ගෙවීගිය වසරේ වැඩිම ආදායමක් ඉපයූ ළාබාලම ක්‍රීඩිකාව | සිළුමිණ

ගෙවීගිය වසරේ වැඩිම ආදායමක් ඉපයූ ළාබාලම ක්‍රීඩිකාව

ප්‍රශාන්ත ඇල්පිටිය

ක්‍රීඩා ඉතිහාසය පුරාවටම දක්ෂතාවයි රූමත්කමයි තිබූ ක්‍රීඩිකාවන්ට වැඩි ජනප්‍රියතාවයක් තිබුණි. ඔවුන් අතරින් බහුතරයක්ම ටෙනිස් ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි. 1980 දශකයේ මැද භාගයේ සිට 90 දශකයේ වැඩි කාලයක් එසේ රූමත්කම සහ දක්ෂතාව නිසා ලොව ජනප්‍රියතම ක්‍රීඩිකාව බවට පත්වූයේ ආර්ජන්ටිනාවේ ගැබ්රියෙලා සබාටිනිය. 2000 දශකයේ දී එම තැනට පත්වූයේ රුසියාවේ ඇනා කුර්නිකෝවාය.

ඉන් අනතුරුව තවත් රුසියානු ක්‍රීඩිකාවක වන මරියා ෂරාපෝවා එම තැනට පත්වූවාය. ඉදිරියේදී එම තැන හිමිකර ගනු ලබන ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නේ කැනඩාවේ ඉයුජිනි බුචාර්ඩ්ය. මෙම සියලුම දෙනාම ටෙනිස් ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි. එමෙන්ම ඔවුන් ලොව ධනවත්ම ක්‍රීඩිකාවෝ බවටත් පත්වූහ. එහිදී ක්‍රීඩා කිරීමෙන් උපයන මුදලට වඩා වැඩි මුදලක් වෙළෙඳ අනුග්‍රාහකයන්ගෙන් ඔවුනට හිමි වීම තවත් විශේෂත්වයකි.

ඉයුජිනි තවමත් 23 හැවිරිදිය. නමුත් ඉකුත් වසරේදී ලොව වැඩිම ආදායමක් ඉපයූ ක්‍රීඩිකාවන් අතරින් 10 වන තැනට පත්වීමටත් ඇයට හැකිවූවාය. එහිදී ඇය විසින් ඉපයූ මුළු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 6.2 කි. මින් ක්‍රීඩා කිරීමෙන් ලද මුදල මිලියන 0.7 කි. ඉතිරි මිලියන 5.5 වෙළෙද අනුග්‍රාහකයන්ගෙනි. ගිය වසරේ වැඩිම ආදායමක් ඉපයූ ක්‍රීඩිකාවන් දස දෙනාගෙන් ළාබාලමයා වූයේත් ඉයුජිනිමය.

ඉයුජිනි ක්‍රීඩාවට යොමු වුයේ වයස අවුරුදු 05 සිටය. ඇය දකුණත හුරු ක්‍රීඩිකාවකි. ඇගේ උස අඩි 5 අඟල් 10 කි. 2009 වසරේ සිට ඇය වෘත්තීයමය ලෙසට ක්‍රීඩා කරමින් සිටින්නීය. කේවල (තනි) ශ්‍රේණිගත කිරීම්වලදී ඇගේ ඉහළම දක්ෂතාව වනුයේ ලොව අංක 05 තැන හිමිකර ගැනීමයි. ඒ 2014 වසරේදීය. මේ වන විට ලොව අංක 59 වැනි තැනට ඇය පත්ව සිටින්නීය. ඒ ඉකුත් කාලයේදී විවිධ ආබාධයන්ට ලක්වීමත් දස්කම් අතරට පිවිසීමට නොහැකිවීමත් නිසාවෙනි.

ඇගේ ඉහළම දස්කම දක්නට ලැබුණේ 2014 වසරේදීය. එහිදී සිය ප්‍රථම කාන්තා ටෙනිස් සංගමයේ කේවල ශූරතාව හිමිකර ගැනීමට ඇය සමත් වූයේ ජර්මනියේදීය. එමෙන්ම සුප්‍රකට විම්බල්ඩන් කේවල අනුශූරිය වූයේත් ඇයමයි.

මීට අමතරව 2011 විම්බල්ඩන් බාලිකා යුගල, 2012 විිම්බල්ඩන් බාලිකා කේවල සහ බාලිකා යුගල ශූරිය බවටත් ඇය පත් වූවාය. ඉහත 2014 විම්බල්ඩන් කේවල අනුශූරිය වීමෙන් ඇය සුවිශේෂි වාර්තාවක් පිහිටුවූවාය. එනම් කැනඩාවේ උපත ලබා එරට නියෝජනය කරමින් ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල අවසන් තරගයකට සුදුසුකම් ලැබූ ප්‍රථමයා වීමයි. මීට ක්‍රීඩකයන් ද අයත්ය. මෙවැනි දස්කම් නිසා 2013 වසරේ නවක ක්‍රීඩිකාව සහ 2014 වසරේ වර්ධිතම ක්‍රීඩිකාව යන සම්මානයන් ද්විත්වයත් ඇයට හිමි විය.

1994 වසරේ පෙබරවාරි මස 25 වැනිදා ඉයුජිනි ජෙනි බුචාර්ඩ් උපත ලැබුවාය. ඒ කුබෙක් ප්‍රාන්තයේ මොන්ට්‍රියල් නුවරදීය. නමුත් මේ වන විට ඇය පදිංචිව සිටින්නේ අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි නුවරය.

ඉයුජිනිගේ පියා වන මයිකල් බැංකු නිලධාරියෙකි. මව වනුයේ ජූලි ලික්ලෙයාර්ය. ඉයුජිනිට බියට්‍රිස් නමින් නිවුන් සොහොයුරියක් ද සිටින්නීය. බියට්‍රිස් විනාඩි හයකින් ඉයුජිනිට වඩා වැඩිමහල්ය. මෙම සොහොයුරියන් නම් කරනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ ඇන්ඩෘ කුමරුගේ දියණියන් සිහිපත් කරමිනි.

මීට අමතරව ඉයුජිනිට චාර්ලට් නැගණියත් විලියම් මල්ලිත් සිටිති. ඇයට ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා චතුරව හැසිරවිය හැකිය. මේ වන විටත් කැනඩාවේ සුපිරිතම ටෙනිස් ක්‍රීඩිකාව වන්නේ ද ඉයුජිනිය.

 

Comments