
මහල් නිවාස සංකීර්ණ භූමියේ ක්‍රීඩාංගණය ළමයින්ගෙන් පිරී තිබිණි. ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩා ඝෝෂාව අහස්තලයට ඉගිළී ගොස් යළි නේෂන් වෛද්‍යවරයා සොයා ගෙන ද පැමිණ ඇත්තේ ඔහු ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙකු බව දන්නා සේ ය.
සැන්දෑව දැඩි හිරු රශ්මියෙන් තොර විය. ක්‍රීඩාංගණයට ගොස් ළමයින් ක්‍රීඩා කරන සැටි බලා සිටීමේ අදහසක් නේෂන් වෛද්‍යවරයා සිත උපන්නේය.
ක්‍රීඩාංගණය වටා විවිධ පලතුරු ගස් සිටුවා ඇත. උසට වැඩුණ ගස් යට ලී බංකු ඇත්තේ තුරු සෙවණක සිට ක්‍රීඩා නැරැඹීමේ පාරිසරික සතුට නරඹන්නාට දීමටය. කුඩා පැළ කාලයේ සිටම තුරු පෙළෙහි සුව දුක් සොයා බැලීම ආරක්ෂා කිරීම නගර සභාව පවරා ගෙන ඇත.
නේෂන් වෛද්‍යවරයා සෙමෙන් සෙමෙන් ක්‍රීඩාංගණය දෙසට යන්නට විය. ක්‍රිකට් ක්‍රීඩාවට බැඳුණු ඔහුගේ ළමා කාලය සිහිවන විට ඔහු සිත සොඳුරු සිනාවක් උපන්නේය.
ළමා වියේදී ඔහු ක්‍රිකට් ක්‍රීඩා කළේ තනිවමය. නිවෙසේ කුඩා ගෙමිදුලේ ක්‍රීඩා කිරීමට අහල පහල ළමයින් කැඳවීමට නේෂන්ට අවසර තිබුණේ නැත. ඒ ආච්චි අම්මාගේ තහනම් නියෝගයකට අනුවය.
නේෂන් පන්දුව එල්ල කර ගත්තේය. පිති හරඹය පෙන්නුවේය. පන්දු රැක්කේය. මේවා බලා සිටි අම්මා දුක් සුසුම් හෙළුවේ නැන්දම්මාගේ වචනයකට ඉහළින් යෑමට නොහැකිවය.
වෛද්‍ය විද්‍යාලයට පා තැබූ පළමු දවසේ නේෂන් වෛද්‍ය ශිෂ්‍යයාට ඒ අතීත පුරුද්දට තවත් වරක් අනුගත වන්නට සිදු විය.
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් ඔහුට කීවේ තනිවම ක්‍රිකට් ගසන්නටය. මෙකල මෙන් එකල මාරාන්තික වධ දීම් සිදු වූයේ නැත. ඒ අහිංසක වධය නේෂන්ට සොඳුරු මිහිරක් ගෙන දුන්නේය. මෙකල මෙන් එකල අධ්‍යාපනය තුළම විනය ශික්ෂණය සදාචාරාත්මක ආකල්ප වල්වැදී තිබුණේ නැත. ඔහු ක්‍රිකට් ගැසුවේ සිනාසෙමිනි.
“මොකද උඹ හිනාවෙවී සෙල්ලම් කරන්නේ?”
මවා ගත් රකුසු මුහුණකින් ශිෂ්‍යාවක් අසා සිටියාය.
“සතුටට”
ඔහු වහා කීවේය.
“පුංචි ම පුංචි කාලෙත් මං තනිය ම ක්‍රිකට් ගැහුවා මැතිනිය.”
රකුසු මුහුණ ඇත්තී තවත් රවන්නට උත්සාහ කළත් ළදැඩි නොවූ නිසාදෝ ඇයට සිනා පහළ විය.
“ඔය ඇති සුජාතා. අනේ අපි යමු.”
