
කෙළවරක් නොදකින සංසාර ගමනේ අනේක දුක් විඳින ලෝක සත්ත්වයාට දුකින් මිදීමේ මඟ ඉගැන්වූ අසම සම ශාස්තෘවරයාණන් වහන්සේට ලොව පුරා වෙසෙන සියලු බොදුනුවන්ගේ උත්තම ගුරු පූජාවන් සිදු කෙරෙන, උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය උදාවට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.
ජීවිතයේ විවිධ අවස්ථාවන්හි දුවක, සොයුරියක, මවක, බිරියක, අත්තම්මා කෙනකු ආදී වෙසෙස් චරිතයන්ට ජීවය දෙමින් ගෘහයට මිණි පහනක් වන බොදු කාන්තාවන් ලෙස මේ උතුම් වෙසක් සමයේ ඔබට පැවරෙන වගකීම සුළුපටු නොවේ. එක් පැත්තකින් ජීවිතය ඉගෙන ගන්නා හැදෙන වැඩෙන දරුවන්ට ආදර්ශවත් මවක් වන්නී ඔබයි. අප්‍රමාණ දුක් කම්කටුලු දරාගනිමින් ජීවිතයට මුහුණ දෙන්නට අපමණ ශක්තියක් ඇත්තේ ද ඔබටයි. ඒ ශක්තිය අර්ථවත් කරන්නට සම්බුදු පියාණන් වහන්සේ අපට අපූර්ව ජීවන ප්‍රතිපදාවක් දේශනා කොට වදාළහ. ඒ පංචශීළ ප්‍රතිපදාවයි. බුදු රජාණන් වහන්සේට කරන සැබෑ පූජාව වන්නේ උන්වහ්නසේ දේශනා කළ උතුම් ශ්‍රී සදහම් මඟ ගමන් කිරීමයි. යම් අතපසුවීමකින් හෝ ඔබ කිසිවෙකුගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගත්තා නම්, බොරු කීවා නම්, අනුන්ගේ දෙයක් සොරකම් කළා නම් ආදී ලෙස සිල්පද කඩ කළා නම් මේ නැවත නිවැරැදි වන්නට හොඳ ම අවස්ථාවයි. මම අද පටන් ප්‍රතිපත්තිගරුක කාන්තාවක් වනවා යන ස්ථිර අධිටනින් සිල්වත්, ගුණවත් කාන්තාවක ලෙස නොසැලෙන සිතින් ජීවිතය අරඹන්නට මේ වෙසක් සමය ආරම්භයක් කරගන්නට පුළුවන්. කිසි විටෙක ප්‍රතිපත්ති කඩ නොකළ උතුම් කාන්තාවක නම් තවදුරටත් ඒ එහි පිහිටන්නට සිත ශක්තිමත් කර ගන්නට පුළුවන්. එම යහපත් අදිටන සමඟ ජීවිතයට ආරම්භයක් දෙන ඔබගෙන් මේ වෙසක් සමයේ විය යුතු යුතුකම් රැසකි. ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවන්හි නිරත වෙමින්, අසහාය ශාස්තෘවරයාණන් වහන්සේට අප මේ සිදු කරන්නේ උත්තම ගුරු පූජාවකි. තවත් පැත්තකින් කළගුණ සැලකීම, ඉවසීම පුරුදු පුහුණු වීම, කුසලතා සංවර්ධනය කිරීම මෙන් ම මරණින් මතු ජීවිතයේ සහනයට රුකුල් දෙන උත්සාහයකි.
බුදු දහමින් පෝෂණය වූ අපූර්ව සංස්කෘතික උරුමයන් අපට තිබේ. ඒවා රැක ගැන්ම, මතු පරපුරට දායාද කිරීම වගකීමකි. වෙසක් දිනය වෙනුවෙන් බොදු නිවෙසක පහන් කූඩුවක් හෝ නිම නොවන්නේ නම් අඩුවකි. බුද්ධ භක්තිය, ගෞරවය ඇති කරවමින් එවැනි නිමැවුම් කරවීමට මවක සිය දරුවන්ට මඟ පෙන්විය යුතුම ය. ඒ නිර්මාණශීලීත්වය දරුවන්ගේ කුසලතා සංවර්ධනයට මහඟු පිටිවහලකි.
