මාධ්‍ය ඇත්ත සහ බොරුව අතර ජනතාව අතරමං කරලා | Page 2 | සිළුමිණ

මාධ්‍ය ඇත්ත සහ බොරුව අතර ජනතාව අතරමං කරලා

 මහාචාර්ය අජන්තා හපුආරච්චි

මේ කරුණ පිළිබඳ අදහස් දැක්වීමට පදනමක් ලෙස මෑතකදී මා ලද අත්දැකීමක් පාදක කර ගැනීමට කැමැත්තෙමි. පසු ගිය කාලයේ මෑන් පවර් සේවකයන් විශාල උද්ඝෝෂණයක් කළ බව අපි දනිමු. ඒ පිළිබඳ සියලු ජන මාධ්‍ය දැඩි උනන්දුවක් දැක් වූ අයුරුද අපි දුටුවෙමු. එහෙත් මෑන් පවර් සේවකයන් යනු කවුද? ඔවුන්ගේ සේවයේ සැබෑ ස්වරූපය කුමක්ද යන්න පිළිබඳ ගවේෂණාත්මකව, සත්‍ය ස්වරූපය එළි වන අයුරින් රට දැනුම්වත් කිරීමට ඉදිරිපත් වුණේ කුමන මාධ්‍ය ආයතනයද? මාධ්‍ය කරුවාද? මෑන් පවර් සේවය පිළිබඳ ඇත්ත තත්ත්වය හෙළි කරමින් මා ලියූ ලිපියක්වත් පළ කිරීමට උනන්දුවක් මාධ්‍ය ආයතනවලට නොවූයේ මන්ද? ඇතැම්විට එයින් සත්‍ය හෙළි වීම රජයට වාසියක් වනු ඇතැයි පූර්ව නිගමනයක සිටියා විය හැකිය. කිසිම රටක මෑන් පවර් සේවකයන් යනු ස්ථිර සේවකයන් ‍නොවේ. වෙනත් ක්ෂේත්‍රවලින් අවස්ථාව අනුව ලබා ගන්නා සේවයක් පමණි. පිටරට උසස් අධ්‍යාපනික ආයතනවල ඉගෙන ගන්නා ළමයින් වසන්ත නිවාඩුවට තාවකාලික ආදායම් මාර්ග සඳහා මෙසේ මෑන්පවර් සේවකයන් බවට පත්වේ. නැවත කොලීජිය ඇරැඹූ පසු ඔවුන් අධ්‍යාපනයට යොමු වේ. මේ පිළිබඳ අපේ ජනතාව පැහැදිලි අවබෝධයකින් සිටීම මෙවැනි ගැටලුවකදී විසඳුම් ලබා දීමට හා ඒ විසඳුම් සාධාරණදැයි තීන්දු කිරීමට ඉතා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ජනමාධ්‍ය ක්‍රියා කළ යුත‍්තේ රජයට 'කඩේ යෑමට' හෝ වෙනත් අයකු වෙනුවෙන් 'කඩේ යෑමට' නොවේ, යම් සිදුවීමක් සාධාරණ ලෙස ඉදිරිපත් කළ හැකි ස්ථාවරයකය. එහිදී ආණ්ඩුවක් කරන වැරැදි හෙළි කිරීමට නොබිය වන්නා සේම ආණ්ඩුවක් කරන සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමටද බිය නොවිය යුතුය. ආණ්ඩුවට කඩේ යෑමක් සේ සලකා රටේ සංවර්ධනයක් වේ නම් එය නොපැවසීමද වැරැද්දකි.

