කුණු කන්දෙන් මෙපි­ටට ආ මිනිස්සු | සිළුමිණ

කුණු කන්දෙන් මෙපි­ටට ආ මිනිස්සු

නාය ගිය කුණු කන්ද දැන් නිසලය. එහි නිතර ආව ගිය ලොරි ටිපර් ට්‍රැක්ටර් ද දැන් නැත. එහෙත් කොක්කු රංචු හා බලු රෑන් තවමත් එහි සරන්නෝය. නමුදු වෙනදා ඒ අවට සිටි ජනතාව අතරින් ඇතැමෙක් මළවුන් අතරය. අවතැන් වූවෝ තැන් තැන්වලය. වියැළෙමින් යන මීතොටමුල්ලේ කඳුළු යළිත් අලුත් වෙමින් තිබේ. ඉන් ඇතැම් කඳුළු සතුටු කඳුළුය. ඒ තමන්ටම කියා නිවෙසක් හිමිවීමේ සතුටය. නමුදු කුණු කන්දකට යටවී අවසන් ගමන් ගිය තම ඥාති හිතෛෂින්ගේ මතකය නම් ඔවුන්ගේ සිත්වලින් කෙදිනකවත් මැකී නොයනු ඇත.

හිටිහැටියේ නාය ගිය මීතොටමුල්ලේ කුණු කන්දේ උණුසුම මැකී යමින් තිබුණ ද එයින් පීඩාවට පත්වූ ජනතාවගේ හිතේ ගින්දර තවමත් නිවී නැත. මෙම ඛේදවාචකයෙන් ගේදොර අහිමි වීමෙන් අවතැන් වූ ජනතාවට ඉකුත් දා රජයේ මැදිහත් වීමෙන් කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ සුදු නෙළුම්පුර ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දෙන ලදී. පවුල් 30කට මේ අනුව මුලින්ම නිවාස ලැබිණි.

ඇතැමුන් වසර ගණනාවක් තිස්සේ ද ඇතැම් අය උපන්දා සිටම ජීවත්වූ නාගහමුල්ල දහම්පුර ප්‍රදේශය අතහැර නව නිවාසවලට පැමිණියේ දෑස් කඳුළින් පුරෝගෙනය. එලෙස නිවාස ලද උදවිය මුණගැසීමට පසුගියදා අප එහි යද්දී ඇතැම්හු තමන්ට ලැබුණු නිවෙසේ පදිංචි වීමට පෙර ආගමික වතාවත් සිදුකරමින් සිටියහ.

“කුණු කන්ද නාය ගියාට පස්සෙ අපිට තවත් ඒ ගෙවල්වල ඉන්න බැහැ. අපි ඉන්නේ අවදානම් කලාපයකලු. කොහොමහරි අපටත් නිවෙසක් ලැබුණා. සිකුරාදා තමයි ගෙය ලැබුණේ. විපතින් මියගිය අය ගැන අපට හරි කනගාටුයි. අපට කියලා ගෙයක් ලැබුණු එක සතුටක්. පහුගිය දවස්වල අප තැන් තැන්වල හිටියේ.”

ඇය ලහි ලහියේ ආගමික කටයුතු සඳහා සූදානම් වෙමින් අප හා පැවසුවාය. ඇගේ නව නිවෙසේ ආගමික කටයුතු කිරීම සඳහා වැඩම කරනු ලැබ සිටියේ බැමිණියන්විල පඤ්ඤාවංශ හිමියන්ය.

“මේ ජනතාවට සිදුවූ විපත ගැන අපට බොහෝම කනගාටුයි. මේ අය කුණු කන්ද සමඟ ජීවත්වූ අපහසුතාව අප දුටුවා. මේ විපතින් පසු ඉතා ඉක්මනින් රජය විසින් මේ අයට නිවාස ලබාදීම පැසසිය යුතු කටයුත්තක්.” පඤ්ඤාවංශ හිමියෝ ආගමික වතාවත් සිදුකිරීමට පෙර පැවැසූහ.

