ඒ මිනිහා ඔයාට කරපු වැරැද්ද මොකක්ද? | සිළුමිණ

ඒ මිනිහා ඔයාට කරපු වැරැද්ද මොකක්ද?

නරේන්ද්‍ර පුස්තකාල කාමරයට ගියේ ය. බිත්ති රාක්කවල මැනවින් අසුරා ඇති පොත් තමා දෙස බලා සිටින්නේ සරදම් සිනා උතුරවමින් යැයි ඔහුට සිතුණේ නිතැතිණි.

සෑම මිනිසෙකුගේ ම ජීවිතය අසිරිමත් සිදුවීම් සිතුම් පැතුම් සහිත මහා ග්‍රන්ථයකැයි අතීත ගැහැනිය සෙමෙන් කොඳුරනවා ඔහුට ඇසෙන්නා සේ විය. ඇය පොත පතට බෙහෙවින් ඇලුම් කළ ගැහැනියකි. ඇගේ ප්‍රියතම විෂයය ඉතිහාසය විය.

බාල තරුණ මහලු භේදයකින් තොරව කියවා රස විඳිය හැකි සේ ඇය විසින් ලියන ලද ඉතිහාස කතාවන්ට, පවත්වනු ලැබූ දේශනයන්ට තමා උපහාසාත්මක විවේචන එල්ල කළ සැටි ඇය කෙසේ දරා සිටින්නට ඇද්ද?

“ඉතිහාසෙ කන්නද? ඉතිහාසෙ ඉගෙන ගත්තා කියලා කරන්න පුළුවන් රක්ෂාව මොකක්ද?”

තමා උපහාසාත්මකව ප්‍රශ්න කළේ කුමන මානසික තෘප්තියක් ලබන්නදැයි ඇය කිසි විටක පෙරළා ප්‍රශ්න නොකිරීම ඇය විසින් ම ඇගේ නිදහස උල්ලංඝනය කර ගැනීමක් නොවන්නේදැයි ඇයට නොවැටහීම පුදුමයකි.

“නරේන් ඉතිහාසයෙන් අපිට ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා.”

එදින නිහඬව සිටි ඇය පසුව අතිශයින් කාරුණික ලෙස ඔහු ඇමතුවේ දුරකථනයෙනි. ‍

“නරේන් ලෝකයේ හැම රටක් ම තමන්ගෙ ඉතිහාසයට ගෞරව කරනවා. ඉතිහාසය තමා රටක අභිමානය, ප්‍රෞඪත්වය, සාර්ථකත්වය. ඇමෙරිකාව වගේ රටවල් තමන්ගෙ අවුරුදු තුන්සීයක් තරම්වත් කාල පරාසයක් නැති ඉතිහාසයට අප්‍රමාණ විදිහට ගෞරව දක්වනවා. පුරවැසිකම ගන්නත් ඇමෙරිකන් ඉතිහාසය දැන ගෙන තියෙන්න ඕනැ.”

ඇයට සවන් දීම ඇගේ අනුශාසනා අවවාද පිළිගැනීමක් යයි මාන්නාධික හැඟීමකින් තමා ඇයට බාධා කළ සැටි නරේන්ද්‍රගේ මතකයට ආවේය.

“ඉතින් මොනවා කරන්න ද මට කියන්නෙ මහාවංශෙ, ථූපවංශ‍ෙ, දීපවංශෙ, රාජාවලිය, හෙළ දිව රජිනිය වගේ පොත්වලින් රාක්ක පුරවල උදේ හවා දුම් අල්ලන්නද? කරුණාකරල නතර කරනවද ඔය හෑල්ල? වැඩකට නැති කතාවක එල්ලිලා මාව කේන්ති කරන්න හදනවා.”

“නරේන් ඔයා දේශපාලනඥයෙක්. තේරුම් ගන්නකො රාජාණ්ඩු බිඳ වැටුණට රාජ්‍ය යන්ත්‍රණය බිඳ වැටෙන්න නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී වුණත් සමාජවාදී වුණත්, ධනවාදී වුණත් පාලකයො රටේ ඉතිහාසය දැන ගෙන තියෙන්න ඕන. ඉතිහාසයෙන් අපට උගන්වන්නෙ රජවරු ගැන විතරක් නෙමේ... භූමිය ආර්ථිකය, අධ්‍යාපනය, නීතිය, ධර්මය, සමාජ චාරිත්‍රවාරිත්‍ර, සංස්කෘතිය ඔය සේරම ඉතිහාසයෙන් එන දේ.”

“ඉතින්. මට කියන්නෙ ඔය ඉතිහාස පොත් ටික කර ගහගෙන රට වටේ ඇවිදින්නද?”