වර්තමාන මාධ්‍ය ක්‍රියාකාරීත්වයට හේතු අවබෝධ කරගැනීමට උත්සාහ කිරීමේදී ජනතා විරෝධී ලෙස රටේ සංස්කෘතිය විනාශ කරන බවට ඇතැම් මාධ්‍යවලට ඇති චෝදනාව තුළ ගැබ් වන්නේ කුමක්ද යන්න විග්‍රහ කරගත යුතුය. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මාධ්‍ය බහු‍ලීකරණය වීමයි. දශක දෙකක් තරම් මෑත ඉතිහාසය දක්වා අපට තිබුණේ ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී ආයතන දෙක තුනක් හා පුවත්පත් කීපයක් පමණි. එහෙත් පෞද්ගලික නාලිකා ඇති වීමත් සමඟ ගුවන්විදුලි ආයතන පනහක් පමණත්, රූපවාහිනී කේබල් නාලිකා ද ඇතුළුව විශාල සංඛ්‍යාවකුත්, පුවත්පත් හතු පිපෙන්නා සේත් ඇති වීමත් සමඟ ඒවායේ ක්‍රියාකාරීත්වය බරපතළ ලෙස වෙනස් වන්නට පටන් ගත්තේය. ප්‍රේක්ෂක, ග්‍රාහක, පාඨක පිරිසට තේරීමක් අවශ්‍ය විය. ග්‍රාහක පාඨක ප්‍රේක්ෂක සමූහයේ බෙදීමක් ඇති විය. එදා යම් කිසි කරුණක් වෙනුවෙන් එක අරමුණකට ගත හැකි වූ ජනතාව අද එසේ එකට ගැනීමට හැකිද? එදා එකට ගනුදෙනු කළ කණ්ඩායම් අද බෙදී විසිරී ගොස් ඇත. ඒ ඒ පාඨක, ප්‍රේක්ෂක හා ග්‍රාහක පිරිස් සඳහාම නිපදවුණු වැඩසටහන් ප්‍රචාරය වේ. නාලිකා වැඩ කරන්නේ තමන්ගේ ඉලක්ක කණ්ඩායමට ගැළපෙන අයුරින් මිස මාධ්‍යයක් කටයුතු කළ යුතු අයුරින් නොවේ.

ටෙලි නාට්‍ය, ගුවන්විදුලි නාට්‍ය, පුවත්පත් විශේෂාංග ආදී සියල්ල මේ දරුණු රැල්ලට හසු වී ඇත. විශේෂයෙන් ප්‍රවෘත්ති බරපතළ ලෙස මේ තත්ත්වයට කොටු වීම කෙතරම්ද යත් තමන්ගෙන් සිදුවිය යුතු සේවය වෙනුව‍ට විකල්ප ‍සෙවීමට පටන්ගෙන ඇත. එනිසා ප්‍රවෘත්තියක් ජාතික වශයෙන් ප්‍රචාරය වද්දී තිබිය යුතු ගුණාංග වන අදාළත්වය වැනි දේ වෙනුවට පුද්ගලබද්ධ තත්ත්වයකට පත්ව ඇත. එක පුද්ගලයකුට අදාළ සුළු සිදුවීමක් සමස්ත රටේම අවධානය දිනා ගන්නා කරුණක් බවට පත්වී ගොසිනි. ඒ අතරම රූප මාධ්‍ය යොදාගෙන ඒ පුද්ගල බද්ද සුළු පුවත නාටකීය ස්වරූපයෙන් ඉදිරිපත් කර ජාතික පුවතක්, ප්‍රශ්නයක් බවට පත් කිරීමට උත්සාහ දරයි. මෙයින් ඒ සිදුවීම රටතුළ සාමාන්‍යකරණයට ලක්වීම අතිශයින් භයානක තත්ත්වයකි.