සිද්ධිය වී සතියක් පමණ කොළොන්නාව ටෙරන්ස් විද්‍යාලයේ නවාතැන්ගෙන සිටි ඇතැමෙක් දැන් සිටින්නේ ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේය. එම නිවාස සංකීර්ණයේ ඇතැම් නිවාසවල තවමත් වැඩ නිමවී නැත. ඉකුත් සඳුදා අප එහි යන විට තම අඩුම කුඩුම ද රැගෙන නිවාසලාභීහු එහි පැමිණෙමින් සිටියහ. ඇතැමෙක් ඒ වන විටත් තමන් සතු ඇඳ පුටු මේස මෙන්ම ඇඳුම් ආදිය රැගෙන එහි පදිංචියට පැමිණ සිටියහ. තවකෙක් නිවෙසෙහි බුදු රුවක් තබා මල් පහන් පුදා ආගමික වතාවත් සිදුකරමින් සිටියහ. මහල් නිවාස සංකීර්ණයේ දහවැනි මහලේ බොහෝ නිවාසවල අයිතිය හිමිව ඇත්තේ දහම්පුරයෙන් පැමිණි ජනතාවටය.

තම නව නිවෙසට කුමක්ම හෝ රැගෙන එන මිනිසුන් අතරින් විදුලි සෝපානයේදී අපට හමු වූ සංජීව පැමිණියේ හිස් දෑතිනි. ඔහුගේ අතේ එල්ලී සිටි කුඩා පුතුට නම් තාත්තාගේ කඳුළු නොපෙනෙන්නට ඇත.

අපි සංජීව සමඟ කතාබහ කළෙමු.

“ගෙදරට ගේන්න දෙයක් නැහැ. හැමදේම කුණු කන්දට යට වුණා. ඒත් කමක් නැහැ මගේ බිරියයි දරුවයි තාත්තයි බේරුණානම්. මොනවා ලැබුණත් මොකටද අපි අනාථ වුණා. ලොකු පුතා මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ඉගෙන ගන්නවා.

එයාගේ පොත්පත් ඔක්කෝම යට වුණා. පොඩි පුතා හතර වසරේ. අවුරුදු දොළහේ දුව තමයි කුණු කන්දට යටවෙලා මැරුණේ. සිද්ධිය වෙන වෙලාවේ ලොකු පුතා පාර පැත්තට ගිහිල්ලා හිටියේ. මම පොඩි පුතා එක්ක කඩේට ආවා එයාට බීම බෝතලයක් අරගෙන දෙන්න. ඒ ආව තත්පර ගානට තමයි කුණු කන්ද බිමට පාත් වුණේ. මම වැල්ඩින් රස්සාවක් කළේ. තට්ටු දෙකට ගේ හදලා තිබුණා. අම්මලා හිටියේ උඩ.”

සංජීව දෑසේ පිරි කඳුළු පිසමින් පවසන්නට වූයේය. නව නිවෙසේ සාලයත් කුස්සියත්, කාමර දෙකත් හිස්ය. අඩුම තරමේ ඔවුන්ට පැදුරක් කොට්ටයක්වත් නැත.

සංජීවගේ මව ද තම ලේලිය මිනිබිරිය හා සැමියා අහිමි වීම ගැන තවමත් කඳුළු සලන්නීය.

“මගේ ආබාධිත දුව ඉන්නෙත් රාජගිරිය නිවාසයක නතර කරලා. මේ විපතෙන් මහත්තයා මට නැති වුණත් කමක් නැහැ, අඩුම තරමින් ලේලියි දරුවයි බේරුණානම්. මේ දරුවෝ දෙන්නාටම දැන් අම්මෙක් නැහැ. තාමත් ඉගෙනගන්න දරුවෝ. මම ක්ලීනීන් සර්විස් එකක වැඩ කළේ. පුතාට ගේ ලැබෙනකොට තව රුපියල් ලක්ෂ දෙකහමාරකුත් ලැබුණා. 

මේ ගෙවල් ලැබුණ හැමෝටම ඒ මුදල ලැබුණා. කොහොමහරි මේ දරුවෝ දෙන්නට උගන්න ගත්තොත් අපට ඇති. මම ණයක් ගත්තා. ඒ සල්ලි තියාගෙන හිටියා අවුරුද්දෙන් පස්සේ බැංකුවට දාන්න. ඒත් ඒ රුපියල් පනස්දාහත් කුණුවලටම යට වුණා.

