අරමුණ විකෘති කරන වෙසක් මේලා! | සිළුමිණ

අරමුණ විකෘති කරන වෙසක් මේලා!

 අවුරුදු උලෙළෙහි මිහිරියාව සෙමෙන් වියැකී යමින් පවතී. ඒ අතරතුර වෙසක් අසිරිය නගර හා ගම්නියම්ගම්හි ජන හදවත්වලට ප්‍රබෝධය ගෙන එමින් තිබෙනු පෙනේ. විශේෂයෙන් ම මාධ්‍ය ජාලා ඒ පිළිබඳ සන්නිවේදනය අරඹා තිබේ. සිදුහත් කුමරුගේ උපත, බුද්ධත්වය ලැබීම හා පරිනිර්වාණය වෙසක් පොහෝ දින සිදු වූ බවට බෞද්ධයෝ විශ්වාස කරති. එසේ වුවද මහා පරිනිර්වාණය එදින සිදු වූ බවට අර්ථ දක්වා ඇත්තේ බුදුන් වහන්සේට ඇති ගෞරවය හා භක්තිය තීව්‍ර වනු පිණිස බවට ද මතයක් පවතී. මේ කුමක් වුවද වඩා වැදගත් වන්නේ බොදු ජනතාව තම ජීවිත අර්ථවත් කර ගැනීම සඳහා කෙතෙක් දුරට එම දිනය යොදාගන්නේද යන්නය. අනෙක් හැම දෙයක් ම වාණිජකරණයට ලක් වන සමයක බෞද්ධ ජනතාවගේ වැදගත් ම උත්සවය එම තත්ත්වයෙන් මිදී පාරිශුද්ධ ලෙස පැවතේ යැයි සිතිය නොහැක. “එසේ වුවද බෞද්ධයනි, මේ කොයි යන්නේ? යනුවෙන් ඇසීමේ අයිතිය අප කා හටත් තිබේ.

වෙසක් උත්සවය වාණිජකරණයට ලක්වීම අප පිළිගන්නා නමුත් එය ආරම්භ ව‍‍ූයේ වාණිජ අරමුණු සඳහායැයි සිතීම වරදකි.

වෙසක් පෝය දින නිවාඩු දිනයක් කරමින් එය ජාතික උත්සවයක් බවට පත්කිරීමේ තීන්දුව ගනු ලැබුවේ 1885 වසරේදී ය. ඊට හේතු වූයේ හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමාගේ මූලිකත්වයෙන් ඇරඹුණු බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයයි. එසේ වුවද ධර්මාශෝක රජුගේ කාලයෙහි පටන් භාරතයේද දුටුගැමුණු රජ සමයෙහි පටන් ශ්‍රී ලංකාවේද වෙසක් උත්සවය පැවතගෙන එන බව සාහිත්‍ය මූලාශ්‍රයවල සඳහන් වෙයි.

බෞද්ධයන් බහුතරයක් ජීවත්වන රටක් වශයෙන් වෙසක් උත්සවයෙහි තිබෙන ඓතිහාසික වැදගත්කම නොසලකා කටයුතු කිරීමේ හැකියාවක් වර්තමාන ලාංකිකයාට නොමැත. එපමණක් නොවේ. වෙසක් සමයෙහි කටයුතුවල දායක වෙමින්ද ඒවා නැරඹීමෙන්ද උතුරු නැ‍ඟෙනහිර සහ අගනුවර ඇතුළු බොහෝ ප්‍රදේශවල ජීවත්වන විවිධ ආගම්වලට අයත් ජනයා සතුටක් ලබන ආකාරය අපගේ නිරීක්ෂණයට පසු වෙයි. මිලිටරිය සහ ඊට සම්බන්ධ භික්ෂු කණ්ඩායම් සංහාරයට ලක් වූ බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන පිරිසක් පසුගිය වෙසක් උත්සවයෙහිදී දන්සලක් සංවිධානය කරනු අපි දුටුවමු.

බුදු දහමෙහි ඇති නම්‍යශීලී ස්වරූපය සහ අනාත්මවාදී දර්ශනය අනුව ජාතිය, ආගම යන සීමා මායිම්වලට කොටු නොවී ඕනෑම අයෙකු හට අනන්‍ය කරගත හැකි ජීවන අරුත් සමුදායක් පවතින බව එයින් පෙනේ.