ඉතා මිහිරි කාරුණික අයැදුමක් නේෂන් ගේ කන වැටුණේය. මිහිරි කාරුණික හඬක් ඇත්තී කවුදැයි බැලීමට නේෂන්ට ඕනෑ වුණත් ඔහු එවැනි පෙරගාමී ක්‍රියාවකට බිය විය. සුජාතා පසුව ඔහුගේ මිතුරියක වූවාය. මිතුරියගේ මිතුරිය ෂර්මිලා ඔහුගේ පෙම්වතිය වී පසුව බිරිය වූවාය. රෝජා සඳපාණි දියණිය ද ලබා දුන්නා ය.
සිහිපත් කොට වින්දනය කළ හැකි සුන්දර සිදුවීම් දුක්ඛාන්තයකින් කෙළවර වීමේ සොබාව ඇති අතීතය සමඟ පියවර එසවූ නේෂන් වෛද්‍යවරයා ක්‍රීඩාංගණයේ කෙළවරක සෙවණැති ගසක් මුල බංකුවක හිඳ ගත්තේය.
හතරේ පහරක් ගැසීමේ ප්‍රීතියෙන් උද්දාම වූ පිතිකරු පක්ෂයේ ජය ඝෝෂාව පිට්ටනිය ඉක්මවා යන්නට විය. ජයග්‍රාහක පිතිකරුවා ඇඳ සිටියේ චීත්ත කලිසමකි. සිහින් සිරුරට වඩා කලිසම විශාලය.
නේෂන් වෛද්‍යවරයා ඇසට අසුවන මායිමේ සිටිනා දරුවන්ගේ මුහුණු මත දෙනෙත් රැඳවූයේ කල්පනාවෙනි. ලේ පිපාසිත මෘගයන් සේ ජයග්‍රහණය හඹා නොයනතුරු සියලු ක්‍රීඩාවන්, මිනිසුන් සාමූහිකත්වයෙන් ග්‍රහණයට ගන්නා අපූරු ශක්තිමත් යදමකි.
කලිසම් සාක්කුව තුළ රුවා ලු නේෂන් වෛද්‍යවරයාගේ ජංගම දුරකථනය ඇමතුමක නාද දෙන්නට විය. ඔහු දුරකථනය අතට ගත්තේය.
“සර් සෙල්ෆියක් ගහන්න ද හදන්නේ?”
ඔහු අසල සිටි කුඩා කොලුවෙක් ඇසුවේ නේෂන් සිනා ගන්වමිනි. කුඩා කොලුවා මහත් ආසාවකින් දුරකථනය දෙස බලා සිටීම නේෂන්ගේ සිතට ගෙන ආවේ රුක්නාද් අරුණාචලම් මන්ත්‍රිවරයාවය.
රුක්නාද් අරුණාචලම් නිරන්තරයෙන් ම නවීන තාක්ෂණයෙන් අධ්‍යාපන විෂයයෙහි ලා ගත හැකි සාධනීය සමාජ අභිවෘද්ධිය ගැන විවිධ මත ප්‍රකාශ කරන්නෙකි.
“ටිකක් ඉන්න පුතා. මං මේ කෝල් එකෙන් පස්සෙ සෙල්ෆියක් ගහමු.”
නේෂන්ට දුරකථන ඇමතුම දියණියගෙනි.
“තාත්තේ රුක්නාද් අරුණාචලම් මහත්තයා තාත්තා මුණ ගැහෙන්න ඇවිත්”
“වාඩිවෙන්න කියන්න මං එනවා.”
“නෑ එයා තාත්තා ඉන්න තැනට එන්නන්ලු.”
“එහෙනම් එන්න කියන්න.”
නේෂන් රුක්නාද් එනතුරු දරුවන් හා සෙල්ෆි ඡායාරූප ගන්නට විය. ආදරණීය වැඩිහිටියා වටකර ගත් දරුවන් උනුන් පරයා ඔහුට ළං වන්නට උත්සාහ ගත්තේ ඔහුටත් නොදැනෙන්ට මෙනි.
