ගිලන් රියේදිම මං බබා අතට ගත්තා | සිළුමිණ

ගිලන් රියේදිම මං බබා අතට ගත්තා

විවාහ වූ දා සිටම ප්‍රමිලාගේ සිහිනය වූයේ දරුවකුය. ඒ සිහිනය සැබෑවීමට යන විත්තිය දැන ගත් දා ඇයත් සැමියා ප්‍රදීප් කුමාරුත් සිටියේ බලාපොරොත්තු ගොන්නක් සිත් තුළ පුරවා ගෙනය. ප්‍රමිලා 28 හැවිරිදිය. ඔවුන් වාසය කරන්නේ දෙනියාය අනින්කන්ද ප්‍රදේශයේ වතු නිවාසවලය. තම කුළුඳුල් දරුවන් නිවුන් දරුවන් බව දැන ගත් දා සිට ඇය සිතින් මදක් බියට පත් වුවත් ඇයත් සැමියාත් මුල සිටම නිරෝගී දරු උපතක් සඳහා අවශ්‍ය උපදෙස් මුල සිටම අකුරට පිළිපැද්දහ.

ප්‍රමිලාට වෛද්‍ය උපදෙස් ලැබී තිබුණේ ලබන මැයි මස 14වැනිදා වෙද්දී දරු උපත සිදු වෙනු ඇති බවටය.

නිවුන් දරු උපතක් වූ හෙයින් මෙ මස 22 වැනිදා මාතර රෝහලට පැමිණ නතර වන ලෙසට ඇයට වෛද්‍ය උපදෙස් ලැබී තිබිණි. එහෙත් අලුත් අවුරුදු උදාවට හිරු නැඟ එන්නට සැරසෙන මොහොතේ ප්‍රමිලාට නොසිතූ අයුරින් ශරිර අපහසුතා ටිකෙන් ටික මෝදු වන්නට විය.

වෛද්‍ය නිගමනවලටද වෙනස්ව මෙසේ නොසිතූ මොහොතක වූ මේ අකරතැබ්බය නිසා ප්‍රමිලාත් ප්‍රදීපුත් දැඩිසේ කලබලයට පත් වූහ. මුළු රටම අවුරුදු නැකතට කිරි උතුරන මොහොත ළඟා වෙද්දී ප්‍රමිලාට ද ප්‍රසව වේදනා උත්සන්න වෙමින් පැවතිණි.

මේ අවුුුරුදු නැකැත් වේලාවේ සිය බිරිය නිසි වේලාවට රෝහලට ඇතුළත් කරගන්නේ කෙසේද යනුවෙන් බියට පත් ප්‍රමිලාගේ සැමියා එහාට මෙහාට දිව යන්නට වූයේය. ඔවුන්ගේ පිහිටට ආ‍ෙව් රජව මගින් මෑතකදී ස්ථාපනය කළ ගිලන් රථ සේවයයි.

“ මං එලොව ගිහින් මෙලොව ආවා කියලයි මට හිතෙන්නෙ. ඒ තරමටම මට පුදුම බයක් දැනුණේ. මගේ පිහිටට දෙයියෝ එව්වා වගේ ඇවිත් පිහිට වුණේ 1990 ගිලන් රථය සහ එහි වැඩ කරන නෝන මහත්තයලා. කිරි සප්පයෝ දෙන්නගේ මූණු දකින විට මට දැන් තියෙන්නේ දරාගන්න බැරි සතුටක් ”ප්‍රමිලා පවසන්නීය.

එසේ තම අත්දැකීම අප සමඟ පැවැසීමට ඉදිරිපත් වූ ප්‍රමිලා ඒ මොහොතේ තම කිරිකැටියන් දෙදෙනාද තුරුලු කරගෙන දෙනියාය රෝහලේ ඉතාම සතුටින් පසු වූවාය.

“මට පාන්දර තුනේ හතරේ ඉඳන් ටික ටික අමාරුකම් ආවා. කොහොමහරි නැකැත් මොහොත ළංවෙනකොට ඉවසන්න බැරි විදිහට අමාරුකම් වැඩි වුණා. ගෙදර හැමෝම බයවෙලා. මාව ඉස්පිරිතාලේ ගෙනියන්න විදිහක් නැතිව මාත්තියා වටේම තියෙන ත්‍රිවීල්වලට කතා කළා. ඒ හැමෝම කිව්වේ නැකතට වැඩ අල්ලනකල් මිසක් හයර් යන්නෙ නෑ කියලයි.”

ඉන්පසුව එක්වරම ප්‍රමිලාගේ සිතට නැඟුණේ දින කීපයකට පෙර අසල්වැසි වැඩිහිටියකුට අසනීප වී රෝහලට රැගෙන යෑමට පැමිණි 1990 ගිලන් රථය ගැනයි.

“මට එකපාරටම මතක් වුණා වත්තේ සීයා කෙනෙකුට අමාරු වෙලා වත්තේ මාත්තියා කෝල් කරලා ගෙන්ව ගත්ත 1990 ගිලන් රථය ගැන”

ප්‍රමිලා ඒ වග තම ස්වාමියා වූ ප්‍රදීප් කුමාර්ට එසැණින්ම පැවැසීය. එම මතකය අවදි කළ ප්‍රදීප් කුමාර්,

“මම කරකියාගන්න දෙයක් නැතුවයි හිටියේ. අනේ දෙයියෝ බැලුවා වගේ 1990ට කෝල් එක ගත්ත සැණින් ආන්සර් කළා. පස්සේ ඒගොල්ලෝ ලිපිනය, එන පාර-තොට විස්තර අහගෙන විනාඩි ගාණක් යනකොට ගෙදරට ආවා. 1990 ගිලන් රථය දැක්කමයි මට හුස්ම පොදක් වැටුණේ.”