බදුලු ටැම් ලිපියට අනුව පෙනී යන්නේ හතර වැනි උදය රජු පොහෝ දින වෙළෙඳාම් කළ අයකු හට දඬුවම් කළ බව ය. බෞද්ධ දර්ශනය අනුව වෙළෙඳාම යහපත් ජීවන මාර්ගයකි. එහෙත් මල් නොතළා රොන් ගන්නාක් මෙන් සුළු ලාබයකින් සෑහීමකට පත් විය යුතු බව බුදුන් වහන්සේ දේශනා කර තිබේ.

කරුණු එසේ වුවද වත්මනෙහි සිදුවන්නේ කුමක්ද? පාරිභෝගිකයන් නොමරා මරා කූට වෙළෙඳාමෙන් මඩිය තරකරගන්නා වෙළෙන්දන් විශාල ප්‍රචාරයක් දී අර අධික ලාබයෙන් අල්පයක් වියදම් කර මහා දන්සලක් සංවිධානය කිරීමය.

වෙසක් කූඩුව

වෙසක් උත්සවයෙහි කැපී පෙනෙන අංගෝපාංග කිහිපයකි. වෙසක් කූඩු, භක්ති ගීත, වෙසක් තොරණ, වෙසක් නාට්‍ය, වෙසක් කාඩ් සහ වෙසක් කූඩුව මින් ප්‍රධාන වෙයි. විශේෂ වෙයි. ලංකාවට අදාළව බැලූ කල එය බෞද්ධ චින්තාවෙහි ස්වරූපය කියාපාන අගනා සංකේතයකි. වෙසක් උත්සවයට දින කිහිපයකට පෙර පටන් කූඩුව සඳහා අවශ්‍ය ආම්පන්න සූදානම් කරගැනීම සිරිතකි.

කූඩුව විවිධ ආකෘතිවලින් නිර්මාණය කෙරුණත් මූලික පදනම අට පට්ටමයි. වැඩිහිටියන්ගේ ආභාසය ඇතිව දරුවෝ මේ කාර්යයට ඉමහත් ආස්වාදයෙන් සම්බන්ධ වෙති. මෙය සියුම්ව නිර්මාණය කිරීම සඳහා ඉවසීමක් ද ඇතැම් විට සහයෝගයද අවශ්‍ය වේ.

වෙසක් කූඩුව සමඟ එහි නිර්මාණකරු‍වාගේ නිර්මාණාත්මක චින්තනය අවදි වේ. අවසන් විවිධ වර්ණයෙන් අලංකාර වූ වෙසක් කූඩුව දැල්වේ. එය ප්‍රඥාලෝකය වැන්න. වෙසක් කූඩුව විවිධ ආපදාවන්ට ද ලක්වේ. වැස්සෙන් දියවීම දැඩි සුළඟින් ඉරී යෑම හා ගිනි ගැනීම යනාදී වශයෙනි. ගිනිගත් කූඩුවක ඉතිරි වූ සැකිල්ල අනිත්‍යතාව මෙනෙහි කිරීමේ සංකේතයක් වැන්න. එකල ගැමි දරුවෝ මේ සියලු අත්දැකීම්වලට මුහුණ දුන්හ. වෙසක් කූඩු නැරඹීම සඳහා බාල මහලු කවුරුත් යති. එයින් ලැබෙන චිත්ත ප්‍රබෝධය බලවත්ය. තම ශාස්තෘවරයා කියා දුන් ධර්ම මාර්ගයට මග පෙන්වන ප්‍රදීපයකි එය.

වෙසක් දන්සල

වත්මනෙහි වෙසක් කූඩුව ද වෙළෙඳ භාණ්ඩයකි; එය විකුණන පිරිසක් හා මිල දී ගන්නා පාරිභෝගිකයන් වශයෙනි. කවුරුත් කරන්නන් වාලේ ගෙන ගොස් එල්ලා තබා විදුලි බල්බ වැලක් සවි කිරීමෙන් පමණක් වෙසක් කූඩුවෙහි නියම ප්‍රයෝජනය ලැබේයැයි කිව නොහැකිය. එය විලාසිතාවක් පමණි.

වෙසක් උත්සව සමයෙහි රට පු‍රා පැවැත්වෙන දන්සල් අනුව හැඟී යන්නේ මේ තරම් බත බුලතින් සරු වූ රටක් තවත් තිබිය හැකි ද යන්න ය. දන්සල් සංවිධායකවරු මාරාන්තික පොරයකටද වැටී සිටිති.

