
මවුවරුන්ගේ දිනයෙහි ඇරැඹුම අතීත ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරයන් දක්වා දිව යනවා. අම්මාගේ සංකේතය වූ රේහා සහ සිබෙල් දෙවඟනන්ට පුද පූජා පැවැත්වීම සඳහා යොදාගත් දිනය පසුකලෙක මවුවරුන්ගේ දිනය බවට පත් වුණා.
අද අම්මාවරුන් ගේ දිනයයි. ශ්‍රී ලංකාවේ අපි නම් දිවිය පුරාම අම්මාට ආදරය කරන ගෞරව කරන හා ඇයට සුභාසිරි පතන ජාතියක්. ඒත් යුරෝපය ඇතුළු බොහෝ රටවල් අම්මාගේ අගය, මෙනෙහි කරන ඇගේ මෙහෙවර අගයන ඇයට සුභ පතන සහ කෘතවේදීත්වය පළකරන අදහසින් මැයි මාසේ 14 වැනිදා ලෝක මවුවරුන් ගේ දිනය යනුවෙන් විශේෂයෙන් දිනයක් වෙන්කර ගෙන.
ආදරයේ උල්පත වූ අම්මාගේ කිරිවලින් සහ හිරුගේ රශ්මියෙන් ලෝකය පෝෂණය වනවා යන කියමන විශ්ව සාධාරණීය සනාතන සත්‍යයක්. එසේ වූ කල මවුවරුන් සමරන්නට වෙනම දිනයක් කුමට දැයි සිතෙන්නට පුළුවන්. මවුවරුන්ගේ දිනයෙහි ඇරැඹුම අතීත ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරයන් දක්වා දිව යනවා. ග්‍රීක හා රෝම ජාතිකයන් දේව සංකල්පය මත පදනම් වූ පිරිසක්. ඔවුන් මාතෘත්වයේ සහ අම්මාගේ සංකේතය වූ රේහා සහ සිබෙල් දෙවඟනන්ට පුද පූජා පැවැත්වීම සඳහා යොදාගත් දිනය මවුවරුන්ගේ දිනය බවට පත් වුණා. පසුකාලීනව එය පැරැණි කිතුණු ලබ්දිකයන් විසින් ‘මදරිං සන්ඩේ’ නමින් සමරන ‘Mothering sunday’ ලද උත්සවය බවට පත් වුණා. ලොව පුරා විවිධ රටවල් මවුවරුන්ගේ දිනය විවිධ දිනවල සමරනවා. උතුරු අර්ධගෝලයට අයත් රටවල් මවුවරුන්ගේ දිනය සැමරීමට අප්‍රේල් සහ මැයි මාස දෙක අතර දිනක් තෝරා ගන්නවා. නූතන මවුවරුන්ගේ දිනය සැමරීම ඇරැඹුණේ 1908 දි බටහිර වර්ජිනියාවේ ග්රාෆ්ටන්හි විසූ ඇනා ජාවිස් විසින් සිය මවගේ ගුණානුස්මරණ උත්සවයක් පවත්වමින්.
වර්තමානය වන විට ලෝකයේ රටවල් 46ක් විවිධ දිනවල මවුවරුන්ගේ දිනය සමරනවා. එදිනට සියලු දෙනම සිය මවුවරුන්ගේ ගුණ මෙනෙහි කරමින් තමා සිටින ස්ථානය වෙත ඔසොවා තබන්නට අම්මා විසින් ඉටු කරන ලද මෙහෙවර සිහි කරමින් කෘතවේදීත්වය හා සෙනෙහස ප්‍රකාශ කරනවා.
අතීත රෝම ජාතීන් දෙවියන්ගේ මවුද මාතෘත්වයේ ද දෙවඟනද වූ සිබිලි (cybele) උදෙසා පුරා දින තුනක් කෘතගුණ උත්සව පවත්වා තිබෙනවා. ඇගේ ගුණ වයමින් තුති ගී ගයමින් පාද චාරිකාවල යෙදුණු රෝම බැතිමතුන් මෙම පෙලපාලි ඉතා ජයට පවත්වා තිබෙනවා.
ක්‍රිස්තු භක්තිකයන් විසින් 1600 දී පමණ එංගලන්තයේ අම්මාවරුන්ගේ ගුණ මෙනෙහි කරමින් ඇරැඹුණු දේව මෙහෙය සහිත සංවත්සරය ඊස්ටර් දිනයට පෙර එළැඹුණු දින 40 ඇතුළත සමරනු ලැබුවා. කන්‍යා මරියතුමිය යාඥා කරනු ලැබීමෙන් අනතුරුව සෑම කිතුණු දරුවකුම සිය මෑණිවරුන්ගේ ගුණ අගයමින් ඔවුන් වෙත මල් කළඹ පිළිගන් වනු ලැබීමයි එහි දී සිදු කෙරුණේ.
පසුකාලීනව මව්වරුන්ගෙන් වෙන්ව සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවනට ආධුනිකයිනට රැකියාලාභී මෙන් ම සේවකයින්ට ඔවුන්ගේ ගුරුවරුන් හා සේවාදායකයින් මවුවරුන් වෙත ගොස් තුති පුදා සෙනෙහස පා එන්නට ඔවුනට නිවාඩු ලබා දෙමින් උනන්දු කර තිබෙනවා. ඔවුන් එදිනට මල් කලඹක් හා පලතුරු යොදා තැනූ ‘සිම්නෙල්’ නම් වූ විශේස කේක් ගෙඩියක් රැගෙන ගොස් ආදරය පළ කරනවා.
