේම ඒකතානමය ලෙස ගෙවී යෑමට තිබූ වෙන්දේසි වත්තේ දිවා කල ජීවිතය මෙම ගැට පොළඟා නිසා වෙනස්වීම පිළිබඳව උද්‍යෝගිමත් විස්මයක් හැම දෙනාම සතු විය.
ඇතැම් කාන්තාවෝ රාත්‍රියේ බලා යළි උදේ කාලයේත් බලන්නට සිටි දුක්මුසු සහ ප්‍රීතිමත් අඹුසැමි ප්‍රේමයකින් යුක්ත ටෙලි නාට්‍යයන් අමතක කර දමා සිටියහ. සැබවින්ම ගෙහිමි කාන්තාවන් ඔවුනොවුන් පිළිබඳ තොරතුරු දූසමානව දැන සිටියත් එකිනෙකා හමුවීමේ භාග්‍යය පිඹුරු පැටිය ලබා දී තිබිණි.
ගැට පොළඟා යනුවෙන් පිඹුරු පැටියා වරදවා වටහා ගෙන සිටි සර්ප දඩයක්කරුවා හතළිස් හැවිරිදි මුඩු හිස් ඇති මහත දෙහෙත එසේම වේගයෙන් තරුණ විය ඉක්මවා යමින් සිටි අයෙකි. රැකියාවේ රාත්‍රී සේවා මුරය අවසන් කර පැමිණ නිදා ගැනීමට පෙර අත්තිවාරම පමණකින් යුතු ඉදිරිපස ඇවිදිද්දී මල් ගාලකට ඇදී යන පිඹුරු පැටියා ඔහු දුටුවේය. ඒ විගස ම ඔහු පිඹුරු පැටියා ගැට පොළඟා සේ වරදවා වටහා ගත්තේය. සමීපව තිබූ ගෙවල් දෙක තුනකට කෑ ගැසූ ඔහු පොල්ලක් ගෙන උගේ පිටකොන්ද කඩා දැමීය.
පිරිස වේගයෙන් විස්සක් පමණ රැස්විය. යතුරුපැදි දෙකක් ද ත්‍රීවිලරයක් ද පැමිණ තිබිණි. මෙහිදී බොහෝ දෙනෙක් ගැටපොළඟුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තම අත්දැකීම් ඉදිරිපත් කරන්නට වූහ. සමීප පොළවල් දෙකක වට්ටක්කා විකුණන මැදි වයස් වෙළෙන්දා තම සර්ප විශේෂඥ දැනීම ඉදිරිපත් කළේ මෙසේ ය.
“නයාටත් වැඩිය ගැට පොළඟා විෂයි. අපේ මාමා කෙනෙක් ගැට පොළොගෙක් දෂ්ට කරල ජීවත් වුණේ පැය තුනයි. මළේ ගැට ගැහිල උණ්ඩි වෙලා.”
පිරිසේ සිටි තරුණ මවක තම හය මස් හැවිරිදි බිලිඳිය වඩාගෙන විස්මයෙන් මේ කතාව අසා සිටියාය. මේ සිදුවන අලකලංචිය පිළිබඳව හාංකවිස්සියක් නොදන්නා බිළිඳිය හඬන්නට වූ පසු මව කාරණය පැහැදිලි කර දුන්නාය.
“ගැට පොළඟ හප්පා. බබා කෑ ගහන්න එපා. ඌ පනීවි.”
ළඟ සිටි මැදි වයස ඉක්මවූ ගැහැනියක දරුවා ඔසවා ගැට පොළඟා පෙන්වීය. උඩට එසවුණු බිලිඳිය සන්සුන් වූවාය.
සර්ප දඩයක්කරුවා මේ මොහොතේ වෙන්දේසි වත්තේ සියලු නිවැසියන්ගේ ගෞරව ප්‍රණාමයට පාත්‍ර වී තිබිණි. ඔහු මෙයට පෙර ද සර්පයන් අල්වා බෝතල්වල දමා ළඟ කැලෑවලට ගෙන ගොස් දමා ඇති බවට කීප දෙනෙක් කතා වූහ.