බත්, ප්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස්, මඤ්ඤොක්කා, කඩල, අයිස්ක්‍රීම් යනාදී වශයෙන් දන්සල් නාමාවලිය දීර්ඝ වෙයි. දන්සැලකින් අපේක්ෂා කරනුයේ කුස ගින්නෙන් පෙළෙන අයට එගිනි නිවා ගැනීම සඳහා ආහාර දානයක් ලබාදීම ය. පෙර රජ දවස නුවර සතර මහ වීරවිල දුගී මගී යාචකයන් සඳහා දන්සල් පැවති බව ලිඛිත සාහිත්‍යයෙහි සඳහන් වේ. එහෙත් වත්මනෙහි දන්සල් සංවිධායකවරුන්ට විවිධ අරමුණු පවතී.

බෞද්ධ පිළිවෙත්වලට පටහැනි ව යමින් විවිධ විෂම ක්‍රියා ඔස්සේ ධනය උපයා ගන්නා අසත් පුරුෂයෝද තම බෞද්ධකම හා සිල්වන්ත බව රටට පෙන්වීම සඳහා මහ දන්සල් සංවිධානය කරති. ගෝලබාලයන් ලවා ඒවා සංවිධානය කර විවෘත කිරීම සඳහා තුමූ ම පැමිණෙති. කළු සල්ලිකරුවන්ට මෙන් ම කුඩු වෙළෙන්දන්ටද මෙය මහඟු අවස්ථාවකි. භික්ෂූහුද කිසිදු විචාරයකින් තොරව මේවාට සහභාගි වී ‘මහා දානපති සත් ගුණවත් ව්‍යාපාරිකයා’ අගය කරති. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ වරක් වෙසක් උලෙළෙහි මෙ බඳු පරිහානිය අවස්ථා පිළිබඳ විවෘත ව කථා කළහ. වෙසක් උලෙළ වත්මනෙහි මග ‍යනෙන අයට හිරිහැරයක් හා අනතුරක් වන මට්ටමට පත්වීම කෙරෙහි ද දන්සල් සංවිධායකයන්ගේ කටයුතු බලපා තිබේ. මගට බැස්ස විට වංගුවක් වංගුවක්, හන්දියක් හන්දියක් ගානේ කොඩි රැගත් තරුණ තරුණියෝ ඝෝෂා කරමින් සිටිති. පාරට පනිති. පොලුවල ගැසූ කොඩි ආධාරයෙන් මගීහු නවත්වති; වාහන හරස් කරති; විස්කෝතු සහ බීම වර්ග අල්ලති. එය ප්‍රතික්ෂේප කිරීම ඇතැම් විට සරදම් ලැබීමේ හේතුවක් ද වෙයි. තදබදය නිසා ඇතැම් විට මාර්ග අනතුරු සිදු වේ.

බැණ වැදීම් හා පහරදීම් ද සිදුවේ. ඇතැම් දන්සල් සංවිධායකයෝ දවල්ට මහා ශබ්ද ඝෝෂා මධ්‍යයේ හරකකු නිදහස් කර රාත්‍රී දන්සලෙහි හාල් මැස්සන් ගෝනි ගණන් උයති. උම්බලකඩ යොදා සම්බෝල හදති. ඇතැම් දන්සල් සෞඛ්‍යාරක්ෂිත නොවීම නිසා විවිධ රෝග තත්ත්වයන් උද්ගත වනු පෙනේ. මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලවා ඒවා පරීක්ෂා කිරීමේ තීන්දුව ගැනීමට ද බලධාරීන්ට සිදුව ඇත.

යුද්ධය නිසා දේපළ ද අධ්‍යාපනය ද දෙමාපියන් ද අහිමි වූ දරුවකුට අධ්‍යාපන පහසුකම් ලබාදීමට මැදිහත් නොවන ඇතැම් පිරිස් විශාල මුදලක් සම්මාදම් කර දන්සල්වලට වියදම් කිරීම බෞද්ධ ප්‍රතිපත්තිවලට කෙතරම් එකඟ ද යන්න සිතා බැලිය යුතු ය. ඇතැමුන් දන්සලට යොදවන්නේ සම්මාදමෙන් කොටසක් පමණි‍. දන්සල් වන්දනාව වත්මනෙහි උසස් හා මධ්‍යම පාන්තික විලාසිතාවක් වැන්න. ඇතැම් දන්සල් පෝලිම්වලට යාචකයන් වද්දා ගැනීම ප්‍රතික්ෂේප කරති. ඊට හේතුව විලාසිතාවට දන්සල් යන මහත්තුරුන්ගේ නෝනාලාගේ පිළිකුලට ලක් වීමය.

“බෞද්ධයිනි මේ කොයි යන්නේ?” යනුවෙන් නැවත අසන්නට සිදු වන්නේ එහෙයිනි.

