“තොල්පට විකා­ගෙන විඳවන්න එපා! ” | සිළුමිණ

“තොල්පට විකා­ගෙන විඳවන්න එපා! ”

අම්මාගේ ආදරය තරම් උතුම් සැපතක් මෙලොව මිහිපිට තවත් නෑ. රජ කුමරකුට වුවත් අම්මා නැති කල දැනෙන වේදනාව හෝ අඩුව පුරවන්නට සමත් වන කෙනෙක් සොයා ගන්නට අසීරුයි.

බ්‍රිතාන්‍යයේ රජ පවුලේ ඔටුන්න හිමි චාල්ස් කුමරා සහ ඩයනා ආර්යාවගේ බාල පුතා හැරී කුමරු පසුගියදා බාල වියේදීම සිය මව අහිමි වීමෙන් තමාට අත්විඳීමට සිදු වූ වේදනාබර අත්දැකීම් සහ ඉන් ඇතිවූ මානසික බිඳ වැටීම පිළිබඳව ටෙලිග්‍රාෆ් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා. තමා දොළොස් හැවිරිදි භද්‍ර යෞවනයකුව සිටියදී අනපේක්ෂිතව සිදුවූ සිය මවගේ අභාවයෙන් තමා කොතරම් කම්පාවට පත්වුණා ද යන්නත් සියලු රජ සැප පිරි විසල් මාලිගාවක, දහසක් දැසිදස්සන් හා ඥාතින් මැද වුවත් තමාට කොතරම් තනිකමක්, අසරණ බවක් දැනුණා ද යන්නත් ඔහු එහිදී විස්තර කර තිබුණා.

මවගේ වියොව

තම ආදරණීය මවගේ වියොවින් ඇතිවූ වේදනාව මකා ගන්නට තනිවම තම සිත හා කළ සටනෙහි ප්‍රතිඵලයක් ලෙස තමා සම්පූර්ණයෙන්ම මානසික ව්‍යාකූලත්වයට පත්වුණු බවත් ඒ සඳහා මනෝ උපදේශන හා ප්‍රතිකාර ලබා ගන්නට සිදු වූ බවත් ඔහු පවසා තිබුණා. කුඩා වියේදී වුවත් පිරිමි ළමයකු වූ තමාට අම්මා නැති දුක හා තනිකම නිහඩව දරා ගැනීමට මෙන්ම තමා ‘හොඳින්’ සිටින බව උඩු තොල්පට තද කරගෙන කඳුළු සඟවා ගනිමින් අවට ලෝකයාට පෙන්වන්නට සිදුවූ අතර ඒ සඳහා සිත තුළ බරපතළ අරගලයක් කරන්නට සිදු වූ බව ද ඔහු පවසා තිබුණා.

මොන දේ තිබුණත් අම්මාගේ ආදරය තරම් ඒ කිසිවක් නොවටිනා බව හැරි කුමරාගේ ‍මේ වදන්වලින් සනාථ වෙනවා. ඔහු මෙසේ සිය සිතැඟි නොපැකිළ ඉදිරිපත් කළේ මානසික ආතතියෙන් මිදීමට ගත හැකි පියවර පිළිබඳ ජනතාවට සිය අත්දැකීම් තුළින්ම පණිවිඩයක් නිකුත් කරමින්.

වේදනාව හඬා දොඩා පිට කිරීම

හිතේ ඇතිවන වේදනාව හඬා දොඩා පිට කිරීම ගෑනු ගතියක් බව අපට කියා දෙන්නේ පුංචි කාලෙදිමයි. විශේෂයෙන්ම පිරිමි ළමුන්ට වේදනාව, බිය, කෝපය හෝ ලජ්ජාව දරාගෙන ඒ හැඟීම් පාලනය කරගන්නට වැඩිහිටි අප බොහෝ විට බල කරනවා. දුකට වේදනාවට අඬන පුතාට අම්මා කියන්නෙ ‘චී චී ලජ්ජා නැද්ද ගෑනු ළමයෙක් වගේ අඬන්න? කඳුළු පිහදාගෙන හිනාවෙන්න’ කියලයි. ඒත් කුඩා කාලෙදි පටන්ම දැඩි ලෙස ආවේග පාලනය කරන්නට දරුවන් හුරු කිරීම නුසුදුසු බවයි මනෝ වෛද්‍ය උපදේශකයන් පවසන්නේ. එලෙස තදබල ලෙස හැඟීම් පාලනය කිරීමෙන් ඔවුන් එම ආවේග පිට කිරීමට වෙනත් අයහපත් ප්‍රතික්‍රියා දක්වන්නට හුරු වෙනවා. තරහ, දුක හෝ චිත්ත පීඩා පිට කරගන්නට දරුවන් දඟකාරකම් අකීකරුකම් වගේම අයහපත් චර්යාවන් පළ කරන්නත් ඉඩ තිබෙනවා.