අහිංසක පෙනුමක් ඇති කුඩා පිරිමි ළමයෙක් නේෂන් ගේ දෙදණ මත හිඳ ගැනීමේ ආක්‍රමණශීලී උත්සාහයක් ගත්තේ ගෙල පිටුපසට හරවමින් නේෂන්ගේ මුහුණ ද බලමිනි. දරුවාගේ සෙනෙහෙබර ආක්‍රමණශීලී මුදු පහස නේෂන් තුළ සතුටක් ඇති කළේ ආගන්තුකවය.
“මමත් දැන් සීයා කෙනෙක් වෙන්න ඕන කාලෙ ඇවිත්.”
යටි සිතට පැමිණි ආගන්තුක සතුට හදවත පුරා පැතිරී යන්නට විය. ඔහු එය මොහොතකට අමතක කර දුරකථනයෙන් ළමයින්ගේ ඡායාරූප තුන හතරක් ගෙන නැගී සිටියේ රුක්නාද් අරුණාචලම් එන මඟ බලන්නටය. ඔහු ක්‍රීඩාංගණයට පැමිණෙමින් සිටියේ රෝජා සඳපාණි ද සමඟය.
මන්ත්‍රීවරයාට පියා සිටින ඉසව්ව පෙන්වූ තරුණිය ආපසු හැරී ගියාය. නේෂන් අත වනමින් රුක්නාද් තමා වෙත කැඳවා ගත්තේය.
රුක්නාද්ගේ මුහුණ අඳුරුය. කලබල සහගත දෙනෙත් හාත්පසට යොමු වුණේ කිසිවෙක් තමා හඹා එන්නේදැයි දෙගිඩියාවෙන් හෝ සැකයෙනි.
“ඇයි රුක්නාද් මහත්තයා? මොකද කලබලෙන් වගේ? අසනීපයක් ද?”
“කලබලයක් නම් තමා. ඒත් අසනීපයක් නෙමේ. ආයෙත් අපේ අය නුවුවමනා ප්‍රශ්නයක් ඇති කර ගන්නයි යන්නෙ. කලබලයක් ඇති වෙයි කියලා හිතෙනවා.”
“ඒ කිව්වෙ?”
රුක්නාද් සිතන්නට විය. උතුරේ දේශපාලනඥයන් රටක් වශයෙන් නොව ජාතියක් වශයෙන් නැඟී සිටීමට උත්සාහ ගනිමින් සිටිනා බව නේෂන් වෛද්‍යවරයා නොදැන සිටිනවා නොවිය හැක. මෙතරම් දියුණු යැයි පිළිගත් ලෝකයක ශ්‍රී ලාංකිකයන් රටක් වශයෙන් නැගී සිටීමට උත්සාහ ගන්නවා වෙනුවට ජාතියක් වශයෙන් නැගී සිටින්නේ රටෙන් තුනෙන් කොටසක බලය උදෙසා වීම කොතරම් නම් බිහිසුණු විහිළුවක් ද?
මේ විහිළුව යථාර්ථයක් කර ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ජාතීහු උතුරට උදව් දෙති. ඔවුන් මුලසුන දරන සියලු ලෝක සංවිධාන ද උතුරේ වැසියන්ට එසේ අනුබල දෙන්නේ කුමන බලාපොරොත්තු අපේක්ෂා ඉටු කර ගැනීමේ කූට සියුම් උපායමාර්ගයක් ලෙසින් ද යන්න උතුරේ වැසියන්ට තේරුම් ගැනීමට ඉඩ නොදෙන දෙමළ දේශපාලනඥයන් රටට පමණක් නොව දෙමළ ජනතාවට ද ද්‍රෝහීන් බව රුක්නාද් ගේ අදහසයි.