ඔළු බක්කෝ සහ පපර පාං

වෙසක් උත්සවවලට නොගැළපෙන නොයෙකුත් අංග මෑතක සිට දකින්නට ලැබේ. මහ මග අවහිර වන පරිදි වාහනවල අවිනීත ලෙස විකාර සහගත ආයිත්තම් හැඳ නළා පිඹිමින් ගමන් කිරීම එවැනි අංගයකි. ඔවුහු මුහුණ අතපයද තද වර්ණවලින් විකෘති කරගෙන සිටිති. මීට වසර කිහිපයකට පෙර වෙසක් බලන්නට යන පිරිස් නැහැවෙන පරිද්දෙන් වතුර මලුවලින් දමා ගැසීමේ ප්‍රවණතාවක් වර්ධනය ‍විය. එය අවසන් වූයේ වතුර මලු කාරයන් අවස්ථා කිහිපයකදී ‘අම්බානට ගුටි කෑමෙහි’ ප්‍රතිඵල ලෙසය. ඔළුබක්කන් නැටීමද එවැන්නකි. එහෙත් මෙවර වෙසක් උත්සවයෙහි දී එවැනි දේවල් වැළැක්වීම සඳහා රජය මැදිහත් වී තිබෙනු පෙනේ. නිදහස සහ වල්බූරු නිදහස අතර වෙනස නොදන්නා සමාජයකට එවැනි මැදිහත්වීම් අවශ්‍ය වේ.

තම ශාස්තෘවරයා වෙනුවට යම් සංකේතයක් වන්දනා මාන කිරීම භක්ති වන්තයන්ගේ සිරිතකි. සර්වඥ ධාතු වන්දනාව ඉහළ ම ආකර්ෂණයක් දිනාගෙන ඇත්තේ එහෙයිනි. ධාතු ප්‍රදර්ශන නැරඹීමට පැමිණි අතිවිශාල ජනකාය අතරේ තෙරපී මිය ගිය පුද්ගලයන් පිළිබඳ මීට පෙර වාර්තා වී තිබේ. ශ්‍රද්ධාව පහනක් කරගෙන ප්‍රඥා මාර්ගයේ යා යුතු බව බුදු ඔවදනයි. එසේ වුව ද බොහෝ බෞද්ධයන් ශ්‍රද්ධා මාර්ගයේ ම රැඳී සිටීමට ප්‍රිය කරති. ප්‍රඥා මාර්ගයෙහි යෑම දුෂ්කර අභ්‍යාසයකි. වත්මනෙහි ධාතු ප්‍රදර්ශනය දැවැන්ත ව්‍යාපාරයකි. ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන ආයතනය, සංවිධායක වරුන් හා ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථාන බාරකරු වශයෙන් පාර්ශ්ව තුනක් පමණ මීට සම්බන්ධ වෙති. ධාතු ප්‍රදර්ශනයෙන් ලැබෙන ලාබ මෙකී පාර්ශ්ව අතර බෙදී යයි. ශ්‍රද්ධාවන්තයෝ තම මිල මුදල් ද අබරණ ද පූජා කර හිස් අතින් ගෙදර යති. ධාතු ප්‍රදර්ශනයද කිලිටි වූ දෑත් පිරිසුදු කරගැනීමේ එක් මගක් කරගෙන තිබෙනු පෙනේ. අනුග්‍රහය දක්වන මාධ්‍ය ආයතනය සති ගණනක් මේ පිළිබඳ ප්‍රචාරණය කිරීම නිසා ලක්ෂ ගණන් බොදුනුවෝ දින ගණනක් වුව පෝලිමේ හිඳ අවස්ථාව ලබාගනිති.

සර්වඥ ධාතු ප්‍රදර්ශනය

මෙ බඳු ප්‍රදර්ශන සංවිධානය කරන එක් බෞද්ධ නාළිකාවක් ඔස්සේ බණ කියන භික්ෂුවක් සිරිතක් වශයෙන් බෞද්ධ නොවන ජනතාවට, එම ව්‍යාපාරිකයන්ට ප්‍රසිද්ධියේ නින්දා අපහාස කිරීම සිරිතක් කරගෙන සිටී. බෞද්ධ මාධ්‍ය නාළිකා මුවාවෙන් බුදු දහමට පට හැනි සන්නිවේදනයක් පවත්වාගෙන යෑම කනගාටුදායක තත්ත්වයකි.

අපාය සහ භූත මන්දිර

වෙසක් ‍උලෙළෙහි ප්‍රබල ම ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වන්නේ බෞද්ධ කතා සිතුවම් කළ තොරණයි. ඊට සමගාමී වශයෙන් කතුරු ඔන්චිල්ලා, මාරක ළිඳ, භූත මන්දිර, අපාය යනාදී වශයෙන් විවිධාංග එක් වෙයි.

