ජනතාවට ජනමාධ්‍ය විශ්වාස කිරීමට සිදු වෙලා | Page 2 | සිළුමිණ

ජනතාවට ජනමාධ්‍ය විශ්වාස කිරීමට සිදු වෙලා

 මෙරට ජනමාධ්‍ය භාවිතය හා එයින් ජනතාවට ඇති වන බලපෑම පිළිබඳ “සිළුමිණ” 2017 අප්‍රේල් 30 දින “ජනමාධය ගැන ජනතාවට විශ්වාසයක් නෑ” යන ශිර්ෂය යටතේ පළවී තිබූ ලිපියෙහි ඇතැම් කරුණුවලට මේ ලිපිය මඟින් පිළිතුරක් යොමු කරමි.

ජන සන්නිවේදන මාධ්‍යයෙහි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ, සෑම පාර්ශ්වයකටම පොදු වූ සන්දේශ නැතහොත් පිණිවිඩ සම්පාදනය කිරීමය. එමෙන්ම සන්නිවේදකයා ග්‍රාහකයා අභිමුඛ නොවීම ද ජන සන්නිවේදන මාධ්‍යයෙහි තවත් විශේෂිත ලක්ෂණයකි. ඒ වාගේම විවිධ වයස් මට්ටම්, විවිධ සමාජ, සංස්කෘතික හා ආගමික කණ්ඩායම් නියෝජනය කරන පිරිස් ජන සන්නිවේදන මාධ්‍ය භාවිත කරනු ලබයි. එබැවින් සන්නිවේදකයා විසින් කිසියම් සන්දේශයක් නැතහොත් පණිවිඩයක් ග්‍රාහකගත කිරීමේදී, ඒ සියලු කරුණු පිළිබඳව මනා අවබෝධයකින් පසු විය යුතු වනවා සේම, ග්‍රාහකයන්ද තමන් හමුවට පැමිණෙන සන්දේශය නැතහොත් පණිවිඩයෙහි ඇති වැදගත්කම පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයකින් පසුවීම ඵලදායි වේ. එවැනි පසුබිමක් තුළින් ග්‍රාහකයාගේ අනවශ්‍ය අවශ්‍යතා මතු වීම ද වැළකීයයි.

ඒවාගේම වර්තමානයේදී පාරිභෝගිකයන් හට අනවශ්‍ය පෙලඹවීම් ඇති කරවන ප්‍රධාන හේතුවක් වී ඇත‍්තේ, ජන සන්නිවේදන මාධ්‍ය මඟින් ප්‍රචාරය කරනු ලබන ඇතැම් වෙළෙඳ දැන්විම් ය. මෙහිදී ඇතැම් මාධ්‍ය ආයතන හිමිකරුවන් ‍වාණිජ අරමුණු ඉටු කර ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දීමට යෑමේදී, ප්‍රමිතියෙන් තොර වෙළෙඳ දැන්වීම් පවා ප්‍රචාරය වීම සිදුවේ. මහජනතාව වෙනුවෙන් කිසියම් සේවයක් සිදු කිරීමේ අරමුණින් සංවිධානය වූ ජන සන්නිවේදන මාධ්‍ය ආයතනයක් වුවද, ඒ හා බැඳුණු ව්‍යාපාරික පසුබිමක් ද පවතී. වර්තමානයේ මාධ්‍ය ආයතන පවත්වාගෙන යෑම සඳහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ. නවීන යන්ත්‍රසූත්‍ර සහ උපකරණ මිලදී ගැනීමට, ඒවා නඩත්තු කිරීමට සහ සේවක වැටුප් ගෙවීම ආදී විවිධාකාර වූ වියදම් දැරීමට ජන සන්නිවේදන මාධ්‍ය ආයතනවලට සිදු වේ. මේ අනුව එක් මානයකින් අදාළ ජන සන්නිවේදන මාධ්‍යයන්ට හිමි වගකීම් හා ආචාරධර්ම රැක ගැනීමේ ප්‍රයත්නයක නිරත විය යුතු අතර, තවත් මානයකින් අදාළ ජන සන්නිවේදන මාධ්‍ය ආයතනය පවත්වා ගෙන යෑමට හා ලාභ ඉපයීම වැනි ව්‍යාපාරික අරමුණු සපුරාගැනීමට ද සිදුවේ. මෙම ද්විත්ව අනන්‍යතා රැක ගැනීම නූතන ජන සන්නිවේදන මාධ්‍ය ආයතන මුහුණ දී ඇති ප්‍රමුඛතම ගැටලුවකි.