සුවඳවත් තාරුණ්‍යයේ සොඳුරු මිහිර මෙන් ම මනුෂ්‍ය උපතක් ලැබීමේ භාග්‍යයේ සතුට විඳ ගැනීමට අවසර නොදුන් ත්‍රස්තවාදය නිසා ස්වකීය ලෙය නිකරුණේ පොළොව මත වැගිරවූ ජනයාගේ ආත්මයන්ට සතුටක් ලැබෙන්නේ සංවර්ධිත උතුරක් සාමකාමී, සහජීවනය හා සහෝදරකම සහිත උතුරක් බිහි වුණොත් පමණි.
රුක්නාද් විශ්වාස කරන්නේ උතුරු වසන්තයේ සංවර්ධන උපාය මාර්ග සෙමින් වුවද ක්‍රමානුකූලව සහජීවනය සොයා ගමන් කළ බවයි.
තිස් වසරක් පුරා විනාශවී ගිය මහපොළොව, එමත දිවි ගෙවන ජනතාව, භෞතික මෙන් ම අාධ්‍යාත්මික වශයෙන් කඩා වැටීම් එක් රැයකින් යළිත් නගා සිටවිය නොහැකි බව, මෙරට දේශපාලනඥයන් මැනවින් තේරුම් ගන්නේ නම්, එය මාධ්‍ය ප්‍රදර්ශනයක් ලෙසින් නොව අන්තර්ජාතික ප්‍රජාවට යථාර්ථය තේරුම් කර දෙන මාර්ගයක් වීම නිසැකය.
නේෂන් රුක්නාද් කියන්න අසා සිටියේ කල්පනාවෙනි. රුක්නාද් පැමිණ නේෂන් අසලින් හිඳ ගත් පසු දරුවෝ සෙමෙන් පසු බසිමින් ක්‍රීඩාවට නෙත් යොමු කරන්නට වූහ. ළමයින් ඇසුරේ තවත් ටික වේලාවක් ඉන්න ලැබුණා නම් යැයි සිතක් ද නේෂන් තුළ ඇතිව නැතිව ගියේය.
“ඩොක්ටර්”
රුක්නාද්ට තවත් බොහෝ දේ කියන්නට ඇති බව නේෂන්ට වැටහිණි.
“රුක්නාද් අපි ගෙදර ගිහින් කතා කරමුද?”
“නෑ ඩොක්ටර්. මට ඕන වුණේ ඩොක්ටර් එක්ක තනියම කතා කරන්න. මං ඉන්නෙ හරිම හිත් වේදනාවකින්. ත්‍රස්තවාදය ආයෙත් පටන් ගනීවි ද කියලා මට බයක් දැනෙනවා. අපේ මිනිස්සු රටේ ප්‍රශ්න විසඳන්න ලෝක සංවිධානවල උදව් උපකාර ඉල්ලන එක රටට හොඳ නැහැ. තමන්ගෙ නලාව තමන් පිඹගන්නෙ නැතිව අනුන්ට දුන්න ම නලාව අපිරිසුදු වෙන බව අපි තේරුම් ගන්න ඕන.”
“ඇත්ත.”
නේෂන් කීවේය. රටක අභ්‍යන්තර ප්‍රශ්න සඳහා කාගෙන් හෝ පිළිතුරු අපේක්ෂා කිරීමේ අවදානමට කුමන අර්ථ දැක්විය හැකිද? එය රටේ අනාගතය අඳුරට හෙළන්නකි. පංචකාම හැදියාව තුළට පිවිස සිටින බලකාමය ජන ජීවිත සංහිඳියාව බිඳ දැමීමට ගන්නා පහත් උත්සාහය යළි යළිත් පණ ලබමින් සිටී. යථාර්ථයේ හොඳ නරක කුමක් වුණත් මිය ගිය තරුණ තරුණියන් ගේ ආත්මයන්ට සැනසීමක් ලබා දෙන්නට නම් උතුර නඟා සිටවිය යුත්තේ නිදහස් ස්වයංපෝෂිත ආර්ථිකයකට මං සලසා දීමෙනි.