19 වැනි සියවස වන විට අම්මාවරුන්ගේ දිනය සැමරීමේ චාරිත්‍රය මුළුමනිම් නැසී ගියා. එය යළිත් කරළියට පැමිණියේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකානු සොල්දාදුවන් විසින් එම චාරිත්‍රය යළිත් අරඹනු ලැබීමෙන් පසුව හා ව්‍යාපාරිකයන් විසින් එය හොඳ වෙළඳ අවස්ථාවක් බවට පත් කර ගැනීමෙන් පසුවයි.
මවුවරුන්ගේ දිනයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ ඇමෙරිකාවේ විසූ සුප්‍රකට ලේඛිකාවක හා ක්‍රියාකාරිනියක වූ ජූලියා වෝඩ් හුවේ විසින් 1872 දී. ජුනි දෙවැනිදා මවුවරුන්ගේ දිනය සැමැරිය යුතු වවත් ඒ දිනය සාමය උදෙසා කැප කළ යුතු බවටත් ජූලියා යෝජනා කළා. 1870 දී මවුවරුන්ගේ දිනය ප්රකාශනයේදී ජූලියා සමස්ත ඇමෙරිකානු කාන්තාවන් ආමන්ත්‍රණය කරමින් යුද්ධයට එරෙහිව නැගී සිටින්නැයි ඉල්ලමින් ආකර්ශනීය ලිපියක් ලීවා. මවුවරුන්ගේ දිනය නිල වශයෙන් පත් කරගන්නට වෙහෙසෙමින් කටයුතු කළ ජූලියා කලක් යනතුරු සෑම වසරකම ජුනි මාසයේ දෙවැනි ඉරුදින මවුවරුන්ගේ දිනය සමරා උත්සව සංවිධානය කළා. ඇගේ අදහස ලොව පුරා පැතිරී ගොස් මේ වනවිට මැයි මාසයේ දිනයක අම්මාවරුන් සැමරෙන අතර බොහෝ රටවල් එදින නිවාඩු දිනයක් ලෙස සලකනවා.
මෑත කාලීනව ඇමරිකාවේ මවුවරුන්ගේ දිනයෙහි නිර්මාතෘවරිය ලෙස සැලකෙන්නේ ඇනා ජාවිස්. අවිවාහක ළදක් වූ ඇනාට ගෞරවයක් ලෙස ‘අම්මාවරුන්ගේ දිනයෙහි අම්මා” යන විරුදාවලියෙන් ඇය පුදනු ලබනවා. ඇනා මවුවරුන්ගේ දිනය සැමැරීමේ ආභාසය ලැබුයේ ඇගේ මව වූ ඇනා මරී ඊවිස් ගෙන්. ක්‍රියාකාරී සමාජ සේවිකාවක වූ ඇනා මරී ඒ වන විට ඇමරිකානුවන් කෙරෙන් ගිලිහී යමින් තිබූ මව් ගුණ ඇගැයීම යළි සමාජගත කරන්නට වෙහෙස නොබලා කටයුතු කළ කාන්තාවක්. ඇනා මරී 1905 දී මිය ගිය අතර ඇගේ දියණිය ඇනා ජාවිස් සිය අම්මාගේ මෙහෙවර ඉදිරියට ගෙන යන්නට ඇප කැප වුණා. ඇගේ සටනෙහි ප්‍රතිඵලයක් ලෙස 1911 දී ඇමරිකාවේ හිටපු ජනාධිපති වූඩ්රෝ විල්සන් සෑම වසරකම මැයි මාසයේ දෙවැනි ඉරුදින ‘මවුවරුන්ගේ දිනය’ ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
වර්තමානය වන විට ඇමෙරිකාව, එංගලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, තුර්කිය, මැක්සිකෝව, කැනඩාව, බෙල්ජියම, චීනය, ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් 46ක් මවුවරුන්ගේ දිනය සමරනවා. අම්මා ගේ ගුණ ගයනවා. ආදරය පළ කරනවා. අද අම්මාවරුන්ගේ දිනය කොතරම් ජනප්‍රිය ද යත් බොහෝ රටවල දුරකථන සන්නිවේදන මාර්ගවල දැඩි තදබදයක් පවතිනවා. ඒ ලෝ පුරා විසිරී සිටින දරුවන් වෙන්ව සිටින සිය මවුවරුන්ට සුභ පතා ආදරය පළකරන හෙයින්. තෑගි, බෝග, කේක් සහ මල් පිරිනැමීමත් ඒ ලෙසම කෙරෙනවා.
හැම දේම විකුණාගෙන කන්න බලන ව්‍යාපාරිකයන්ට අද මවුවරුන්ගේ දිනයත් අම්මාගේ ආදරයත් හොඳ අලෙවි භාණ්ඩයක් බවට පත්වෙලා. අමිල වූ මවු සෙනෙහස මිල කරන්නට වෙළෙඳුන් අතර ඇති තරගය කොතරම් ද යත් දැන් එය ආදරවන්තයන්ගේ දිනයටත් වඩා අලෙවිකරණයේ ගොදුරක් බවට පත්වෙලා. ඇමෙරිකානුවන්ට අමතක වූ මවු සෙනෙහස යළි සිහිගන්වා කෘතගුණ සැලකීමේ යහගුණය වැඩීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තම ජීවිතය කැප කළ ඇනා ජිවිස් මේ තරගය පිළිබඳ බෙහෙවින්ම කනගාටු වන බවත් එරටින් වාර්තා වනවා.