අනෙක් අතට යම් පුවතක, ප්‍රවෘත්තිමය වටිනාකම වෙනුවට මාධ්‍ය මඟින් ඉදිරිපත් කරන්නේ එහි තෝරාගත් කොටස්ය. නිදසුනක් ලෙස මීතොට මුල්්ල කසළ කන්ද නාය යෑමෙන් ඇති වූ ප්‍රශ්නයේදී ජන මාධ්‍ය ක්‍රියා කළ ආකාරය අපූරුය. එක එක මාධ්‍ය අල්ලා ගත්තේ කසළ කන්දේ එක එක පැත්තෙන් මිස සමස්ත ප්‍රශ්නය නොවේ. එයින් විපතට පත්ව හඬන ගැහැනුන් මිනිසුන්ගේ දුක පෞද්ගලික ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් වූවා මෙන්ම සාමාන්‍යකරණය වූවා විනා ප්‍රශ්නයේ අග මුල සහ එයට නිසි විසඳුමක් ලැබිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ මතයක් ඉදිරිපත් කිරීමට මාධ්‍ය සමත් වූ‍යේ නැත. පුවත්වල එක එක කොටස් එක එක අයුරින් එකඑක මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විට සත්‍ය කුමක්ද යන්න තෝරා ගැනීමට ජනතාව අපොහොසත් වෙයි. පිටරටවල ප්‍රවෘත්තියක වටිනාකම ජාතික වශයෙන් තීරණය කරන්නේ යම් යම් මිනුම් දඬු අනුවය. නිදසුනක් ලෙස රටක ජනාධිපතිවරයා රාත්‍රී සමාජ ශාලාවකට යෑම මාධ්‍යයක වාර්තා කළ යුතුද යන්න තීරණය වන්නේ ඔහුගේ පෞද්ගලිකත්වයට පහරක් ලෙස නොව ඔහු රටට වගකියන ජනාධිපතිවරයා වීම නිසාය. අපේ රටේ වාර්තාකරණයේ ඇති ගැටලුව මේ වෙනස හඳුනා නොගැනීමයි. එකම ප්‍රවෘත්තිය විවිධාකාරයෙන් ඉදිරිපත් වීම නිසා ජනතාවට පැහැදිලි අදහසක් ලබා ගැනීම වැළැකී ගොසිනි.

ඊළඟ ගැටලුව වී ඇත්තේ මාධ්‍ය ඔස්සේ ඕනෑම දෙයක් ප්‍රචාරය කිරීමට හැකි වීමයි. අද ලොව පුරාම එක ආයතනයක් තුළ රූපවාහිනී ගුවන්විදුලි හා පුවත්පත් යන මාධ්‍ය වර්ග සියල්ල තිබීමත් සහ ඒවා අංකිත සංගතකරණය වී තිබීමත් තාක්ෂණය සමඟ සිදුවන්නකි. සියලුම දේ 'ඔන්ලයින්' ක්‍රම‍යට යටත් වීමත් නිසා එදා නිවේදකයාගේ ස්ථානයේ රැඳී සිටිමින් කතා කළද අද ග්‍රාහකයාගේ ස්ථානයේ සිට කතා කිරීම දක්වා එය වෙනස් වී ඇත. එදා අසන්නන්ගේ ඉල්ලීම් පිළිබඳ නිවේදකයා නම් ගම් සහිතව කී අතර අද ඍජුවම අසන්නා ඒ කොටස කියයි. රූපවාහිනියටද ස්කයිප් මාර්ගයෙන් අසන්නන් සම්බන්ධ වේ. මෙවැනි තාක්ෂණික හේතු නිසා ඇතිවන කේන්ද්‍රාභිමුඛවීම් මාධ්‍යවල ඇති වී තිබෙන මේ වෙනසට දැඩි සේ බලපායි.

එහි තවත් පැත්තක් වන්නේ පුරවැසි මාධ්‍යවෙදීන් සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයට කරන බලපෑමය. ඔවුන් ජනමාධ්‍යවේදීන් යැයි හඳුන්වා ගත්තද ඉන් අති බහුතරය කිසිදු ප්‍රායෝගික දැනුමකින් ‍හෝ අවබෝධයකින් තොරව, වගකීම් විරහිත ලෙස ආචාරධර්මවලට පටහැනිව කටයුතු කරගෙන යෑම අතිශය භයානක තත්ත්වයකි. ඔවුන් 'මාධ්‍යවේදියා' යන කරුණ තමන්ගේ ආභරණයක් ලෙස යොදා ගන්නවා විනා සමාජයට වගකිව යුතු අයුරින් කටයුතු කරන්නේ කෙසේදවත් නොතකන පිරිසක් බවට පත්ව තිබේ. රුසියාව වැනි රටක ලෙනින්ගේ කාලයේ සිට පවා මාධ්‍යවලට අපරාධ සඳහා ඉඩක් නැත. එහෙත් අපේ රටේ මාධ්‍ය අපරාධ සිදු වූ ආකාරය විස්තර කරන්නේ කතන්දර ස්වරූපයෙනි. මේ කරුණු නිසාද ජනමාධ්‍ය අද විශාල කැලඹීමකට පත්ව ඇත.