සුළඟ සහිත උණුසුම් කාලගුණය හැම තැනම පැතිරී තිබිණි. කලින් රබර් හේඩාවක් වූ ඉඩම මුළුමනින් ම මුඩු කර එනම් සංවර්ධනය කර විකුණා තිබූ නිසා තවමත් බඩ් අඹ ගහක් රඹුටන් ගහක් හැරෙන්නට ගහකොළ වැඩී නොතිබිණි. නිවෙස් මුළුමනින්ම ඉදිවී තිබුණේ කීපයක් පමණි. බොහෝ නිවෙස්වල අත්තිවාරම මත නිමකර තිබුණේ කාමර දෙකක් පමණි.
“හැම තැනම මුගටියො ඉන්න හින්ද නයිනං නැතිව ඇති.” එක් ගැහැනියක කීවේ සති අන්තයේ තමන් බලන ටෙලි නාට්‍යයක් සිහිපත් කරමින්ය.
“නැත්තෙ මොකද? දවල්ට වෙලේ කළු හැපින්නක් අව්ව තැප තැපා ඉන්නවලු.”
පිඹුරු පැටියා මේ මොහොතේ සිහිපත් කළේ තම මව සහ වැඩිමල් සහෝදරයා පිළිබඳවය. අම්මා තම දරු දෙදෙනා සමඟ දිවා කල ගත කළේ බොරු පන් යායේය. ඇය ගම්මානයට ගියේ රාත්‍රී කාලයේය. බොරුපන් යායේ තිබූ සීතලෙන් මිදී වෙන්දේසි වත්තේ ගෙවල් පිටුපසින් බෙහෙවින් සැඟව දරු දෙදෙනා සමඟ ඇය හෙමිහිට ඇදී ගියාය.
අයියා අම්මාගේ හෙවණට පැවැත්මට කීකරු වුවත් තමා හිතුවක්කාර විය. මේ ඒ අකීකරු වීමේ ප්‍රතිඵලයයි. බොහෝ නිවෙස්වල බොහෝ දෙනකු රැකියාවට ගොස් ඇති නිසා අමුතු නිදහසක් භුක්ති විඳිමින් වැසූ දොරවල් සහිත මිදුල් උඩින් ඌ ඇදී ගියේය. එහෙත් අවාසනාවට සර්ප දඩයක්කාරයාගේ උකුසු ඇසට පිඹුරු පැටියා හසු විය.
හිරු එළිය දැඩි වුවත් තමන් සිටින ඉරියව්වෙන්ම සිටිය යුතු යැයි පිඹුරු පැටියා සිතුවේය. තමන් කිසියම් සසල වීමක් සිදු කළහොත් ඉතිරි ඇස ද චුරු පැනීම ඒකාන්තය.
“මං හිතන්නෙ මැරිල.” කවුදෝ කීවේය.
“බලමු, ගැට පොළඟගෙ පණ හයියයි.” දඩයක්කරුවා කීවේය.
මේ අතර පාර අයිනේ පෝච්චි මඩුවේ සේවකයන් හතර දෙනා තමන්ගේ සියලු දෛනික වැඩ අත්හැර දමා ගැට පොළඟා නැරැඹීමට පැමිණ තිබිණි. පෝච්චි මිලදී ගැනීමට පැමිණි තරුණ යුවළක් ද ඒ සමඟ විය.
“එදා අපි නාච්චිමලේ ගිය දවසෙ හොටෙල් එකේ ස්විමිං ෆූල් එක ගාවදි සිකියුරටි මරල දැම්මේ මේ වගේ එකෙක් නේද රවි.” තම ස්වාමියාගේ අතේ එල්ලී සිටි හිසකෙස් මඳක් තඹ පැහැ ගැන්වුණු තරුණ බිරිය ඇසුවාය.
“නෑ. ඌ මෙයිට වඩා හීන්. මූ සැපට හැදිච්චි එකෙක්.”
විශාල කොට කලිසමක් ඇඳ සිටි තට්ට හිසක් සහිත ස්වාමියා සිටියේ වාහනේ යතුර දකුණතේ දබර ඇඟිල්ලේ රඳවා කරකවමින්ය.
