
ඒඩින් මාමාගේ වෘෂභ දමනය
ඩී.සී. ද සිල්වා
විශ්‍රාමලත් විදුහල්පති
බස් කොම්පැනියක ටිකට් ප්‍රවේශ පත්‍ර පරීක්ෂකයකු වූ ඒඩින් මාමා උසට සරිලන මහතය. කාය ශක්තිය අතින් ඔහු සවිමත් ය. බලවත් ය. කොහොමත් කවුරුත් අත නොගහන වැඩකට අත ගසා උද්දාම වීමේ චර්යාවක් ද ඇත.
ඒඩින් මාමා නැතුව ගමේ මොනම වැඩක්වත් කෙරුණේ නැත. අද භාෂාවෙන් කියනවා නම් කිසිම ‘ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක්’ ඒඩින් මාමා ගෙන් තොරව කරන්නේ ම නැත.
අපේ ගමේ සිල්ලර කඩය ළඟට සවසට බඩු ගන්නට එන අය මෙන් ම වැඩ ඇරී දිය නා ගෙන සමහරු එන්නේ සියඹලා ගහ යට බංකුවේ වාඩි වී පච හලන්නට ය. ඒ නිසා එය පච බංකුව වුව ද ගැමියන්ගේ සමගිය පැවැත්මට මේ පච ගහ සහ ඒ යට ඇති දාම් ලෑල්ල ද නිහඬ සේවයක් කරයි.
ඒඩින් මාමා එදා පච ගහ යට වාඩි වී මිතුරන් සමඟ කතා කරමින් සිටියේය. සතියකට දෙකකට වරක් අපේ සිල්ලර කඩේට බේකරි කෑම දෙන්නේ ගෝනගල පැත්තේ බේකරි හිමියෙකි. ඔහු එන්නේ බර බාගයකිනි. බර බාගයේ ඇතුළත හිස් තේ කොළ පෙට්ටිවල විස්කිරිඤ්ඤා, හුළං විස්කෝතු, ජෑම් බට්ටෝ, ඩබල් බිස්කට් ආදිය පුරවා ගෙන ඇත.
එදා ද කරත්තයෙන් ආ මුදලාලිට කරත්තය නවතා තෝන් ලනුව කරත්ත රෝදයේ ගැට ගසන්නට නොහැකි විය. ඒ අතරම අල්ලපු වත්තට හරකෙක් ඇවිත් නිසා ඒ ගෙදර කාන්තාව ‘චඃ කොටියා’ යැයි මහ හයියෙන් වැස්සිය එළෙව්වේ ය. මේ ‘හරක් නියෝගය’ කන වැකුණු කරත්තයේ බැදි ගොනා එක පිම්මේ දුවන්නට විය. දිව්වා නොව වේරම්භ වාතය වගේ ඉඟිළෙන්නට විය.
මුදලාලි “හෝව්... හෝව්... හෝව් වයිරා’ කියමින් පස්සෙන් එළවයි. කරත්තය ගම් සභා පාර දිගේ ඇදී යයි. ඒ බලන්නට අපූරු දසුනකි.
වීර ක්‍රියා කරන්නට කැමති ඒඩින් මාමා වහාම ක්‍රියාත්මක විය. කාගේ දෝ නවතා තිබූ බයිසිකලයට නැග්ගේය. කරත්තය හඹා ගියේ හැට්ට හැටේ පාගමිනි. කෙසේ හෝ කරත්තය ඉස්සර කළේ ය. යාර පනහක් පමණ දුරින් බයිසිකලය බිම පෙරළා දමා ඉදිරියට ආවේය. පැන්න ගමන් තෝන් ලණුව අල්ලා ගත්තේ ය. ජවාධික වේශයෙන් සිටි හරකා ගේ ශක්තියට ඒඩින් මාමාගේ වම් පාදයේ උඩින් කරත්තය ගියේ ඔහු බිම ඇද වැටුණු නිසාය. ඒඩින් මාමා කෙඳිරි ගාමින් නැගිටින්නට නොහැකිව සිටී.
එතැනින් නොනැවතී බයිසිකලය උඩින් ද ගිය කරත්තය නැවතුණේ බදුරලියේ හරකාගේ මුල් ගෙදරටම ගොසිනි.
ඒඩින් මාමාගේ පවුලේ උදවිය අවුත් ඔහු උස්සාගෙන පිංහේනට ගෙන ගිය අතර බයිසිකලය වින්කලයකට ගෙන ගියේ ය.