අද අලුතෙන් යැයි කියමින් විවිධ මාධ්‍ය ස්වරූප සමාජයට ඉදිරිපත් වුවද මා දකින්නේ ඒවා පැරැණි මාධ්‍යවලම දිගුවන් ලෙස මිස අමුතු අලුත්බවකින් නොවේ. එහි ඇති අලුත් ගුණය වන්නේ වගකිමෙන් තොර බව පමණි. ඇතැම් පෞද්ගලික මාධ්‍යවල ක්‍රියාකාරීත්වය රාජ්‍ය මාධ්‍යවල ගුණාත්මකබවටත් බලපෑම් කරන තත්ත්වයට පත්ව තිබේ. හේතුව තරගකාරීත්වය ලෙස හඳුනා ගනී. එහෙත් ඒ අභියෝගය ජය ගැනීම නිවැරැදිව කටයුතු කරන මාධ්‍ය ආයතනයකට අපහසු නැත. කළ යුත්තේ හැල්මේ දිවීම නවතා තමන්ගේ රාමුව හඳුනාගෙන කටයුතු කිරීමය. මෙහිදී විවිධ වෙළෙඳ අරමුණු නිසා බලපෑම් එල්ල වන බව සත්‍යයකි. එහෙත් පෞද්ගලික මාධ්‍ය අතිශයින්ම බටහිර වැඩසටහන් 'කොපි' කරමින් ජනතා පෞරුෂය විනාශ කරද්දී රාජ්‍ය මාධ්‍ය ඒ ගමන වළක්වා තමන් සමඟ ගමන් කරන ප්‍රේක්ෂක පාඨක ග්‍රාහක පිරිස සමඟ උඩුගං බලා යෑමට තරම් ශක්තිමත් වනවා නම් මේ විනාශය නවත්වා ගැනීමට හේතුවක් වනු ඇත.

ජනමාධ්‍ය පැමිණිමට පෙර අපට ගුරුහරුකම් දුන් දෙමාපිය වැඩිහිටි සඟ ගුරු පිරිසගේ ස්ථානය අද පැහැරගෙන ඇත්තේ ජනමාධ්‍යයයි. ඒ නිසා සමාජය යහපත් කිරීමේ වගකීම ඇත්තේද මාධ්‍යයටමයි. එහෙත් අපේ රටේ විශ්වවිද්‍යාලවල පවා මේ වනවිට නිවැරැදිව ජනමාධ්‍ය විෂයය උගන්වන්නේද යන්න ගැටලුවකි. එසේ නිවැරැදි අධ්‍යාපනයක් ලබා දුන්නේ නම් ඒවායින් පි‍ටවන මාධ්‍යවේදීන්ගෙන් අද සිදුවන ආකාරයේ හැසිරීමක් දක්නට ලැබිය හැකිද?