අප කුඩා කල වෙසක් ලබන්නටසති දෙක තුනකට පෙර සිට ම සැරසිලි, නිර්මාණ කරන්නට වෙහෙසුණෙමු. ඒ තනි තනිව නොවේ; අසල්වැසි සම වයස් මිතුරු මිතුරියන් සමඟිනි; වැඩිහිටියන්ගේ ද අනුදැනුමෙනි. ඒ සාමූහිකත්වය නිසා අපි ඉවසීමට, දරාගැනීමට, කැපවීමට, වැරැදි හදා ගැනීමට පුරුදු වූයෙමු; නොදන්නා දේ උගත්තෙමු; ඒ විසල් ලෝකයේ අත්දැකීම් පෝෂණය කර ගත්තෙමු. එහෙත් අද දරුවන්ගේ ලෝකය කුඩාය; ගෙදරට සීමා වීය. එය අනාගතයට යහපත් නොවේ.
කාර්යබහුල බව නිසා හෝ නොදන්නාකම නිසා හෝ වෙසක් පහන් කූඩුවත් මිලට ගැනීමට අද සමහර අය පුරුදුවී සිටිති. එය මවකට තරම් නොවන ක්‍රියාවකි. දරුවන්ට දැනෙන්නට, හැඟෙන්නට මේ උරුමයන් හඳුන්වා නොදුන්නේ නම් එහි වටිනාකමක් නැත. වැරදෙමින් හෝ යම් නිර්මාණයක් කරන්නට ඔවුන්ට මඟ පෙන්විය යුතුය. උත්සාහය අගය කරමින් උනන්දු කළ යුතුය. සිතේ මතුවන දෑ ප්‍රතිනිර්මාණය වන්නේ, හසුරු කුසලතා වැඩි දියුණු වන්නේ එවිටය.
වෙසක් සැරසිලි සේ ම දන්සල් කටයුතුවලදී ද බොහෝ විට සහභාගී වන්නේ, එක් රැස් වන්නේ තරුණ පිරිමි දරුවන් ය. ඔවුනොවුන් එක්වූ විට විනෝදයට බර වීමට පුළුවන. හැසිරම් නොගැළපීමට පුළුවන. එහෙත් මේ සූදානම් වන්නේ උතුම් බුද්ධ පූජාවකටය. එවැනි අවස්ථාවක තරුණවියට මඟ පෙන්වීම අත්‍යවශ්‍යය. මවක, සහෝදරියක, ගුරුවරියක, මිත්තනියක ඒ අසල රැඳේ නම්, ඔවුන්ට සහයෝගය දෙන්නේ නම් එය ඔවුන්ට සංවරව හැසිරීමට රුකුලකි. අපේ සන්දේශ කාව්‍යවල, කාව්‍යශේඛරය වැනි විශිෂ්ට කාව්‍ය ග්‍රන්ථවල වෙසක් කාලය පිළිබඳ කෙරෙන වර්ණනාවන්හිදී විහාරාරාමයන් වටා වූ තුරුලතාවන් ද සිල් ගත්තා බඳු යැයි පැවසේ. ඒ තුරු වටා සරන සියොතුන්ගේ නාදය බුද්ධ මන්ත්‍ර මතුරන්නා සේයැයි ද වර්ණන කෙරේ. සොබා දහමත් සංවර වනවා යන මේ වන් සංකල්ප අපේ සිත් සතන්වල, අපගේ දරුවන්ගේ සිත්වල වැඩිදියුණු කරන්නට බැරි ඇයි? එහි සැබෑ හැකියාව ඇත්තී ද කාන්තාවම ය.