“රට වටේ‍ නෙමේ ඔයාගෙ ඡන්ද කොට්ඨාස වටේ ඇවිදින්න. මේ මිනිස්සු ඔයාට ඡන්දෙ දුන්නා. ඒ ණය ගෙවන්න නරේන්. ඒක යුතුකමක්.”

“ප්‍රියදෝණි ඔයා මහ අති පණ්ඩිත ගෑනියෙක්. මට අල්ලන්නෙ ම නැත්තෙ ඒකම තමා. මිනිස්සු මට ඡන්දෙ දුන්නෙ ඉතිහාස කතා කියවන්න නෙමේ. මං දන්නවා ඔය ඉතිහාස පිස්සුව ඔයාට බෝවුණු ලෙඩක්. අර මැරුණු මිනිහා කවුද, මට නම මතක් වෙන්නෙ නැහැ. කවුද ඒ?”

“මොන මිනිහද නරේන්?”

“ඔයාගෙ ඉතිහාසගත ප්‍රේමවන්තයා, ආමිකාරයා. එල්.ටී.ටී. බෝම්බෙකින් නේද?”

ඔහුගේ ප්‍රශ්නයට අවසානයක් තිබුණේ නැත. ඇය දුරකථනය විසන්ධි කළාය. නැවත ඇය ඇමැතීමට නරේන් ගත් උත්සාහය අසාර්ථක විය.

ඒ උත්සාහය සතියක් පුරා අසාර්ථක වෙමින් පැවතුණු බව නරේන්ද්‍ර සිහි කළේය. අටවැනි දිනයේ කිසිදු දැන්වීමක් තොරව ඔහු ඇය සොයා ගියේය.

ආලින්දයේ සිට පත්තරයක් බලමින් හුන් ඇය ඔහු ගෙතුළට කැඳවා ගෙන ගියේ නිහඬවය.

“මට සමාවෙන්න.”

බොහෝ වේලාවකට පසු ඔහු කීවේ පසුතැවිල්ලෙනි. එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් මිය ගිය නදීප් එසේ මිය යන විට යුද හමුදා කර්නල්වරයකුව සිටියේය. මහමායා සරසවි සහකාර කථිකාචාර්යවරියකව සිටියාය.

ඔවුහු දෙදෙනාත් නදීප්ගේ නිවුන් සොහොයුරිය සේපාලිත් එකට සරසවි අධ්‍යාපනය ලැබූහ. තිදෙනා ම ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිධාරීන්ය.

“සමාව ඉල්ලන්න එපා. මේ රටේ දේශපාලනඥයො යුද හමුදාවෙ විතරක් නෙමේ ත්‍රිවිධ හමුදාවෙත් පොලිසියෙත් තරුණ දක්ෂ නිලධාරීන් මේ විදිහට මැරිලා යනවා දකින්න කැමතියි.”

ඇය කීවේ කෝපයෙනි.

ඇගේ තියුණු ස්වරය ඔහු තැති ගන්වන්නට සමත් විය. මේ කුමන චෝදනාවක් ද? මෙවැනි දරුණු චෝදනාවක් කිරීමට තරම් ඇය සාහසික වූයේ ඇයි?

“ඔයා මොනවද මේ කියන්නෙ?”

“කියන දේ තේරුම් ගන්න. මේ කරුමක්කාර යුද්ධෙ දේශපාලනඥයින්ගෙ ඕනෑකමක්. ඇත්තට ම මේකට යුද්ධයක් කියන එක වැරදියි. මේක ත්‍රස්තවාදයක්. මේ ත්‍රස්තවාදය තියෙන තාක් කල් දේශපාලනඥයන්ට බඩ වඩා ගන්න හුඟක් පහසුයි.”

“ප්‍රියදෝණි නතර කරන්න ඔය අශීලාචාර කතාව.”

“නෑ මං නතර කරන්නෙ. ඔයාට සතුටු ද නදීප් මැරුණට? ඒ මනුෂ්‍යා ඔයාට කරපු වැරැද්ද මොකක් ද?”