කිරිසප්පයන්ගේ මුහුණු දකින විට ප්‍රදීප් කුමාර්ගේ පමණක් නොව සැමගේ සිත්වලින් සතුටු කඳුළු දොරේ ගලා යයි. කැපෝන් සහ ඩිවෝන් යනුවෙන් නම් ලබා සිටින මේ කිරිකැටි පුතුන් දෙදෙනාට මෙලොව එළිය දැකීමට සේම ප්‍රමිලාගේ ජීවිතය අවදානමෙන් මුදවා ගැනීමට ඉමහත් සේවාවක් කළ දෙනියාය පොලීසියේ ගාල් කර තිබෙන 1990 ගිලන් රථයේ ඊඑම්ටී හෙවත් වෛද්‍ය තාක්ෂණික නිලධාරිනි ගයත්‍රි මධුෂානි තම අත්දැකීම් මෙසේ අප හා විස්තර කළාය.

“අපට අපේ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ඇමතුම ආවේ හරියටම 7.02ට. මුළු රටම වැඩ අල්ලන නැකතට සැරසිලයි හිටියේ. ක්ෂණයෙන් අපි ප්‍රමිලාගේ තත්ත්වය, ලිපිනය, මාර්ගය ආදි තොරතුරු විමසලා කොහොමහරි විනාඩි ගාණකින් වගේ ගෙදරට ගියා. ගිලන් රථයේ ස්ටැචර් එකට දාගෙන එනකොට 7.20ට විතර පළමු බබාගේ ඔළුව පැත්තෙන් ටිකක් විතර එළියට ආවා. අපේ පයිලට් (රියැදුරු) පුබුදු ඉතාම පරෙස්සමට ඒ ගල්-ගොඩැලි මාර්ගයේ රැගෙන ඒමට වග බලාගත්තා. වෙලාව 7.58 වෙනකොට පළමු දරුවා සම්පූර්ණයෙන්ම එළියට ආවා හරියටම දෙනියාය පොලීසිය ඉදිරිපිටදී.”

පළමු දරුවා එසේ ගිලන් රථය තුළදීම බිහිවූ පසුව අවශ්‍ය ප්‍රතිකර්ම කෙරෙන අතරේ රථය දෙනියාය රෝහලට සේන්දු වී ඇත. ගිලන් රථයෙන් ප්‍රමිලාව පිටතට ගන්නවාත් සමඟම ගිලන් රියේ ස්ට්‍රැචර් මතදීම දෙවැනි දරුවාත් මෙලොව එළිය දකින්නට වාසනාව ලැබීය.

“දෙවැනි බබාත් අපේ රථයේ ස්ට්‍රැචර් එක උඩදීමයි හම්බ වුණේ” යැයි පවසන ගයත්‍රි මධුෂානි තම සේවා මුරය උදේ 8.00 ට අවසන් වී අවුරුදු සිරිය විඳීමට සැදී පැහැදී සිටියත් අවසන ඇය එම සියලු පැතුම් පසෙක දමා කිරි සප්පයන් දෙදෙනා සහ මවක් වෙනුවෙන් තම උතුම් සේවය කැප කළේය.

“මට හරිම සතුටුයි අලුත් අවුරුද්ද ලබන කොටම අවදානම් ජීවිත තුනක් බේරා ගැනීම වෙනුවෙන් කැපවීමට හැකිවීම ගැන” එසේ පවසන ගයත්‍රි සේම රියැදුරු පුබුදු සහ ඊඑම්ටී නිලධාරිනි දිල්කි ශානිකා ද මේ වෙනුවෙන් ඉමහත් සේවයක් කළ බව පවසන ප්‍රමිලා, තමාගේත් දරු පැටවු දෙදෙනාගේත් ජීවිත බේරා ගැනීමට කැපවූ ගයත්‍රි, දිල්කි, පුබුදුලාට සේම 1990 ගිලන් රථ සේවාවේ සෙසු කාර්ය මණ්ඩලයටත් අනේක වාරයක් ස්තූතිය පුද කළාය.

2016 වර්ෂයේ සිට මෙරට වැසියන්ගේ ලෙඩට දුකට කරදරයට රෝහලක් කරා යෑම වෙනුවෙන් විසිහතර පැයේම නොමිලේ කැපවී සිටින සුව පහසු 1990 සේවාවේ ගිලන් රථවල මේ වන විට දරු ප්‍රසූතින් 9ක් සිදුවී ඇත.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ සිල්වාගේ සංකල්පයක් මත ජනපති, අගමැති මැදිහත් වීමෙන් ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙසින් ලැබුණු 1990 ගිලන් රථය මෙරටට ගෙන්වීමට පෙර ඇතැම් පිරිස් ඒවා පිළිබඳ විවිධ මතවාද පළ කළහ.

එහෙත් අද වන විට ඉන් ඉටුවන සේවය සුළු-පටු නොවන වග ප්‍රමිලලාගේ කතාන්දරවලින් මනාව පැහැදිලි වේ.

 

විශේෂ ස්තූතිය - 1990 ගිලන් රථ සේවාවේ මානව සම්පත් කළමනාකරු උදය ඉඹුල්පිටිය සහ මාතර, හම්බන්තොට දිස්ත්‍රික් කළමනාකරු එල්. ජී. ගාමිණි යන මහත්වරුන්ට. 

 

Comments