
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබැඳියාව අවුරුදු දහස් ගණනක ඈත අතීතයකට දිව යයි. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු දායාද ද සුළු-පටු නොවේ. ආගමික සංහිඳියාව වෙනුවෙන් නොයෙක් වර ඉන්දියාවෙන් ලැබුණු දායාද බොහෝය. ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ ඉන්දියාවෙන් මෙරටට වැඩම කරවූවාට පසුව මෙතෙක් එරටින්, මෙරටට වැඩම කර තිබෙන එකම බෝධින් වහන්සේ ලෙස ආනන්ද බෝධීන් වහන්සේ ඉතිහාසගත වේ. එලෙස 1973 වසරේදී ඉන්දියාවෙන් මෙරටට වැඩම කළ මෙම ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් ඇඹිලිපිටිය 99 ගඟේයාය ශ්‍රී ආනන්ද බෝධි මහා විහාරයේ රෝපණය කර වර්තමානයේ එතරම් මහජන අවධානයට පාත්‍ර නොවී පවතී.
එම බෝධින් වහන්සේ ගැන කරුණු වදාළේ විහාරස්ථානයේ නායක හිමි 90 වියැති ශාසන කීර්ති ශ්‍රී සංඝ සෝභිත ශාස්ත්‍රවේදී පූජ්‍ය පණ්ඩිත වේවැල්වල අනුරුද්ධ නායක හිමියෝය. උන්වහන්සේ එම බෝධිය ලංකාවට වැඩම කිරීමේ අතීත කතාව මෙසේ ආවර්ජනය කළහ.
“70 ගණන්වල මුල් කාලේ ඉන්දියාවයි පාකිස්ථානයයි දරුණු යුද්ධයකට පටලැවිලයි හිටියේ. මේ රටවල් දෙකම අපේ රටේ ඉතාම කිට්ටුවන්ත මිත්‍රයෝ. ඉතින් එවකට අපේ රටේ අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රටවල් දෙක සමඟි සමාදාන කරන්න එතුමියගේ නියෝජිතයකු යැව්වා ඉන්දියාවට. ඒ යැව්ව කෙනා තමයි එදා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස සිටි සර් විලියම් ගොපල්ලව මැතිතුමා.
පස්සේ එතුමා රටවල් දෙකේම නායකයෝ සමඟ සාකච්ඡා කරලා ගැටුම්කාරි තත්ත්වය සමථයකට පත්කළා. අන්න ඒ කළ උපකාරයට කෘතගුණ සැලකීමක් ලෙස ඉන්දු පාකිස්තාන නායක දෙපළ විසින් ගොපල්ලව මහත්තයට අද මේ මා වැඩ සිටින විහාරස්ථානයේ රෝපණය කර තිබෙන ආනන්ද බෝධිය තෑග්ගක් ලෙස පිරිනැමුවා.”
පසුව සිරිමා මැතිනිය විසින් එවකට ලංකාවේ මහත් කීර්තිමත් පඬිරුවනක් වූ හේන්පිටගෙදර ඤානසීහ නාහිමියන්ට එම ආනන්ද බෝධි අංකුර ශාඛාව පිරිනමා ඇත.
“හේන්පිටගෙදර නායක හාමුදුරුවෝ කියන්නෙ සිරිමා මැතිනිය මහ ඉහළින් ගරු කළ නායක ස්වාමින් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මගේ නායක හාමුදුරුවෝ. පස්සෙ හේන්පිටගෙදර නාහිමියෝ තීන්දු කළා බෝධි අංකුරය මේ විහාරයේ රෝපණය කිරීමට.”
එසේ ඉන්දියාවෙන් ලැබුණු මහාර්ඝ දායාදය තම විහාරයට ලැබුණු බව අනුරුද්ධ නායක තෙරණුවෝ වදාළ සිටි සේක.
1973 ජනවාරි 25 වැනිදා මැති ඇමැතිවරුන් සහභාගි වූ ගම්භීර රාජ්‍ය උත්සවයක් පවත්වා විලියම් ගොපල්ලව මහතා අතින් ආනන්ද බෝධි අංකුරය ගඟේයාය ආනන්ද බෝධි විහාරයේ රෝපණය කර ඇත.
“ඒ උත්සවය මහ ඉහළින් දවස් හතක් පුරා එක දිගට පැවැත්වුණා. පස්සේ බෝධින් වහන්සේ වෙනුවෙන් මාස ගණනාවක් රාජ්‍ය ආරක්ෂාව ලබා දුන්නා. ඉතාම වටිනා කියන මිල අධික බෙහෙත් වර්ග බෝධියේ වර්ධනයට යෙදුවා. ”එසේ පවසන අනුරුද්ධ නාහිමියෝ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සේම ඓතිහාසික වශයෙන් ද මහත් වැදගත්කමක් ඇති තම විහාරයේ වැඩ වසන බෝධින් වහන්සේ ගැන වර්තමානයේ කිසිදු බලධාරියෙකුගේ හෝ නිලධාරියෙකුගේ නිසි අවධානයක් නොමැති වග වදාළේ තැවුණු සිතිනි.
වසර 44ක් පුරා ගඟේයාය ආනන්ද බෝධි විහාරයේ වැඩ වසන ඉන්දිය, පාකිස්තාන ශ්‍රී ලංකා මිත්‍රත්වය පිළිබිඹු කරන මහාර්ඝ වස්තුවක් වන මේ උතුම් බෝධින් වහන්සේ ගැන නිසි බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස මේ උතුම් වෙසක් සමයේ අපිද මතක් කරමු.
සේයාරූ - ඩබ්ලිව්. විදානපතිරණ
ඇඹිලිපිටිය සංචාරක