එකල ඒ අතීතයේ රටේ පැවති මුග්ධ දේශපාලනය, එල්.ටී.ටී භීෂණය, පොදු මිනිසා මරණ බයෙන් තැති ගන්වන්නක්ව තිබුණෙන් ඇය කියන්නෙහි සත්‍යා සත්‍යතාව කුමක් වුණත් එසේ කීමේ නිදහස හා අයිතිය ඇයට තිබිය යුතු බව නරේන්ද්‍ර විශ්වාස කළේය. එම විශ්වාස ඇය ඉදිරියේදී පිළිගැනීමට ඔහු පසු බෑවේ ය. ‍‍

ඉන් අනතුරුව උපන් තුන් මසක පමණ කාලය තුළ ඇය තමා මඟ හරින බව වැටහුණ ද ඔහු ද නිහඬ වීමේ උත්සාහයක යෙදුණේය. එහෙත් ඇය පිළිබඳව සොයා බැලීමේ ඕනෑකම නරේන්ද්‍ර සිතින් ගිලිහුණේ නැත. පුරුදු පරිදි ඇය සරසවි දරුවන්ට ඉගැන්වීම් කරන බවත්, සරසවිය තුළ මෙන් ම සමාජයේදීත් ප්‍රිය මනාප චරිතයක් වෙමින් සිටිනා බවත් ඇසූ විට ඔහු නොසන්සුන් විය.

“එයා ගංගාවක් වෙන්න ඕනෙ නැහැ. දිය බිංදුවක් වෙලා මං ළඟ ඉන්නවා නම් මීට වඩා දෙන්නට ම සතුටක් වේවි.”

ඇයට දුරකථන ඇමැතුමක් දීමේ චේතනාව රත්ව බුබුළු නංවන ජල බඳුනක් වී හදවත පීඩාවට පත් කරන සැටි ඔහු ඉවසා සිටියේ කෝපයෙනි. ගැහැනියකට යටත් වීම නොව නම්‍යශීලීවීම පවා ස්වකීය පෞරුෂයට පහරක් යැයි සිතිය හැකි අහංකාරයෙන් ඔහු මත්ව සිටියේය. මිය ගිය නදීප් ඇයගේ පෙම්වතා වූවද නොවූවද ඔවුනතර දැඩි මිත්‍රත්වයක් පැවතීම නිසා ඇයට තමා පිළිබඳ වටිනාකමක් අගැයීමක් නැතැයි න‍ෙර්න්ද්‍ර සිතුවේ පුපුරු ගසන ඊර්ෂ්‍යාවෙනි.

වරක් දෙවරක් නොව දහ දොළොස්වාරයක් තම දුරකථනයෙන් ඔහු ඇගේ දුරකථන අංකය සොයා ගත්තද එය සන්ධිගත කරනු වෙනුවට ඒ හැම විටකම එය ඉවතට විසි කළේ තමා කෙරෙහි ම උපන් කෝපයෙනි.

මේ කාලය තුළ නරේන්ද්‍ර මන්ත්‍රිවරයෙකු වශයෙන් කාර්ය බහුල විය. ජාත්‍යන්තර පාර්ලිමේන්තු නියෝජිත සමුළුවකට ඉන්දියාවට ගිය ඔහු දිල්ලියේ දෙදිනක් ගත කළේය. එහිදී ඔහු ඇයගේ දුරකථනයට ඇමතුමක් දුන්නද ඒ මොහොතේ එය විසන්ධි වී තිබිණි. ඉන්දියාවේ සිට පැමිණි වහාම ඔහුට යාපන ප්‍රදේශයේ තුන් දින සංචාරයක යෙදෙන්නට සිදු විය. ඔහු සමඟ ස්වපාක්ෂික මන්ත්‍රි තිදෙනෙක් සිටියහ. එම ගමන නරේන්ද්‍ර සිත ඇති කළේ දේශපාලනඥයින් වශයෙන් තමාගෙන් මේ රටට සිදුවන සේවයේ අල්ප බව ප්‍රත්‍යක්ස වීමෙන් ලත් වේදනාවයි. එම වේදනාව තුළ ඇය ද සැඟවී සිටියා ය.

මිනිසුන් වශයෙන් ජීවත් වීමේ නිදහස සහ අයිතිය එල්.ටී.ටී.ඊ. දෙපයට පාගා පොඩි වෙන්නට ඉඩ හැර, ඔවුන් බලය වෙනුවෙන් ලේ වගුරවන සැටි බල බලා සෝ සුසුම් හෙළන ද්‍රවිඩ ජනයා පිළිබඳව නරේන්ද්‍ර සිත උපන්නේ කම්පාවකි. ඔවුන්ට ජීවත් වීමේ නිදහස අහිමි කර ඇත්තේ ත්‍රස්තවාදය විසින් බව බටහිර ජාතීන් නොළිගන්නේ ඇයි?

එල්.ටී.ටී ප්‍රහාරවලින් දකුණ දරුණු ලෙස ගිනි ගත් සමයක් නිසා ඒ දුක් විඳිනා මිනිසුන් පිළිබඳව නිවැරැදිව කතා කිරීමේ නොහැකියාව තම හෘද සාක්ෂිය අනුමත නොකළ ද නරේන්ද්‍ර නිහඬ වීමේ පිළිවෙතට අනුගත විය.

