මූල්‍ය අපරාධ පරීක්ෂණ ඉදිරියට | Page 2 | සිළුමිණ

 මූල්‍ය අපරාධ පරීක්ෂණ ඉදිරියට

 දූෂණ මර්දන කමිටු කාර්යාලයේ කටයුතු අඩපණ කිරීම සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකු උත්සාහ දැරුවත් දැනට කෙරෙන පරීක්ෂණ අඛණ්ඩ ව සිදු කරගෙන යන බව පරීක්ෂණ කමිටු සාමාජිකයෝ පවසති. මේ අනුව දූෂණ මර්දන පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ වැරදි හැඟීමක් ඇති වන ආකාරයෙන් චිත්‍රයක් මැවීම බලපෑම කරන්නන්ගේ අදහස වී ඇතත් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව පරීක්ෂණ කටයුතු සිදු වෙන බව ඔව්හු පෙන්වා දෙති.

ඉහළ දේශපාලනඥයන්ට සම්බන්ධ සමහර නිලධාරීන් සහ වෙනත් බලධාරීන් චූදිතයන් සමඟ ඇති සබඳතා පාවිච්චි කරමින් බලපෑම් කිරීමේ උත්සාහයක යෙදෙන බව ද අනාවරණය වේ‍.

2015 ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන ලද දූෂණ මර්දන කාර්යාංශ අනුකමිටුව යටතේ කැබිනට් පත්‍රිකාවක් මගින් බරපතළ ම‍ුල්‍ය වංචා අපරාධ පරීක්ෂා කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය යනාදී ආයතන පිහිටුවන ලදී.

දූෂණ මර්දන කාර්යාලය මගින් තොරතුරු කමිටු ඔස්සේ ලබා ගන්නා වාර්තා පරීක්ෂණ අංශ වෙත යොමු කිරීම සිදුවේ. ඒ අතර මේ වන තෙක් ලැබී ඇති පැමිණිලි 500 කට ආසන්න සංඛ්‍යාවක් අතරින් 300 ක් පමණ පරීක්ෂණ කටයුතු අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇත.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත යොමු කරන ලද පරීක්ෂණ වාර්තා 200 කින් 60 ක විමර්ශන කටයුතු අවසන් කර තිබේ. එයින් 15 ක් පමණ මහාධිකරණ නඩු හැටියට විභාග වෙමින් පවතී.

හිටපු ආරක්ෂක ලේකම් සම්බන්ධයෙන් සිදු කෙරෙන මිග් යානා ගනුදෙනුවෙහි පරීක්ෂණ තීරණාත්මක අදියරකට පැමිණ ඇති බව ද වාර්තාවේ.

Comments