මෙවැනි දරුවන් අකීකරු මුරණ්ඩු පුද්ගලයන් ලෙස වැඩෙන අතරම මත්ද්‍රව්‍යවලට විවිධ අපචාර හෝ සමාජ විරෝධි ක්‍රියාවලට පහසුවෙන්ම පෙළැඹෙන්නට ඉඩ තිබෙන බව මනෝ විද්‍යාඥයන් පවසනවා.

මානසික ආතතිය

ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරමින් පසුගිය සති කිහිපය පුරා ලෝකයේම අවධානය මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් කෙරෙහි යොමුව තිබුණා. හැරී කුමරා ටෙලිග්‍රාෆ් පුවත්පතට සිය අදහස් පළ කළේ මෙවැනි වැඩසටහනකට සහභාගි වෙමින්. ආසියාතික රටවල ජනතාව මෙන් බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල ජනතාව සිය දුක වේදනාව හඬා වැළපී පළ කරන්නේ අඩුවෙන්. කඳුළු සඟවා සිනාසෙන්නටත් තොල්පට විකාගෙන ආවේග පාලනය කරගන්නටත් ඔවුන්ට හුරු පුරුදු කරන්නේ පුංචි කාලේ පටන්මයි. එහි ප්‍රතිඵලය වන්නේ හැරී කුමරා වැනි සුඛිතමුදිත ජීවිත ගතකරන්නන් අතර පවා මානසික ආතතියට හා මනෝ ව්‍යාධිනට ගොදුරු වූ බොහෝ පිරිසක් ඒ රටවල විසීමයි. මානසික රෝග අද යුරෝපය පුරා පැතිර යන බෝ නොවන රෝගයක් වගෙයි. බාල තරුණ මහලු කොයි කා අතරත් එය සුලබ තත්ත්වයක් බවට පත්වෙලා. අනාගත පරම්පරාව මේ මානසික ව්‍යාධි ව්‍යසනයෙන් බේරා ගැනීමට දැන් එරට සෞඛ්‍ය මෙන්ම සමාජ සංවිධානත් මුල් වී කටයුතු කරනවා. මානසික ව්‍යාධියකට ගොදුරු වූවන්ට දැනෙන ප්‍රධානම ගැටලුව වන්නේ ඔවුන් මෙලොව තනි වී ඇති බවක් දැනීමයි. සමාජයේ පිළිගත්, උසස්, පොහොසත් ජනතාව අතර් තමා වැනිම කටුක අත්දැකීම්වලට මුහුණ දුන්, දුක් පීඩා, බාධක හා අභියෝග මැදින් ජීවිතය දිනාගත් පුද්ගලයන් සිටින බවත්, තමාගේ දුක වේදනාව බෙදා හදාගන්නට තවත් අය සිටින බවත් දැනගැනීම ඔවුන්ගේ සිත්සතන් සනහන සහනදායී පුවතක්. ඒ පණිවිඩය දීම සඳහා සමාජයේ වැදගත්, පිළිගත් ජනප්‍රිය චරිත හඳුන්වා දෙමින් ඔවුන්ගේ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩසටහන් දැන් බ්‍රිතාන්‍යය පුරා පැවැත්වෙනවා. හැරී කුමරා පසුගියදා සහභාගි වූ එම වැඩසටහනට තවත් එවැනි ප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙකුම සහභාගි වුණා. සිය සොහොයුරාගේ කනගාටුදායක කතාව පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ වැඩිමල් සොයුරා වූ විලියම් කුමරු පවසා තිබුණේ බ්‍රිතාන්‍යයන්ට දැන් සිය තද කරගත් උඩු තොල්පට ලිහිල් කරගන්නට කාලය උදාවී ඇති බවයි. දුක වේදනාව හිතේ හිරකරගෙන කඳුළු සඟවාගෙන ලොවට පෙනෙන්නට සිනාසෙනවා වෙනුවට කා සමඟ හෝ කතාබහ කර හිතේ වේදනාව අඩුකර ගැනීම වඩා සුදුසු බව විලියම් කුමරා පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධනය

“මගේ දරුවන් වන ජෝර්ජ් කුමරාට සහ චාලට් කුමරියට මා කියා දෙන්නේ කතාබහ කර තමන්ගේ සංවේදනාවන් පළ කරන ලෙසයි” යැයි බ්‍රිතාන්‍යයේ ආදිපාදවර විලියම් කුමරා පවසා සිටිනවා.