වෙසක් පෝ දින සිල් සමාදන් වන්නට සැරසෙනවා නම් සැමියා ද දරුවන් ද ඊට උනන්දු කරවන්නට ඔබට පුළුවන. දින කිහිපයක සිටම ඒ වෙනුවෙන් පිරිසුදු සිතින් සූදානම් වීම තුළ දැනෙන ආධ්‍යාත්මික සුවය අපමණය. බුදුන් පුදනු පිණිස මල් නෙළන විට, මලින් බර තුරු වැල් දකින විට පහන් සිතක් උපදවා ගන්නට හැකි නම් සිතට මොන තරම් සුවයක් දැනෙනවාද? කුමාරතුංග මුනිදාස කිවිඳුන් එක් අවස්ථාවක මල් බර ව තු සුදු ගසක් වැනුවේ මෙලස ය:
ගස වතුසුදු - වී පිරිසුදු
පොහොය නැතිදු - සිල් ගත් බඳු
වෙසක් සමයේ මෙවැනි සංකල්ප වෙසෙසින් ළමා හිතට සමීප කරන්නට, මතුකර දෙන්නට හැකි නම් ගහට කොළට පය පෑගෙන වැලි කැටයකට පවා ආදරය කරන්නට දරුවන් හුරු පුරුදු වනු ඇත. පරිසරයත් බුදු දහමත් අතර ඇත්තේ අපූර්ව සම්බන්ධතාවකි. සත්ත්ව ලෝකයට මෙන් ම ගහටකොළට ද සම මෙත් කරුණා ගුණ පෑ බුදු හිමියන්ගේ ජීවිතයේ සෑම සුවිශේෂ අවස්ථාවක් ම තුරුලතා ඇසුරේ සිදුවිණි. නිෂ්ප්‍රයෝජන ලෙස ගහක කොළයක් පවා කපා දැමීම උන්වහන්සේ අනුමත කොළහ.
බුද්ධ පූජාවක් ලෙස වෙසක් සමයේ අන් කවරදාටත් වඩා ධර්ම දේශනා සංවිධානය කිරීම, බණ ඇසීම, වෙහෙර විහාර ශුද්ධ පවිත්‍ර කිරීම, මං මාවත් එළිපෙහෙලි කිරීම ආදී පින්කම් වැඩි වශයෙන් සිදු කෙරේ. පහදවා ගත් සිතින් මේ කාර්යයන් සහභාගී වීමෙන්, සංවිධානය කිරීමෙන්, ශ්‍රමදායකත්වය ලබා දීමෙන් මහා පින් රැස් කරගත හැකි ය. එහිලා, ගෙදර අම්මා මූලික වෙමින් සිය අනුදැනුම යටතේ දරුවන් ඒවාට සහභාගි කරවීම වැදගත්ය. ඇතැම් මවක වැරැදි ආකල්පවල හිඳිමින් දරුවන්ගේ පයට වැලි කැටයක්වත් පෑගෙන්නට ඉඩ දෙන්නේ නැත; අමතර පන්ති පාඩු වෙනවා යැයි කිසිදු බාහිර කටයුත්තකට ඉඩ දෙන්නේ නැත. එහෙත් සාමූහිකත්වය ඉගෙන නොගන්නේ නම්, සොබා දහමින් දුරස් වූයේ නම් සිදු වන්නේ අනර්ථයකි.