“ඩොක්ටර් පිළිගන්නවද ත්‍රස්තවාදී මර්දන ක්‍රියාකාරකම්වලදි මැරිච්ච ත්‍රිවිධ හමුදා ජීවිතවලටත් වටිනාකමක් තියෙන බව. දැන් ඔය වෙනම පාලන ඒකක ඉල්ලන අපේ වයසක දේශපාලනඥයින්ගෙ ජීවිත ආරක්ෂා කරලා දුන්නෙ රජයේ ත්‍රිවිධ හමුදාව. ඒ මිනිස්සු ඇස් ඉස් මස් ලේ අත පය පූජා කළේ, ජීවිත පූජා කළේ, ඒ මිනිස්සුන්ගෙ වාසියකටවත් පෞද්ගලිකව ඒ මිනිස්සුන්ගෙ ගෙයක් දොරක්, ඉඩකඩමක්, ඥාති මිත්‍රයොවත් ආරක්ෂා කරන්න ගිහින් නෙමේ. පොදුවේ මුළු රටේ ම යහපත වෙනුවෙන්. අපි අද මරණ බයක් නැතිව ජීවත් වෙන්නෙ ත්‍රිවිධ හමුදාවේ ශක්තියට කැපවීමට ජීවිත පූජාවන්ට පිං සිද්ධ වෙන්න. ඒක අමතක කරනවා නම්, ඒ කැපවීම් හෙළා දකිනවා නම් අපි මිනිස්සුද? අපේ නායකයො ගැන මට ලජ්ජයි ඩොක්ටර්.”
තවමත් තරුණ විය නොඉක්මවූ රුක්නාද් අරුණාචලම් මන්ත්‍රිවරයා ජාතියක් වශයෙන් නොව රටක් වශයෙන් නැගී සිටිය යුතු යැයි දරන මතය බලය ඉල්ලා අවි අමෝරන්නට සූදානම් වියපත් ද්‍රවිඩ දේශපාලනඥයින් කවරාකාරයෙන් පිළිගනීද පිළිතුරු ප්‍රතිචාර දක්වනු ඇද්දැයි නේෂන් සිතන්නට විය.
“රුක්නාද් ඔය ප්‍රශ්න ඇයි මට කියන්නෙ?” අවසන ඔහු ඇසුවේය.
“ඩොක්ටර් රටට ආදරය කරන මිනිස්සු ජාති භේදයකින් තොරව එකතු වෙන්න ඕන කාලය ඇවිත්.”
“ඉතින් අපි මොකද කරන්න ඕනෑ?”
නේෂන් ඇසුවේ තම දෙපා මුලට පෙරළි පෙරළි ආ බෝලය අතට ගෙන පිට්ටනිය දෙසට දමා ගසමිනි. තරුණ මන්ත්‍රීවරයා කළ යුත්තේ කුමක්දැයි සිතන්නට නොව එකවර කියන්නට බියක් දක්වන සැටියක් නේෂන් දුටුවේය.
රුක්නාද් අරුණාචලම් මන්ත්‍රිවරයා කතා කරන්නේ ප්‍රදර්ශන කාමයෙන් නොව අගතිගාමීව ඇති බලකාමයේ යටි පෙළ න්‍යායන්ගේ බිහිසුණු බව පසක් කර ගත් දැනුමෙන් යයි විශ්වාස ඇති නේෂන් ප්‍රශ්නාර්ථය දනවන දෙනෙතින් ඔහු දෙස බැලුවේය. මන්ත්‍රිවරයාගේ ඇසපිය නොහෙළන දෙනෙත තුළ බිය සැක ශෝකය කැටි ගැසී තිබිණි.
“රුක්නාද් අපිට මොනවද කරන්න පුළුවන්?”
“මිනිස්සු දැනුවත් කරන්න ඕන. පොදු මිනිස්සුන්ගේ දහදිය කඳුළු තමා දේශපාලනඥයන්ගේ බඩගින්නට බත් කට දෙන්නෙ. පිපාසෙට වතුර ටික දෙන්නෙ.”
රුක්නාද් කීවේ දුක්බර හඬකිනි.