මාස ගණනක් බෙහෙත් බැන්ද ඒඩින් මාමා සනීප වූ පසු ‘හරකෙක් දමනය කරමුද?’ ඇහුවොත් හුදු හෙළෙයන් පිළිතුරක් ලැබෙනවාම ය.
බාස් උන්නැහේ ටවුමට වැඩියා
ජයසේන විජේනායක
බදුල්ල දිස්ත්‍රික් සමූහ
එකල බදුල්ල නගරය අද මෙන් දියුණු තත්ත්වයක නොපැවතිණි. නගරයට මදක් ඈතින් මයිලගස්තැන්න ගම පිහිටියේ ය. මෙම ගම්මානයේ පන්සලක් ද විය. භාවනානුයෝගී ස්වාමීන් වහන්සේ නමක් එහි වැඩ සිටියහ. පන්සල කිට්ටුව නිවෙසක ජේමිස් අප්පුහාමි නමැති සැදැහැවත් උපාසක මහතෙක් පදිංචිව සිටියේය.
ඔහු ගමේ පන්සලේ ප්‍රධාන දායකයා විය. සතර පෝයට ම පන්සලට ගොස් විහාරාධිපති හිමියන් සමඟ ධර්ම සාකච්ඡා කළේ ය. පන්සලේ සංවර්ධන කටයුතු ගැන නිතරම කතා බහ කළේ ය.
පන්සල සමඟ පැවැති සමීප සම්බන්ධතා නිසා ජේමිස් උපාසක මහතා කෙරෙහි විහාරාධිපති හිමියන් තුළ ද වූයේ මහත් පැහැදීමකි. දවසක් දෙකක් ඔහු පන්සලට නාවොත් ඒ ගැන සොයා බලන්නට තරම් විහාරාධිපති හිමියන් උනන්දු වූයේ ඔහුට ඇති කරුණාව නිසා ය.
හිටි හැටියේ ම සතියකින් පමණ ජේමිස් උපාසක මහතා පන්සලට නොපැමිණියෙන් ඔහු ගැන සොයා බලන්නට විහාරාධිපති හිමියන්ට සිත් විය. පණිවිඩ කීපයක් ද යැවූ නමුත් උපාසක මහතා පන්සලට ආවේ නැත. එදින උදෑසන හීල් දානය වළඳා විහාරාධිපති හිමියෝ උපාසක මහතාගේ නිවෙසට වැඩම කළහ.
ඒ වනවිට ජේමිස් උපාසක මහතාගේ බිරිය මිදුල අමදිමින් සිටියාය. ඇය ද ජේමිස් උපාසක මහතා මෙන් ම දහමට බණට ඉතා ළැදි උපාසිකාවක් වූවා ය.
“අපේ බාස් උන්නැහේ පසුගිය දවස් ටිකේ ම පන්සල පැත්තෙ ආවෙ නැති හින්දා අසනීපෙන් වත්ද කියලා බලලා යන්නයි ආවෙ” විහාරාධිපති හිමියෝ කීහ.
“එහෙමයි! අපේ බාස් උන්නැහේ පසුගිය දවස් ටිකේ උණ ගැනිල තමයි හිටියෙ. දැන් නම් හොඳටෝම සනීපයි අපේ හාමුදුරුවනේ.”
බාස් උන්නැහේ පේන්ඩ නැත්තේ බැහැරක්වත් ගිහිල්ල ද?” විහාරාධිපති හිමියෝ විමසූහ.
“එහෙමයි අපේ හාමුදුරුවනේ. බාස් උන්නැහේ උදෙන් ම ටවුමට වැඩියා බඩු වගයක් ගේන්න කියලා. මෙලහකටත් මග වඩිනවා ඇති මයෙ හිතේ.” අපේ හාමුදුරුවෝ ඈදි ගන්න ගෙට වැඩියා නම්...” උපාසක අම්මා මදක් කලබලයෙන් පැවැසුවා ය.
උපාසක අම්මා බාස් උන්නැහේ ටවුමට ගියා කීම වෙනුවට වැඩියා කීමත් මඟ එනවා කියා කීම වෙනුවට මඟ වඩිනවා ඇති කීමත් අසා විහාරාධිපති හිමියන්ට සිනා ගියත් ඒ වගක් නොපෙන්වා “එහෙමද? එහෙනම් උපාසක අම්මා උපාසක මහත්තයා වැඩියාම කියන්නකො ලොකු හාමුදුරුවෝ වැඩියා කියලා පන්සල පැත්තෙ ඇවිත් යන්න එන්න කියලා” යැයි පවසා විහාරාධිපති හිමියෝ ආපසු පන්සලට වැඩම කළහ.