මාධ්‍යවේදියා යන භූමිකාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ. අපේ රටේ ප්‍රධානම ජන සන්නිවේදන මාධ්‍ය ලෙස පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය හඳුන්වාදිය හැකිය. මෙහිදී පුවත්පත් කියවන්නන් පාඨකයන් ලෙසත්, ගුවන් විදුලිය අසන්නන් ශ්‍රාවකයන් ලෙසත්, රූපවාහිනිය නරඹන්නන් ප්‍රේක්ෂකයන් ලෙසත් හැඳින්විම වඩාත් සුදුසුය. ඒවාගේම පොදුවේ පාඨකයින්ට, ශ්‍රාවකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට ග්‍රාහකයා යන නාමය භාවිත කිරීමේ වරදක් නැත. ඒ වාගේම පුවත්පත්වල මාධ්‍ය කටයුතුව නිරත වන්නන් හට පුවත්පත් කලාවේදීන් ලෙස නම් කිරීමට වඩා, පුවත්පත් මාධ්‍ය‍ෙව්දීන් ලෙස හඳුන්වාදීම වඩාත් සුදුසුය. එමෙන්ම ගුවන් විදුලි මාධ්‍යයේදී ගුවන් විදුලි මාධ්‍යවේදීන් ලෙසත්, රූපවාහිනී මාධ්‍යයේදී රූපවාහිනී මාධ්‍යවේදීන් ලෙස හඳුන්වාදීම සුදුසු අතර, පොදුවේ මාධ්‍යවේදීන් නැතහොත් ජනමාධ්‍යවේදීන් ලෙස නම් කිරීමේ වරදක් ද නැත. කෙසේ වෙතත් මාධ්‍යවේදියායයි හඳුන්වා ගන්නා සෑම කෙනකුම එම වෘත්තියේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කිරීම අතිශය වැදගත්ය. එසේ නොවුණ‍හොත්, මාධ්‍ය වෘත්තියෙහි ගුණාත්මක භාවය පිරිහී යනු ඇත. එසේම සමාජ වගකීම් පිළිබඳව හරිහැටි නොතේරුණු මාධ්‍යවේදීන් අතළොස්සකගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා, සමස්ත මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය අවතක්සේරු කිරීමද නොකළ යුතුය.

මෙහිදී විද්යුත් මාධ්‍ය සාකච්ඡා කිරීමේදී, නිවේදකයාට ද සුවිශේෂ ස්ථානයක් හිමි වේ. වර්තමානයේ නිවේදකයාගේ භූමිකාව වැඩසටහන් ඉදිරිපත් කරන්නකු නැතහොත් වැඩසටහන් මෙහෙයවන්නකු මෙන්ම සම්ප්‍රේෂකයකු ලෙසත් හඳුන්වා දී තිබේ. සැබවින්ම නිවේදකයාගේ කාර්යභාරය විය යුත්තේ, කොළයක නැතිනම් වැඩසටහනෙහි පිටපතෙහි ලියා ඇති දේ, කියවීම පමණක් නොවෙයි, ශ්‍රාවකයා හෝ ප්‍රේක්ෂකයාට ආමන්ත්‍රණය කරන නිවේදකයාට ස්වකීය කාර්යභාරය පිළිබඳව මනා වැටහීමක් තිබිය යුතුය.

