
සිරිපාදය හෙවත් ශ්‍රිපාදය ජාති කුල ආගම්වලින් තොරව සියලුම ජාතීන්ගේ භක්තියේ සංකේතයක් වශයෙන් හඳුනා ගත හැකිය. මේ නිසා සිරිපා සමයත් සමග විවිධ ජාතීහූ භක්තිමත්ව සිය ආගමික විශ්වාස ඉෂ්ට කර ගැනීමේ අමුණින් සිරිපා කරුණා කිරීම පුරුද්දක් වශයෙන් සිදු කරත්. උඳුවප් පුර පසළොස්වක පොහොය දිනෙන් ආරම්භව වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් මේ උතුම් සිරිපා වන්දනා සමය අවසන් වේ.
සිරිපා වන්දනාවේ යන බැතිමත්හූ පෙරුම් පුරමින් සිත කය වචනය හික්මවා ගෙන බැතිසිතින් එම උතුම් වන්දනාවේ යෙදෙති. ඇතැම් දෙනා සිරිපා කරුණා කිරීමට පෙරුම් පුරනුයේ සිරිපා සමය උදාවීමටත් දින සති මාස ගණනාවකට පෙරාතුවය. මෙසේ තිබියදී වසර ගණනාවක සිට සෑම වසරකම උදාවන වෙසක් පොහොයට පෙර සිරිපා කරුණා කරන අපූරු පුද්ගලයන් තිදෙනකු පිළිබඳ අපට තොරතුරු වාර්තා වූයේ මාතර දෙයියන්දර ප්‍රදේශයෙනි. නමින් කේ. එස්. ඩබ්ලිව්. දිසානායක, එම්. ඒ. ප්‍රේමසිරි, මුණසිංහ ආරච්චිගේ පියසේන යන ඔවුන් තිදෙනා මේ සෑම වතාවකම සිරිපා වන්දනා කරනුයේ පා පැදිවලිනි.
කිලෝමිටර් 650 දුර ගෙවා ගෙන පා පැදිවලින් ශ්‍රි පාදය වන්දනා කරන ඔවුන් මෙවර සිරිපා කරුණා කරනුයේ හත්වැනි වරටය. ඔවුහූ මෙලෙස වාර්ෂිකව සිරිපා කරුණා කිරීම සිය ජීවිතයේ ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සලකති. දෙයියන්දර සිට සිරිපා කරුණා කිරීමට ඔවුනට දින හතරක කාලයක් ගතවේ.
පාපැදියෙන් සිරිපා කරුණාකරන මේ තිදෙනාගේ කණ්ඩායමේ එක් අයෙකු වන පියසේන මහතා බස් රථ පහක අයිතිකරුවෙකි. ප්‍රේමසිරි මහතා ව්‍යාපාරිකයෙකි. දිසානායක මහතා විශ්‍රාමික රියැදුරුවරයෙකි. මීට ප්‍රථම මේ තිදෙනා පාපැදිවලින් කතරගම වන්දනා කළහ. දස වතාවකට වැඩි වාර ගණනක් පාපැදිවලින් කතරගම වන්දනා කළ පසු ඔවුනට ශ්‍රී පාදයත් පාපැදිවලින් ගොස් වන්දනා මාන කර ගැනීමේ අදහස පිවිස ඇත්තේය.
“අපි මුලින්ම 1980 විතර තමයි පාපැදිවලින් වන්දනා ගමන් යෑමේ කටයුත්ත ආරම්භ කළේ. අපිට හිතුණා බස් රථවලින් යනවාට වැඩිය පා පැදිවලින් ගමන් කිරීම හැම අතින්ම නිදහස් හා සතුටුදායකයි කියා. පියසේන අයියාට ඕනෑනම් අපට වියදම් අඩුවෙන් බස් රථ යොදාගෙන මේ වන්දනා ගමන් යන්න තිබුණා.
ඒත් ඇත්තෙන්ම ජිවිතය විඳින්න ඕනෑ කියලා හිතලා තමයි අපි පා පැදිවලින් මේ ගමන ආරම්භ කළේ. කතරගම වන්දනාවේ යන කාලේ අපිට තවත් පිරිසක් එකතුවී හිටියා. නමුත් සිරිපාදේ කරුණා කරන වන්දනාවට ඒ අය එකතු වුණේ නෑ.” යනුවෙන් පවසමින් අප හා කතා බහට එක් වූයේ ප්‍රේමසිරි මහතාය.
“අපි ගොවිතැන් බත් කරලා ජීවත් වන අය ඉතිං මාර්තු මාසයේ ගොවිතැන් බත් කරලා අවසානයේ අපි සිරිපාදය කරුණා කරන්න යනවා. ඉන් අපේ ජිවිතයේ මහා සැනසිල්ලක් ලැබෙනවා.