 

මගේ බැංකු කාඩ් එක කවුදෝ අරගෙන ගිහිල්ලා ඒකෙන් බඩු අරගෙන. ඒ මාසයේ වැටුපත් ඒකේ තිබුණේ.

කුණු කන්දෙන් විපතට පත්වුණු අප හොරුත් කොල්ල කෑවා.” සංජීව‍ගේ මව දයාවතී පවසන්නේ දැඩි හිතේ අමාරුවෙනි.

දයාවතීගේ නිවෙසේ පිටුපස ජනේලයෙන් අවට බැලූ විට පෙනෙන්නේ නායගිය කුණු කන්දේ අනෙක් පසය.

බොහෝ දුර ඈත සිට කුණු කන්ද දුටුව ද ඔවුන්ගේ හිත ගැස්සී යන්නේය. සිද්ධිය සිහිපත් වන්නේය. දයාවතීගේ මුනුබුරන් දෙදෙනා තවමත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වී සිටින්නෝය.

සංජීවගේ කතාව එසේ වුවද අජිත් සුසන්තගේ කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. අජිත් ඒ වන විට තම නිවෙස ඉදිරියේ පුටුවක වාඩිවී දොරේ කපන කැටයමක් දෙස බලා සිටියේය. විනාඩි ගණනක් ඇතුළත ඒ නිවෙසෙහි දොරේ බුදු සරණයි කියා කැටයම් කර අවසන් විය.

“බුදු සරණ ඇරෙන්න වෙන සරණක් අපට නැහැනේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපට කරදරයක් වුණේ නැහැ. ඒත් අපේ අසල්වැසියෝ තමයි මැරුණේ. උපන්දා ඉඳලම හිටියේ මීතොටමුල්ලේ.

ගෙයත් එක්ක ලැබුණු මුදල් වියදම් කරලා ගෙයි ඉතිරි වැඩ ටික සම්පූර්ණ කරගන්නවා. අපිට තිබුණ ගෙවල් දොරවල්වල හැටියට නම් මේවා අපට මදි. ඒත් විපතින් අනාථ වුණු අපට මෙහෙම හරි නිවෙසක් ලැබුණ එක සතුටක්. මට තිබුණේ තට්ටු තුනේ ගෙයක්. මම යාළුවෙක් එක්ක එදා හිටියේ. 

බිරිය දරුවෝ එක්ක දුවලා බේරුණා. මම දැක්කා කුණු කන්ද පෙරළිලා එනවා. ඒත් මම මේ පැත්තට දිව්වානම් බේරෙන්න බැරි වෙනවා. මම උඩු පැත්තට දුවලා බේරුණා. අවුරුදු ගානක් පදිංචි වෙලා හිටපු පැත්ත දාලා එන්න වුණාට දුකයි.” අජිත් පවසන්නේ කනගාටුවෙනි.

පැමිණි දුක් පැණි රසයි කියන්නා සේ ඔවුන් තම තමන්ට නිවෙස් හිමිවීම පිළිබඳ තුටු වන්නාහ.

“අපි හිටියේ එකම වත්තක. මගේ ගේ තට්ටු හතරක ගෙයක්. නමුත් මේ සිද්ධියෙන් පසුව අපට තනි අයිතිය තිබෙන අපටම කියලා ගෙයක් හිමිවීම ගැන සතුටුයි. රූපිකා පවසන්නේ හිතේ සතුටිනි.

නමුදු ඇය තවමත් නිවෙසට පදිංචියට පැමිණ නැත. ආගමික වතාවත් ඉටුකර නැකැතක් බලා එහි පැමිණිය යුතු යැයි ඇය සිතන්නීය. නිරන්තරවම කුණු ගඳින් පිරුණු දහම්පුර හැරදා පැමිණි චමිලා තවමත් කුණු කන්දෙන් නැඟුණු හඬින් කම්පනයට පත්ව සිටින්නීය.

“මගේ කන තාමත් ඇහෙනවා අඩුයි. ගෙවල් දාලා එන්න වුණු එක ගැන දුකයි. මම අවුරුදු තුනක් සවුදිවල හිටියා. ඒ ඉඳලා හම්බ කරපු මුදලින් තමයි ගේ හදාගත්තේ. සතියක්ම හිටියේ ටෙරන්ස් සිල්වා ඉස්කෝලේ.