වර්ෂ 1922 දී ආරම්භ කරන ලද (BBC - British Broadcasting Corporation) බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාවෙහි ජොන් රීත්, රොබ් හොස්කින්ස්, ඩෑනී බේකර් සහ ග්ලෝරියා හනිෆොඩ් වැනි නිවේදක නිවේදිකාවන්ට සම කළ නොහැකි වූ නමුදු, අපේ රට තුළ ද ගුවන් විදුලි මාධ්‍ය ආරම්භයේ සිටම ඩී.එම්. කොළඹගේ, කරුණාරත්න අබේසේකර, එච්.එම්. ගුණසේකර, සිරිල් රාජපක්ෂ, ප්‍රේමකීර්ති ද අල්විස්, ප්‍රභා රණතුංග, නන්දා ජයමාන්න සහ සුමනා ජයතිලක වැනි දේශීය අනන්‍යතාව සුරකිමින් සමාජ සංස්කෘතියට ගැළපෙන සහ ඉතාම ඉහළ මට්ටමේ සුමනා ජයතිලක වැනි දේශීය අනන්‍යතාව සුරකිමින් සමාජ සංස්කෘතියට ගැළපෙන සහ ඉතා ඉහළ මට්ටමේ හඬ පෞරුෂයන් තිබුණු නිවේදක නිවේදිකාවන් ගණනාවක් සිටි බව මෙහිදී අනාවරණය කළ යුතු ය. එවැනි පිරිස් කිසිවිටකත් තම කටහඬ හෝ වෘත්තීය මුදලට පාවා නොදුන්නේ ය.

එසේම ඕසන් වේල්ස් නම් මාධ්‍යවේදියා පැවසූ පරිදි වර්තමානයේ දී, ජනමාධ්‍යයට අපේ රටේ මිනිසුන් “ගොනාට ඇන්දවීම” එතරම් පහසු කටයුත්තක් නොවනු ඇත. මේ වන විට අපේ රටේ සාක්ෂරතාව ඉහළ අගයක් ගෙන තිබේ. මෙහිදී අපේ රටේ මිනිසුන් මාධ්‍ය සාක්ෂරතාව අතින්ද තවදුරටත් සංවර්ධනය වන්නේ නම්, නිවැරදිව මාධ්‍ය භාවිත කිරීමට ඇති හැකියාවන් ඉහළ යනු ඇත. ඒවාගේම අපේ රටේ මිනිසුන්ට හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාවක් පවතී, සංවේදී කාරණා වලට මුල්තැනක් දෙන අපේ රටේ මිනිසුන් අන් අයගේ දුක්වේදනා වලට සවන් දීමටත්, හැකි පමණින් උපකාර කිරීමටත්, පෙලඹෙයි. එනමුදු අපේ රටේ බොහෝ මිනිසුන්ගේ දුර්වලතාවක් වන්නේ, යම් සිදුවීමක් වූ පසුව එය තමන්ගේ ජීවිතයට පාඩමක් කර නොගැනීමයි. එසේම එම සිදුවීම ඉතා ඉක්මනින් අමතක කිරීමයි.

වර්ෂ 2001 සැප්තැම්බර් මස 11 වන දින ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව එදා ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළ ආකාරයත්, මීතොටමුල්ලේ කසළ කන්ද නාය යෑම පිළිබඳව අපේ රටේ මාධ්‍ය වාර්තා කළ ආකාරයත් පිළිබඳව සසඳන විට මාගේ විශ්වාසය නම්, එම ප්‍රවෘත්තිය සම්බන්ධව අපේ රටේ බොහෝ ජනමාධ්‍ය කිසිවක් නොසඟවමින් රට වැසියන් පමණක් නොව සමස්ත ලෝකයටම සත්‍ය හෙළි කළ බවයි. එදා ඇමරිකානු මාධ්‍ය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඇතැම් කරුණු වසන් කිරීමට උත්සහ දැරුවේ, එම සංසිද්ධිය සිදුවූ විගස එරට ජනතාව තවතවත් කැලඹීමට පත්වේයැයි බියටත් වඩා, ලෝක ප්‍රජාව හමුවේ තම රටට හිමි වන අවමානයෙන් මිදීමට ය. දෙවනුව ඇමෙරිකාව වැනි දියුණු රාජ්‍යයකට තවත් රාජ්‍යන්හී උපකාර නොමැතිව වුවද, ඕනෑම ව්‍යසනයකින් යළි නැගටීම එතරම් අපහසු කාර්තව්‍යයක් නොවේ.