බෞද්ධ ජනතාවගේ පහන් සංවේගය පිණිස එක් වූ විවිධාංග වෙනත් අරමුණු වෙනුවෙන් පාවිච්චි වන ආකාරය තොරණෙන් ද පෙනේ. පසුගිය වෙසක් උත්සවයක කොට්ටාව මංසන්දියෙහි තොරණෙහි බුදුන්ගේ සිතුවම් තිබිය යුතු තැන හිටියේ ප්‍රභාකරන් ය. යුද්ධයෙන් ප්‍රභාකරන් විනාශ කිරීම තොරණෙහි කතාව යි. මේවා බෞද්ධ පිළිවෙත් සමඟ කෙතරම් සැස‍ඳේද?

වෙසක් උත්සවය ආරම්භ කළා යැයි සැලකෙන ධර්මාශෝක රජතුමා යුද්ධ ජයග්‍රහණය උත්කර්ෂයෙන් සැමරීම පිළිකුල් කෙළේ ය. යුද්ධයේදී මිය ගිය සියලු ජනතාව පිළිබඳ ශෝකයට පත්විය. හිංසාව වෙනුවට අහිංසාව පිළිබඳ දර්ශනය පිළිගත්තේ ය. දුටුගැමුණු රජු ද යුද්ධ ජයග්‍රහණයෙන් පසුව මේ අයුරින් ම පශ්චාත්තාපයට පත් විය. එහෙත් වත්මනෙහි ඇතැම් වෙසක් කලාප යුද්ධයෙන් මියගිය එක් පිරිසක් අමනුෂ්‍යයන් හැටියට සලකමින් ජයග්‍රාහීන් විරුවන් බවට පත් කරනු පෙනේ.

“ජයග්‍රාහකයා වෛරයෙන් පසුවන්නන් රැස් කරයි. පරාජිතයා දුකින් නිඳයි. ජය පරාජය බැහැර කර උපශාන්ත වූ පුද්ගලයා සුව සේ නිඳයි.”

බුදුන් වහන්සේ පඨම සංග්‍රාම සූත්‍රයෙහි දී එසේ දේශනා කළහ.

උපශාන්ත වූ හදවත් වෙනුවට වෛරීය හදවත් ඇති කිරීම බෞද්ධ චින්තන මාර්ගයට පුළුමනින් ම පටහැනි හෙයින් වෙසක් කලාප සංවිධානය කරන්නන් මේ බව සිතිය යුතු වේ.

කුරුම්බැට්ටි සැරසිල්ල

මීට දශක කිහිපයකට පෙර සෑම ගැමි ගෙදරකම මිදුල වටා නූල් පටවල ආධාරයෙන් කරකැවෙන අපූරු නිර්මාණයක් විය. ගොක්කොළ සහ කුරුම්බැට්ටි ආධාරයෙන් එය නිර්මාණය වූයේ ගැමි දරුවන් අතිනි. වෙසක් පෝදා උදයෙහි කැවිලි වර්ගයක් තැනීමද එය භික්ෂූන්ට ප‍ූජා කිරීමෙන් අනතුරුව පවුලේ අය විසින් රස විඳිනු ලැබීමද සිරිතක් විය. වැඩි අලංකරණයෙන් තොර වුව ද වෙසක් පොහෝ දිනය තමන්ගේ සැබෑ අවුරුදු දිනය ලෙස බොහෝ බොදුනුවෝ කල්පනා කළ හ. එසේ වුවද අවුරුදු උලෙළ මෙන් ම වෙසක් උලෙළද මාධ්‍ය ආයතන, ව්‍යාපාරිකයන් හා දූෂිතයන් තමන්ගේ රඟ මඬලක් බවට පත් කර ගෙන තිබේ. එය සතුටු විය හැක්කක් නොවේ. එසේ හෙයින් බෞද්ධයන් බහුතරයක් ජීවත් වන රටක් වශයෙන් තමන් කරමින් සිටින දේ හරිද යන නැවත සිතා බැලීමේ පෙලඹීමක් අවශ්‍ය වේ.

"ශ්‍රද්ධාව ‍උතුම් ම ධනයයි
දැහැමි දිවිය ගෙන දෙයි සුවය
සත්‍යය මිහිරිම රසයයි
නුවණින් දිවි ගෙවීම‍ ශ්‍රේෂ්ඨම මඟයි"  (-චිත්ත සූත්‍රය)

තිඹිරියාගම බණ්ඩාර

Comments