මේ අතර පෝච්චි මඩුවේ සිට පැමිණි එක් තරුණයෙකු දිග රිටක් ගෙන ගැට පොළඟා හරවා මහ හඬින් මෙසේ කීවේය.
“අපරාදෙ මේ පිඹුරු පැටියෙක්.”
“නෑ මේ පුල්ලි, වළිගෙ, ඔළුව, ගැට පොළඟමයි.” සර්ප දඩයක්කරුවා ඉක්මනින් පිළිතුරු දුන්නේය.
“කෝ විෂ දළ? පිඹුරු පැටියාගේ කට රිටෙන් විවර කරමින් තරුණයා කීවේය.
“ගහපු පාරට විෂ දළ කැඩිල.” දඩයක්කාරයා සිටියේ ස්ථිර නිගමනයේය.
මේ අතර දඩයක්කාරයාගේ තරුණ බිරිය ගෙදරට දුව ගොස් පින්තූර කොළයක් රැගෙන ආවාය.
“මේ ඉන්නෙ ගැට පොළඟම තමයි.” එහෙත් පින්තූරයේ සර්පයා හඳුන්වා දී තිබුණු නම් කොටස ඇගේ පිරිමි දරුවන් තුන්දෙනාගෙන් එක් අයෙකු රොකට් තැනීම සඳහා කඩාගෙන තිබිණි.
“අපරාදෙ පිඹුරු පැටියා. හරිනම් උන් මරණ එක නීතියෙන් තහනම්.”
පෝච්චි මඩුවේ සේවකයා තම සගයන් පිරිවරා ආපසු ගියේ තම ප්‍රකාශයට පිළිතුරක් බලාපොරොත්තු නොවෙමින්ය.
විශ්වාසය බිඳ වැටුණු බොහෝ දෙනා හෙමිහිට යන්නට වූහ. කෙසේ වුව ද තමාට යළි ප්‍රකෘතියෙන් තම මව සොයා බොරු පන්්ගාලට යා නොහැකි බව පිඹුරු පැටියා වටහා ගත්තේය. තමාගේ චුරු පැන්න ඇසත් බිඳුණු පිටකොන්දත් දුටු විට අම්මා බොහෝ ශෝක වනු ඇත.
“වළ දානව ද? පුච්චනව ද?” ඉතිරි වී සිටි පොළේ යන සර්ප විශේෂඥයා ඇසුවේය.
“වළ දානව.”
අවසානයට ඉතිරි වූයේ දඩයක්කරුවාත්, බිරියත් දරුවන් තිදෙනාත් පමණි.
“ඇත්තටම මේ පිඹුරු පැටියෙක් ද?” දඩයක්කරුවාගේ බිරිය ඇසුවාය.
“ගැට පොළඟ. ඒ පඟරනැට්ටො දන්න මළහත්තිලව්වක් නෑ.”
දඩයක්කරුවා අඩියක හමාරක වළක් කැපුවේය. අනතුරුව කඳ මැදින් රිටක් දමා ඔසවා ගෙනගිය පිඹුරු පැටියා වළ තුළට දැමුවේය.
අලුතින් පස් ගොඩ දැමූ වළ ඇතුළ සීතලය. ඒ අම්මා සමඟ සිටි බොරුපන් යායේ සීතලය. අම්මා සමඟම දැවටෙමින් සිටි තම සහෝදරයාත් තේජවන්ත සිරුරකින් යුතු එහෙත් කාරුණික තම මවත් සිහිපත් වීමෙන් පිඹුරු පැටියාගේ යහපත් ඇසට කඳුළු නැඟිණ.
රතු දුඹුරු පස් සහිත බිත්ති කඳුළින් බොඳ වූ ඇසින් දකිමින් සිටි පිඹුරු පැටියා මතට දඩයක්කරුවා ගොඩ දැමූ පස් තල්ලු කළේය. එක්වරම ඌ දුටුවේ අඳුරේ ආලෝක රේඛාවකි. අනතුරුව ක්‍රමයෙන් එය අතුරුදන් වී ඝනැති තද අඳුරකින් සියල්ල වැසී ගියේය.