
හිත ඇත්නම් පත කුඩා ද? යනුවෙන් අපේ ජන වහරේ කීමක් තිබෙනවා. උත්සාහයත්, කැපවීමත් තිබෙනවානම් ජීවිතේ ජයගන්න එක ඒ තරම් අපහසු දෙයක් නොවන බව සනාථ කළ චරිත ඕනෑතරම් අපි අතර සිටිනවා. දුප්පත්කම, අසනීප, නොහැකියාව ගැන කියමින් ළතැවෙනවාට වඩා ලද දෙයින් උපරීම පල ලබාගෙන දිවිය දිනූ ළඳුන් අප අතර සිටිනවා.
කුරුණෑගල තෝරයායේ කරවැද්දන ගමේ පදිංචි ජේ. ඒ. ලලිතාත් ඒ බව පසක් කළ දිරිය ළඳක්. හතළිස් අට හැවිරිදි දෙදරු මවක වන ඇය ජීවිතය ජය ගන්නට අලුත් මඟක් සොයා ගත් කතක්. කලක් කොළඹ ජාතික රෝහලේ ලිපිකාරියක ලෙස සේවය කළ ඇයටත් විවාහයෙන් පසු දරුවන් හදා වඩා ගැනීමේ ගැටලුවට මුහුණපාන්නට සිදු වුණා. පුංචි අත දරුවන් දෙදෙනා රැකබලා ගන්නට කෙනෙකු නොමැති හෙයින්ම ඇය රැකියාවට සමු දී නිවසේ නැවතුණා. ඒ සමඟම ඇගේ අතට ලැබුණු සොච්චම් මුදලත් අහිමි වුණා.
සැමියාගේ ආදායමෙන් පමණක් දරු දෙදෙනකු ද ඇතුළු සිය පවුල නඩත්තු කර ගැනීමට ඇති අපහසුව මඟහැර ගන්නට ඈ ස්වයං රැකියාවක් පිළිබඳව සිත යොමු කළා. දරු දෙදෙනාගේ සැමියාගේ සහ ගේදොර වැඩපළත් සියල්ල කරන අතරතුරම කළ හැකි රැකියාවක් ගැන සිතා බැලූ ඇයට කදිම අදහසක් සිතට නැඟුණා. කුරුණෑගල පැත්තේ පොල් වෙළෙඳාම සරුයි. අඩු මිලට පොල් මිලදීගෙන ගැනුම්කරුවන් ළඟටම ගෙන ගොස් විකුණන්නට හැකිනම් අතට පොඩි මුදලක් වාසි ලබාගන්නට හැකි බව ඇයට සිතුණා. අමාරුවෙන් සොයාගත් මුදලකින් ත්‍රීරෝද රථයක් මිලදී ගත් ඇය ඒ ත්‍රීරෝද රථයේ පොල් පටවාගෙන ගොස් ඉල්ලුම්කරුවන්ට අලෙවි කරන්නට පටන් ගත්තා.
ගමේ තොග පොල් වෙළෙන්දන්ගෙන් අඩු ගණනට පොල් මිලදී ගන්නා ඇය ඒවා ලෙලි ගසා ත්‍රීරෝද රියෙහි පටවාගෙන නගරයට ගෙනගොස් අලෙවි කරනවා. ඇගේ පොල් මිලදී ගන්නට සැදී පැහැදී සිටින සුපුරුදු ගැනුම්කරුවන් පිරිසක් ඉන්නවා. මඟ දෙපස පිහිටි පුංචි පුංචි පෙට්ටි කඩවල රොටී හදන අම්මලා ඇගෙන් පොල් ගන්නට බලා සිටිනවා. දිනපතා උදෑසන දරුවන් පාසලට ඇරලවා අනතුරුව පොල් වෙළෙඳාමේ යන ඇය ගනුදෙනු බේරාගෙන දහවලට කලින් ගෙදරට එනවා. පසුගිය දිනෙක කොළඹ කුරුණෑගල මාර්ගයේ කොස්කැලේ කඩමණ්ඩියේ රොටි කඩයකට සිය පොල් අලෙවි කරමින් සිටියදී ඇය අපට හමු වුණා. මේ දවස්වල පොල් මිල ඉහළ ගිහින්. කුරුණෑගල පැත්තෙත් පොල් ගෙඩියක මිල රු. 55 - 60 ක් විතර වෙනවා. ලලිතා ගමෙන් අඩු මිලට පොල් මිලදීගෙන සුළු ලාභයක් තියාගෙන අලෙවි කරනවා. ඇගේ ගනුදෙනු සිදු කෙරෙන්නේ ඉල්ලුමට අනුව සැපයුම න්‍යායට අනුව නිසා මේ වැඩෙන් ඇයට ලාභයක් මිස පාඩුවක් නැති බවයි ඇය පවසන්නේ. රැයක් දවාලක් නැතිව නිදි මරාගෙන වෙහෙස දරාගෙන ලිපිකරු රස්සාවට දිනපතා කොළඹ ගිය කාලෙට වඩා දැන් ඇගේ කලදවස හොඳ බවයි ඇය කියන්නෙ. කාලයත් ශ්‍රමයත් මුදලත් ඉතිරි කර දී පවුලේ සුබසෙතත් හිතේ සතුටත් වඩවන ත්‍රීරෝද පොල් වෙළෙඳාම ඕනෑම කාන්තාවකට කළ හැකි හොඳ ව්‍යාපාරයක් බව ලලිතා කියන්නෙ සතුටින්.