මෙවැනි මානුෂීය ගැටලුවලින් පීඩාවට පත්ව වේදනා විඳින සිත සන්සුන් කර ගැනීමට කිසිවෙකු හා යාපනය ගැන කතා කිරීමේ අවශ්‍යතාවක් ඔහු සිත උපන්නේය.

එවැනි සංවාදයකට සුදුසු ම ප්‍රතිවාදිනිය ප්‍රියදෝණී මහමායා පමණකැයි හැඟීමෙන් හා අපේක්ෂා භංගත්වයෙන් පෙළෙන සිත සනසා ගැනීමට ඔහු ඇය දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

“එයා හිතනවා ඇති මේ‍ ලෝකෙට පහළ වෙච්ච පළවෙනි ගෑනිත් අන්තිම ගෑනිත් එයා කියලා. බලමුකො. තියෙන දුෂ්ටකම. නෑ දුෂ්ට නම් නැහැ. අහංකාරකම.”

සිතින් ඇයට දොස් නැගීමට අවස්ථාවක් වේලාවක් ස්ථානයක් තෝරා ගැනීමට ඔහු සිතුවේ නැත.

ස්නානාය කරන අතර, අනුභව කරන අතර, පාර්ලිමේන්තුවට යන එන අතර, ගෙවත්තේ සැඳෑ සක්මනක යෙදී සිටින අතර ඔහු ඇයට සිතින් බැණ වැදුණේය. සිතින් ඇයට බැණ වැදීම තමාට ම හිරිහැරයක් වූ විට ඔහු කතා කළේ පෞද්ගලික ලේකම්වරයාටය.

“සිරිමෙවන්ට මතකද ප්‍රියදෝණි මහමායා මැඩම්?”

“ඇයි සර්?”

“එයා ලංකාවෙ ඉන්නවද? නැත්නම් මිය පරලොව ගිහින් ද?”

පෞද්ගලික ලේකම්වරයා බිය විය. මේ කුමන ප්‍රශ්නයක් ද? සොයා බැලීමක් ද?

“මොකද මනුස්සයො බය වුණේ? මං විහිළුවක් කළේ. මට එයා මුණ ගැහෙන්න ඕන. ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ.”

“ප්‍රියදෝණි මැඩම් රත්නජෝති කනිෂ්ඨ විද්‍යාලෙට එනවා කියලා ප්‍රින්සිපල් මට ඊයෙ කිව්වා.”

“ඒ මොනවටද?”

“අධ්‍යාපන අමාත්‍යංශයයි කොළඹ විශ්ව විද්‍යාලෙයි එකතු වෙලා කනිෂ්ඨ විද්‍යාලවල ළමයින්ට ඉතිහාසෙ ගැන දේශනමාලාවක් පවත්වන්න යනවලු. බස්නාහිර පළාත බාර ප්‍රියදෝණි මැඩම්ටලු. ආරම්භක දේශනය රත්නජෝතියෙ. සර්ටත් ආරාධනාවක් තියෙනවා.”

“මට ඕවාට යන්න වෙලාවක් නැහැ සිරිමෙවන්. ඔයාට පුළුවන්නෙ මං වෙනුවෙන් යන්න.”

පෞද්ගලික ලේකම්වරයාගේ මුවගට නැඟි සිහින් උපහාස සිනාව නරේන්ද්‍ර දුටුවේය. එය නොදුටුවා සේ සිටීමේ අගය ඔහුට වැටහිණි.

“කෝකටත් දිනේ වෙන් කරන්නකො. අපේ ප්‍රදේශෙ ඉස්කෝලයක වැඩක් නිසා නොගිහින් හොඳ නැහැ නේද? මටත් ආරාධනා පත්‍රය බලන්න දෙන්නකො.” ලේකම්වරයා ආරාධනා පත්‍රය ගෙනැවිත් නරේන්ද්‍ර ඉදිරියේ තැබුවේය. ප්‍රධාන දේශනය ඇය ගෙනි. සතුට නොසතුට අතර තමා අතරමංවූ සැටියක් නරේන්ද්‍රට දැනිණි. පුස්තකාලකාමරයේ දැඩි නිහඬතාව බිඳ වැටුණේ බිත්ති ඔර්ලෝසුවේ ඩිං ඩොං හඬත් සමඟය. නරේන්ද්‍ර ද දීර්ඝ සිතුවිල්ලෙන් අවදි විය.

“නරේන් මාමා.”

රවිහාරි දොර අසල සිට කෑගැසුවාය. ඔහු ඇය දෙසට හැරුණේය. රවිහාරිට පෙර ඔහුගේ දෙනෙත් දසුනට ලක්වූයේ රෝජා සඳපාණි තරුණියයි.

 

Comments