මිනිසුන් විඳින දුක දැක ඒ දුකින් ඔවුන් මුදා ගන්නට, මරණයෙන් මුදා ගන්නට අපමණ කැප කිරීම් කළ මුනිවරයන් අනුන්ගේ දුකට සහනය දෙන්නට යොදුන් ගණන් දෙපයින් වැඩම කළ මුනිවරයෙකි යන හැඟීමෙනි. ඒ අපමණ බුදු ගුණ දරුවන්ට හැඟෙන්නට, දැනෙන්නට කියා දීමට මේ වෙ සක් සමය හොඳම අවස්ථාවක් කර ගැනීමට පුළුවන. ‘ගෙදර බුදුන් අම්මා’ යැයි කියන්නේ ද අම්මා දරුවන් වෙනුවනේ අපමණ කැප කිරීම් කරනවා යන අර්ථයෙනි. ඒ වටිනාකම මවකට දෙන්නට නම් දරුවන් ද බුදු ගුණ දැන සිටිය යුතුය.
අම්මා දරුවන් වෙනුවෙක් කැප වන්නේ උදවු උපකාර කරන්නේ බොහෝ දේ ඉවසා දරාගෙනය. ඒ ඉවසීම සෑම මවකට ම තිබිය යුතු වන්නේ නිහඬ බව ජීවිතයට අපූර්ව පාඩමක් උගන්වන හෙයිනි. දරුවන්ගේ වරද ඉවසමින්, නිවැරැදි මාවතකට ඔවුන් යොමු කිරීම මවකගේ වගකීමකි. ඒ ගති ලක්ෂණ ළමයින්ට ද බලපායි. හැසිරීම ගැන දරුවාට වැඩි අත්දැකීම් ලැබෙන්නේ මවගෙනි. එම නිසා කාන්තාවක ලෙස ධර්මානුකූළව ගොඩනඟා ගත් චරිතය නිහඬව මනා මෙහෙවරක නියැළෙන බවද කාන්තාව තේරුම් ගත යුතුය.
බුදුරජාණන් වහන්සේ දරුවන් තුන්වර්ගයක් පිළිබඳව සඳහන් කළහ. අතිජාත, අනුජාත, අවජාත යනුවෙනි. අතිජාත නම් මවුපියන්ට වඩා ගුණ දහම් පෝෂණය කරන දරුවෝ ය. අනුජාත නම් මවුපියන්ගේ යම් ගුණයක් වේ ද ඒ හා සමාන ගුණයෙන් යුතු වන දරුවෝ ය. අවජාත නම් මවුපියන් සතු වන්නේ යම් මද ගුණ ප්‍රමාණයක් ද, ඒ ගුණ ධර්ම ස්වල්පය හෝ නොවැඩූ නුගුණ ඇති අය ය. උදාර කාන්තාවක මවක ලෙස උත්සාහ කළ යුතු වන්නේ තමන් සත්පුරුෂවත් වී ගුණයෙන් පිරි, සද්පුරුෂ අතිජාත දරුවකු ලොවට දායාක කරන්නටය. මේ උදා වූ උතුම් මොහොතේ ඒ වෙනුවෙන් ආකල්පමය වෙනසක් ඇති කරගන්නට. ක්‍රියාත්මක වන්නට හැකි නම් එය සුවිශේෂ ජයග්‍රහණයකි.
මවක සතු විය යුතු උතුම් ගුණධර්ම හතරක් මෙත්තා, කරුණා, මුදිතා, උපේකෂා යනුවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. එවැනි සිව් බඹ විහරණයෙන් යුතු උතුම් මවක ලැබීම දරුවන් ලද භාග්‍යයකි. අනෙක් පසින් එවන් මවක ඇසුරේ හැදෙන දරුවන් ද කිසි දිනෙක අදැහැමි නොවනු ඇත. මේ නිසා කාන්තාවක ලෙස එම ගුණයන් අධ්‍යාත්මයෙහි වර්ධනය කරගන්නට නොපසුබට විය යුතුය. එවිට අංශුමාත්‍රයකින් පමණ හෝ බුදු හිමියන් දේශිත ධර්ම මාර්ගයට පිළිපන්නා යැයි මේ වෙසක් සමයේ ඔබට ආධ්‍යාත්මික සුවයක්, සතුටක් ලබන්නට හැකිවනවා නොඅනුමානය.