එනමුදු මීතොටමුල්ලේ කසළ කන්ද නාය යාම අපේ රටේ මාධ්‍ය දිගින් දිගටම වාර්තා නොකරන්නට කසළ කන්දට යට වූ පිරිසට අත්විය හැකි ඉරණව කෙසේ අවසන් වන්නේ ද? යන්න පිළිබඳව මේ වන විට නිගමනය කළ හැකිය. 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හිමිවී තිබෙන අවස්ථාවක 2016 තොරතුරු දැන ගැනීමේ පනත බලාත්මක වී තිබෙන අවධියක පොදු ජනතාවට තොරතුරු සපයන ජනමාධ්‍යවේදීන් හටද නිදහස් තොරතුරු වාර්තාකරණයට ඉඩ ලබා දිය යුතුව ඇත. ඒවගේම මාධ්‍යවේදියා විසින් ලබා ගන්නා තොරතුරු මාධ්‍ය ආචාර්ධර්ම උල්ලංඝනය නොවන අයුරින්, ග්‍රාහකයාට අගතියක් නොවන පරිදි එලෙසම වාර්තා කරන්නේ නම්, එම වාර්තා වාරණය කිරීමේ අවශ්‍යතාවක් නැත. ඉන් සිදුවන්නේ ද පොදු ජනතාව වෙත නිවැරදි තොරතුරු සමීප කරවීමක් පමණි. මාධ්‍ය ක්‍රියාවලියකින් සිදු විය යුත්තේ ද ග්‍රහකයාට නිවැරදි තොරතුරු සමීප කරවීමකි. මේ අයුරින් පොදු ජනතාව වෙත සන්නිවේදනය තවතවත් සමීප කිරීම උදෙසා අපේ රටේ මාධ්‍යවේදීන් ගනු ලබන බොහෝ ක්‍රියාමාර්ග අගය කළ යුතුව තිබේ.

ඉන්දියාව වැනි රටක දුම්රියක් පෙරළුණු විට අදාළ ඇමැතිවරයා ඉල්ලා අස් වන්නේ මාධ්‍ය මඟින් සිදු කරන බලපෑමටත් වඩා, එරට ඇතැම් දේශපාලනඥයින් සතුව ඇති යහපත් සිතුවිලි නිසා විය යුතු ය. මෙහිදී අපේ රටේ මාධ්‍යවේදීන් ද එවැනි ජාතික ව්‍යසනයක් සම්බන්ධව සමස්ත ජනතාව වෙනුවෙන් ස්වකීය වගකීම ඉටු කළ නමුදු, දේශපාලනඥයින් එය ගණනකට නොගන්නේ නම්, එය මාධ්‍යයේ වරදක් නොවනු ඇත.

කෙසේ වන්නේ වී නමුත් වර්තමානයේ දී කුඩා දරුවකු නැති වූ විට, දරුවාගේ හිමිකරුවන් ඒ දරුවා කඩිනමින් සොයා දෙන ලෙස ඉල්ලා සිටින්නේ පොලීසියෙන් නොව, මාධ්‍යයෙහි කුඩා දරුවකුට අතවරයක් නැත හොත් අනතුරක් සිදු කළ අයට දඬුවම් දෙන තෙක් අගතියට පත් පාර්ශ්වය රැඳී සිටින්නේ උසාවිය සමඟ නොව මාධ්‍ය සමඟය. මේ අනුව පොලීසියෙන් සහ උසාවියෙන් යුක්තිය ඉටු නොවුණ තැන පවසන්නේද මාධ්‍යයටය. කලට වේලාවට නිසි ප්‍රතිකාර නොලැබීමෙන් අගතියට පත් වන පාර්ශ්වයන් පිළිසරණක් පතන්නේ රෝහලෙන් හෝ වෛද්‍යවරයාගෙන් නොව, මාධ්‍ය මඟින්ය. විදේශ රටක ගෘහසේවයට ගොස් අනතුරට ලක් වන තරුණිය නැවත ගෙන්වා දෙන්නටයැයි ආයාචනා කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයට නොව, මාධ්‍යයට ය. වර්තමානයේදී අසරණ තත්ත්වයට පත්වන මවුපියන්, වැඩිහිටියන් සහ කුඩා දරුවන් පිළිසරණක් පතා පැමිණෙන්නේ ද මාධ්‍ය වෙතය. මේ අනුව වර්තමානයේදී අපේ රටේ බොහෝ පිරිසකට ජනමාධ්‍ය නැතුවමබැරි තත්වයකට පත්වී ඇත. එසේම විශ්වසනීයම පාර්ශ්වයක් බවට පත්වී ඇත්තේද ජන සන්නිවේදන මාධ්‍යමය.

අනුෂාද් වෙදගේ

Comments