කෙසේ වුවද සමාජයේ ඇති වී තිබෙන මේ තත්ත්වය වෙනස් කළ හැක්කේද අධ්‍යාපනයට හා මාධ්‍යයට පමණි. පිටරටවල කුණුගොඩවල් වැනි ටෙලි නාට්‍ය පෙන්වා දික්කසාදවීම්වලට කුඩා දරුවාගේ සිට මනස හැඩ ගස්වනවා වෙනුවට මුළු ගුවන් කාලයෙන් පැය බාගයක් හෝ හොඳ වැඩසටහන් කීපයක් වෙනුවෙන් වෙන් කළ හැකිනම් එය ද ප්‍රමාණවත්ය. මෙහිදී රාජ්‍ය මාධ්‍යවලට මූලිකත්වය ගෙන පෙරගමන්කරුවන් විය හැකිය. එවිට ප්‍රේක්ෂකත්වය, පාඨක පිරිස අඩු වූවා යැයි දුර්මුඛ විය යුතු නොවේ. ලෝකය වෙනස් කළේ තනි මිනිසුන්ය. බුදු හිමියන්, ක්‍රිස්තුන් වහන්සේ, මහම්මත්තුමන් තනි පුද්ගලයන්ය. ඇරිස්ටෝටල්, සොක්‍රටීස් තනි පුද්ගලයෝය. බුදු හිමියන් ධර්මය දේශනා කිරීමට සමස්ත ජනතාව නොව තෝරා ගත්තේ පස්වග මහණුන්ය. එසේම රැල්ලේ ගසාගෙන යන ප්‍රේක්ෂක පාඨක පිරිස නොව ඇති වී ඇති තත්ත්වය හමුවේ විසිරී ගිය ග්‍රාහක කණ්ඩායම් අතර තමන්ගේ මාධ්‍යය හා රැඳුණු පිරිසට නිවැරැදි හා හොඳ දේ ලබා දෙන විට අන් අයද ඉබේම තමන් වෙත ඇදෙන බව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. මාධ්‍ය යනු සේවයක් බව අමතක නොකළ යුතුය.

අපේ රටේ බලපෑම් කණ්ඩායම් මේ සඳහා අවබෝධයක් ඇති මිනිසකු තැනීමට නම් අධ්‍යාපනය හා ජනමාධ්‍ය නිසි මඟක් ගත යුතුය. අපේ රටේ දරුවකුට ගුරුවරයකු අත එසවුව‍හොත් මානව හිමිකම් යෑම තවත් ගැටලුවකි. වේවැල් කෝටු නාරං සියඹලා අතු සමඟ අධ්‍යාපනය ලබා දෙන යුගය මේ තරම් පරිහානියට ලක්ව තිබුණේ නැත. අපේ රටේ ළමයින්ට අන්තර්ජාලය තහනම් ක‍ළ හොත් ඒ වෙනුවෙන් මුලින්ම උද්ඝෝෂණයට එන්නේ දෙමාපියන්ය. එහෙත් ඇමෙරිකාවේ අවරුදු 13 දක්වා දරුවන්‍ට අන්තර්ජාලය තහනම් බව කවුරුත් කතා කරන්නේ නැත. ඒ රටවල කුඩා කල සිට මාධ්‍ය සාක්ෂරතාව දරුවන්ට ලබා දෙයි. එසේම ලිංගික අධ්‍යාපනය නිසි අයුරින් ලබා දෙයි. එනිසා ඇතැම් මාධ්‍ය මඟින් ඇඳක් මත පෞද්ගලිකව සිදු වන කරුණු ගීතයක රූප රචනය සඳහා යොදාගැනීමෙන් හෝ සමාජය වසන් කරන ලිංගික කරුණු හොරෙන් සොයාගැනීමේ පිපාසය සන්සිඳුවීමෙන් ඇති කරගන්නා ජනප්‍රියත්වය මාධ්‍යවලට අවශ්‍ය වන්නේ නැත.

මේ දේවල් පිළිබඳ අවබෝධයක් ඇති මිනිසකු තැනීමට නම් අධ්‍යාපනය හා ජනමාධ්‍ය නිසි මඟක් ගත යුතුය. ඒ සඳහා මාධ්‍යවේදීන් උගත් බුද්ධිමත් මෙන්ම සැබෑ මාධ්‍ය ඉවක් සහිතව කටයුතු කරන පිරිසක් විය යුතුය. මාධ්‍යායතන ඒ සඳහා සංවේදනය සහිතව ක‍ටයුතු කළ යුතුය. රට ගොඩ නඟන පිරිස බවට පත්වන්නේ ඒ ඔස්සේ ගොඩ නැගෙන අතළොස්ස බව මාධ්‍යායතන අවබෝධ කර ගත යුතුය. ඒ අවබෝධය සඳහා ද වැදගත් වන සාධකයක් වේ. එනම් මේ සියල්ල‍ තේරුම් ගන්නා 'මනුෂ්‍යයකු' බිහි කිරීමය.

අරුණි මුතුමලී

Comments