පසුගියදා කෙන්සින්ටන් මාලිගාවේ සිට ප්‍රචාරය කෙරුණු වීඩියෝ දර්ශනයකට සහභාගි වෙමින් ජනප්‍රිය ගායිකා ලේඩි ගාගා සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී විලියම් කුමරා මේ බව සඳහන් කළා. මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා පළ කරනු ලබන පුණ්‍ය සඟරාවකට අදහස් පළ කරමින් කුමරා පැවසුවේ ජනප්‍රිය පුද්ගලයන් තමාට මුහුණපාන්නට සිදු වූ කටුක අත්දැකීම් හා ඒවාට මුහුණ දුන් ආකාරය පිළිබඳව ජනතාව ඉදිරියේ විවෘතව ප්‍රකාශ කිරීමෙන් එවැනි දුක් පීඩාවන්ට ගොදුරු වූවන් තුළ ඉන් මිදීමට අවශ්‍ය චිත්ත ධෛර්යය වර්ධනය කළ හැකි බවයි.

“කැතීට සහ මට අවශ්‍ය වන්නෙ අපේ දරු දෙදෙනා සිය සිතැඟි නොසඟවා කතා කරනු දැකීමටයි. පසුගිය වසර පුරාම අපි දරුවන්ගේ පාසල් වෙත ගොස් ඔවුන්ගේ හඬට සවන් දුන්නා. වැඩිහිටියන් කෙළින් කතා කරගන්නට බැරිව තතනන බොහෝ දේ පිළිබඳව කිසිදු පැකිළීමකින් තොරව දරුවන් කතා කරන ආකාරය දැක අපි අමන්දානන්දයට පත් වුණා. මෙයින් මට වැටහුණේ අනාගතයේදී හැඟීම් නොසඟවා කතාබහ කරන්නට සූදානම් පරම්පරාවක් අපේ රටේ බිහි වනු ඇති බව යැයි ද කුමරා කියනවා.

පසුගියදා ස්ට්‍රෝම්සි විසින් තමා මුහුණ දුන් මානසික ගැටලුව පිළිබඳ ප්‍රසිද්ධියේ පවත්වන ලද සාකච්ඡාව තරුණයන්ට තමාගේ ගැටලු සහ හැඟීම් පිළිබඳ විවෘතව කතා කරන්නට විශාල රුකුලක් වූ බව නිසැක යැයි ද ඔහු කියනවා.

“උඩු තොල විකාගෙන හැගීම් පාලනය කරගත යුතු අවස්ථා තිබෙනවා. එහෙත් ඔබේ සෞඛ්‍ය පරදුවට තබා එය නොකළ යුතු” යැයි කුමරා කියනවා.

සුව නින්දක්

විලියම් කුමරා සමඟ පවත්වන ලද වීඩියෝ සාකච්ඡාවේ දී ලේඩි ගාගා තමා දහනව හැවිරිදි යෞවනියකව සිටියදී දූෂණයට ලක් වීමෙන් පසුව මුහුණ පෑ මානසික අවපීඩන තත්ත්වය පිළිබඳව අනාවරණය කළා. “මානසික රෝගයකට ලක් වූ බව කීමට ලැජ්ජාවක් ඇතිවෙනවා. ඔබට කිසිවක් වැරැදී ඇතැයි සිතෙනවා. එහෙත් ඒ සියලු පරාජිත සිතිවිලිවලින් මිදී තමා සතු වූ කිසියම්ම යහපත් දෙයක් ගැන සිතන්න. මගේ ප්‍රශ්නයේදී මා සිතූයේ දෙවියනේ මා සතුව කොයිතරම් සුන්දර දේ තිබෙනවා ද?

ඒ ගැන සිතා සතුටු විය යුතු බවයි. එහෙත් ඔබට සිදු වූ කනගාටුදායක සිදුවීම ගැනම සිතමින් තැවුණොත් රාත්‍රියට ඔබට සුව නින්දක් ලැබෙන්නේ නෑ. උදේට අවදි වීම වෙහෙසකරයි. දවස පුරා කෙඩෙත්තු ගතියක් දැනෙනවා. එයින් ඔබ මතට හෝ අලස බවට ගොදුරු වෙන්නට පුළුවන්. කොතරම් අමාරු වුවත් මේ සිතිවිලි පරදා ඔබ නැඟී සිටින්නට ඕනෑ. ඔබේ වේදනාව තව කෙනෙකුට පවසන්න. එයින් ඔබට සහනයක් දැනේවි. ඔබේ සිත දුකින් පිරුණු හැම විටම ඔබ තනි වූ බව නොසිතන්න. අපේ පරම්පරාව මානසිකව ශක්තිමත් කරන්නට අපි එක්ව කටයුතු කරමු” යැයි ලේඩි ගාගා එම වීඩියෝ පටයෙන් කියා සිටිනවා.

Comments