කවදාවත් අපට එහෙම ඉඳලා පුරුද්දක් තිබුණේ නැහැ. සිද්ධිය වෙලා සතියක් යන්න කලින් අපට ගෙයක් ලැබීම ඇත්තට සතුටක්.” චමිලා පවසන්නට වූයේ තම අලුත් නිවෙසේ මුළුතැන්ගෙයි උයන පිහින අතරේය.

ඇගේ පුංචි මිනිබිරියගේ තුන්වැනි උපන් දිනය එදිනට යෙදී තිබිණි. සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳව හෝ තමන් අලුත් නිවෙසකට පැමිණියා ද යන්න පිළිබඳව නොදන්නා සිඟිත්තිය පුයර අහුරක් මුහුණේ තවරා ගනිමින් සෙල්ලම් කරමින් සිටින්නීය.

කුණු කන්ද නාය යෑමෙන් අවතැන් වූ පිරිස් අතුරෙන් කොටසකට පළමු පියවර ලෙස රජය විසින් නව නිවාස ලබා දුන් අතර ඉතිරි අයට නුදුරේදීම නව නිවාස ලැබෙනු ඇත.

කුණු කන්ද අවට ඇති ඇළවල් පිරී ඉතිරී යෑමෙන් ඇතිවන ගංවතුර තත්ත්ව මැඬලීම සඳහා යුද හමුදා ඉංජිනේරු බළකාය මේ දිනවල කාණු හා ඇළවල් පිළිසකර කරමින් සිටින්නේය. මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය පසු ඒ අවට තිබූ කුණු ඇළ පිටාර ගැලීය. ඉන් කන්දේ අනෙක් පස පිහිටි 101 වත්තේ ජනතාව පීඩාවට පත් වූහ.

“ගිය අවුරුද්දේ ගංවතුරට අපි යට වුණා. එතකොට මම සහිල් පුතා ලබන්නයි හිටියේ. එතකොට මං මේ කුණු වතුරේ බැහැලා ගියේ. දැන් සහිල්ට මාස 5යි. මේ පාර කුණු කන්ද නාය යනවත් එක්කම ආව කුණු ඇළ පිටාර ගලපු වතුරට අපි යට වුණා. මේ පැත්තෙම වැසිකිළි අපද්‍රව්‍ය යන්නෙ මේ කුණු ඇළට.

අපි ඉන්නේ අවදානම් කලාපයක. අපිට ඉවත් වෙන්න කියලා තියෙන්නෙ. අපට සාධාරණයක් වනතුරු තමයි බලාගෙන ඉන්නෙ.” රේඛා පවසන්නේ ඔවුන් දැන් මුහුණ දී ඇති ගැටලුවය.

කොළොන්නාව කුණු කන්දට දැන් අලුතින් කුණු එකතු වන්නෙ නැත. එනිසාදෝ නගරයේ තැනින් තැන මහමං අයිනේ කුණු කඳු ගොඩ ගැසෙමින් පවතී. ගිනිකඳු නැතැයි හැමදාමත් උදම් ඇනූ අපට මෙදා සිදු වූයේ කුණු කඳු නිසා ඇතිවූ ගිනි ඉහිලීමටය.

එසේ තිබියදී තව තවත් කුණු ගොඩ ගැසීම කොතරම් නම් පාපයක් ද? ඔබේ අපේ නොසැලකිල්ල අවසානයේ මීතොටමුල්ලේ ඛේදවාචකය මෙන් තවත් ඛේදවාචකවලට මඟ පාදන්නට හේතු වනු ඇත. එනිසා එවන් පාපකර්මයනට හවුල් නොවී සිටීමට අපි වගබලා ගත යුතු වෙමු.

කිසිදු බඩු භාණ්ඩයක් නැති සංජීවගේ පවුලේ උදවියට යම් අයුරකින් හෝ උදවු කළ හැකි අයෙක් ඇත්නම්

සිත්මල්යාය අමතන්න. 0112429265

 
 
 
 
 
 
 

Comments