පළාත් සභා පනත අනුව ලැබිය යුතු බලතල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදිය යුතු බවට මහ ඇමැතිවරුන්ගේ සම්මේලනයෙන් ඉදිරිපත් වූ යෝජනාව සර්ව සාධාරණ බවට විද්වත්හු අවධාරණය කරති. පසුගිය දා අනුරාධපුරයේදී පැවති සමුළුවේදී මේ පිළිබඳ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වී ඇති අතර නව ව්‍යවස්ථාවෙන් එය ඉටු වන බවට ජනාධිපතිවරයා විශ්වාසය පළකර තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්නගේ මතය වන්නේ බලය බෙදා හැරීමේ ක්‍රියාවලියෙහි දී පළාත් සභාවලට ව්‍යවස්ථානුකූල ව ලබාදුන් බලතල ක්‍රියාත්මක වීමට ඉඩ නොදී රඳවා තබා ගැනීම වරදක් බව ය.
මහ ඇමැතිවරුන් ගේ ඉල්ලීම යුක්ති යුක්ත බව පවසන මහාචාර්යවරයා, සෑම පළාත් සභාවක ම මහජන නියෝජිතයන් මෙන් ම එහි සේවය ලබන මහජනයාද පළාත් සභා අනවශ්‍ය යැයි කිසිවිටෙක කියා නොමැති බවක් පළාත් සභා සුදු අලියකු බවට පත් නොකර නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමේ කැමැත්තෙන් පසුවන බවත් පවසයි.
පළාත් සභාවට හිමි සියලු බලතල ලබාදීම නව ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා වී ඇති බව ඔහු අවධාරණය කරයි.
මේ පිළිබඳ අදහස් දක්වන අධිනීතිඥ ලාල් විජේනායක මහතාගේ මතය වන්නේ මහ ඇමැතිවරුන් ගේ ඉල්ලීම සාධාරණ බවත් 13 වැනි ව්‍යවස්ථාවවේ සියලු බලතල පළාත් සභාවලට ලබාදීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් පියවරක් වන බවත් ය.
දැනට විවාදයට තුඩු දී තිබෙන ඉඩම් බලතල ලබාදීම විෂයෙහි දී ඉඩම් අයිතිය රජය සතුව තිබිය දී භාවිතය පිළිබඳ අයිතිය පළාත් සභාවලට පැවරෙන බව ද ඔහු පැවසීය. මේ අනුව ඉඩම් පිළිබඳ තීන්දු ගැනීම සඳහා පිහිටුවීමට නියමිත ජාතික ඉඩම් කොමිසන් සභාවෙහි සාමාජිකයන් ලෙස ඉඩම් ඇමැති මෙන් ම මහ ඇමැතිවරු ද කටයුතු කරති.