හැටන් පාරේ තමයි අපි මේ ගමන යන්නේ මිද්දෙණියෙන් ඉස්සෙල්ලාම වන්දනාව කළ දවසේ අපි පෑලියගොඩ තමයි නතර වුණේ. පළමු අවස්ථාවේ දී පෑලියගොඩ දී කඩේක කෙනෙක්ගෙන් අපි නතරවෙන්න විශ්‍රාම ශාලාවක් තියේද කියලා ඇහුවා. එහෙම තැනක් නැහැ කියා ඔහු කිව්වා. ඒ එක්කම ඇහුවා ඇයි එහෙම අහන්නේ කියා. අපි කිව්වා අපිට නතර වෙන්නයි කියලා. පස්සේ ඔහු කිව්වා අපේ ගෙදර නතර වෙන්න කියලා. අපි ඒ ගෙදර නතර වුණා. ඒ අය අපේ වන්දනා ගමන ගැන අහලා අපට ගොඩක් සැලැකුවා. අපෙන් කිසිම ප්‍රශ්නයක් වත් නොඅසා අපි කාගේ කවුද කියාවත් සොයා නොබලා අපට නවාතැන් දීලා අප යන්න පිටත් වෙද්දී තමයි ඔවුන් අපේ වතගොත විමසුවේ. එතරම් විශ්වාසයක් ඔවුන්ට අප ගැන තිබුණා”
මේ තිදෙනා සිය වන්දනා ගමන පිටත් වීමට පෙර සිරිතක් ලෙසින් පල්ලාවෙල විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ වෙතින් ආශිර්වාද ලැබ ගනිති. ඒ සමඟම සුමන සමන් දෙවියන්ගේ රැකවරණය පතති. මේ තිදෙනා මේ ගමන සඳහා කාල වකවානුව එළැඹෙද්දී ඒ වෙනුවෙන් ලක ලැහැස්ති වනුයේ අනෙකුත් කටයුතු පසෙක ලමිනි. ජීවිතයේ සැඳෑ සමය ගෙවන ඔවුන්ගේ මේ පාපැදි වන්දනාවෙන් පෙන්නුම් කරනුයේ ඔවුන්ගේ ආත්ම ශක්තියයි.
“අපේ ජිවිතයේ ලබන උපරිම සතුට විදියට තමයි මේ ගමන ඇත්තෙන්ම අපි දකින්නේ. අපි දෙවැනි දවස නතර වන්නේ නල්ලතන්නියේ ය. එහි කාමරයක් කුලියට අර ගෙන නැවතී පසුව එම ස්ථානයේ සිට සිරිපා කරුණා කිරීමට ගමන් ආරම්භ කරනවා.
මේ යන ගමනේ දී කිසිදු අව කැපෙන කතාවක් නොකියා ඉතාමත් සංවරශිලි ආකාරයෙන් ගමන් කිරීමට අපි එදා ඉඳලාම පුරුදු වෙලා සිටියේ. මේ යන ගමනේ දී අපේ පාපැදිවලට කිසියම් අපදාවක් වුණොත් ඒවා හදා ගැනීමට අවශ්‍ය උපකරණත් අපි අරගෙනයි යන්නේ.
අපේ රෙදි පෙරෙදි තියෙන බෑගයකුත් පාපැදියේම ගැට ගසා ගන්නවා. අවුරුදු ගානක් තිස්සේ යන මේ ගමන නිසා මඟ දිගට හැමෝම දැන් අප දන්නවා. හඳුනනවා.
අතරමඟ කඩවල ඉන්න උදවිය අපට මේ ගමනේදී සියලු සහයෝගය දක්වනවා. බොහෝ කඩවලින් අපට ආහාර පාන ලබාදෙන්නේ මුදල් අය නොකර. අප එද්දී මේ අය දන්නවා මේ එන්නේ අපයි කියලා.
අපි මේ සියල්ල කරන්නේ බුදුන් කෙරෙහි භක්තිවන්තභාවය හා අපේ ජීවිතේ සැහැල්ලුව වෙනුවෙන්. දකුණේ සිට එන මේ ගමනේ අපිට කිසිදු මහන්සියක් දැනෙන්නේ නැහැ.
ඇත්තෙන්ම මේ ගමන වාහනවලින් ගියානම් අපට මේ සැහැල්ලුව දැනෙන්නේ නැහැ. එහෙනම් අපට දවස් කීපයක් විවේක ගන්න සිදු වෙනවානේ. නමුත් මේ ගමන්වලදී අපිට එවැනි විවේකයක් ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ.”යනුවෙන් දිසානායක මහතා පැවැසි ය.
ඈත අතීතයේ සිරිපා කරුණා කිරීමට පෙර බැතිමත්හූ සිය දේපළ ලියා තබා ගිය බවට කතාවක් විය. ඒ එකල සිරිපාදය කරුණාකිරීම අතිශය දුෂ්කර කටයුත්තක් වූ බැවිනි. ගිරිදුර්ග ජල දුර්ග හා වන දුර්ග හරහා බොහෝ දුෂ්කරතා විඳිමින් යන ඒ ගමනේ ආපසු ගමනක් ගැන වූයේ මද විශ්වාසයකි. එහෙත් අද තත්ත්වය ඊට වෙනස්ය. සිරිපාදය කරුණාකිරීම ආරම්භ කරන ස්ථානය දක්වාම වාහනයකින් යෑම අපහසුවක් නොවේ. එසේ තිබියදී මෙලෙස දිවියේ සැඳෑ සමය විඳින තිදෙනකු එක්වී පාපැදිවලින් සිරිපාද වන්දනාවේ යෑම හුදෙක් ඔවුන්ගේ සිත්හි ඇති භක්තිය කියා පෑමකි.
අප හා මීළඟට කතා බහට එක්වූයේ බස්රථ හිමිකරුවකුවීත් පාපැදියෙන් සිරිපතුල වන්දනාවට යෑමට මුල පිරූ පියසේන මහතාය.
“අපි හැම අවුරුද්දක් ගානේ යන මේ ගමනේ පුරුද්දක් විදිහට නුවර නතර වෙනවා. නතර වෙලා පසුදා අපි දළදා සමිඳුත් වන්දනාමාන කරගෙන කොළඹ බලා පිටත් වෙනවා.
නුවර ඉඳලා ඒ එන ගමනේ දී අතරමඟදි පසුවන අත්තනගල්ල හා කැලණිය රජමහා විහාරස්ථානත් වන්දනා කරගෙනයි අපි එන්නේ. අපේ මේ වන්දනා ගමන ගැන අපේ පළාතේ ගම්මාන බොහෝ අය දන්නවා.
සිරිපා සමය ආරම්භ වූ හැම කාලෙම මඟ දිගට හමුවෙන හැමෝම අපෙන් අහන්නේ සිරීපාදේ ගියේ නැද්ද කියන ප්‍රශ්නෙ. මේ ගම්මාන රැසක දෙනා අපේ ගමන ගැන හොඳින් අවධානයෙන් ඉන්නේ. ඒ නිසා අපි අවුරුද්දේ හැම කාලයේම ගමේ ජනතාවට අපේ සිරිපාද ගමන ගැන මතක් කිරීමක් කරනවා.
මේ වෙද්දී රටේ බොහෝ ස්ථානවල අය අප හඳුනනවා. අප කොහේ ගියත් ඉන්න තැනක් තියනවා. ඒ විතරක් නොවෙයි මේ ගමනින් පසු අපි ඒ අය එක්ක නිතර හැඳුනුම්කම් තබා ගන්නවා. දුක සැප අහනවා. අප අතර බොහෝ ළෙන්ගතුකමක් හිතවක්කමක් තියෙනවා.
අපි දැන් හිතා ගෙන ඉන්නේ ඉදිරියේදී අනුරාධපුරය පොලොන්නරුව වගේ ස්ථානත් මේ වාහනයෙන්ම යන්න ඕනෑ කියලයි. ඇත්තෙන්ම වෙනත් වාහනයකින් යනවාට වඩා අපිට මේ ගමනේදී හරිම පහසුවක් දැනෙවා. අපි මේ ගමන්වලින් බලාපොරොත්තු වන්නේ පිං රැස්කර ගැනීම පමණයි.
පාපැදියෙන් යන මේ ගමනේදී අපට මඟ වියදම් විදිහට රු 2500කට වැඩිය යන්නේ නැහැ. නමුත් අපි සල්ලි ටිකක් අරගෙන යන්නේ මඟදි කිසියම් කරදයක් වුණොත් වාහනයක් අරගෙන හරි ගෙදර එන්න පුළුවන් විදියට තමයි අපි ගමන සැලැසුම් කරලා තියෙන්නේ.”
ආගම භක්තිය හා ජිවිතයේ සැහැල්ලු බව පතා කටයුතු කරන මේ අපූරු පුද්ගලයෝ ස්වභාවධර්මයට පෙම් බැන්දෝ වෙති. ශ්‍රී පාදය කරුණා කිරීම අපේ වැඩිහිටි බොහෝ දෙනා ගේ සිහිනයක්ව තිබියදී මේ තිදෙනා සැහැල්ලු හා සරල ලෙසින් වන්දනාවේ යෙදීමට ධෛර්ය උපදවා ගැනීම අගය කළ යුතුය.