
ලංකාව ඉංග්‍රීසීන්ට මුළුමනින් ම යටත්ව කෙටිකලකින් බුදුදහම - බෞද්ධ ජීවන සම්ප්රදාය - උත්සව - වත්පිළිවෙත් ක්‍රමයෙන් යටපත් වන්නට විය. 1817 සිට 1828 දක්වා දළදා පෙරහර උඩරට කැරැල්ලට පසු අත්හිටුවන ලදි. බුදුදහම වසාගෙන ක්‍රිස්තියානි නිකා ආගම පතුරුවන්නට විය. ක්‍රිස්තියානිය වැලඳ ගැනීම රජයේ උසස් නිලතල ලබා ගැනීමට විශේෂ වරප්‍රසාදයක් විය. මහනුවර නගරය තුළ ම විවිධ ක්‍රිස්තියානි නිකා සතු පල්ලි පහළොවක් තරම ඇත. 1848 කැරැල්ලට පසු බුදුදහම ආරක්ෂා කිරීමේ කොන්දේසියෙන් ඉංග්‍රීසීහු ඉවත් වූහ.
වෙසක් පසළොස්වක නිවාඩුව පවා බෞද්ධ ජනතාවට අහිමිව ගියේය. මෙකල බෞද්ධ සම්ප්‍රදායන් - සිරිත්විරිත් යටව යන විට ඒ මතුකර නඟා සිටුවීමට හේතු වූ බෞද්ධ ප්රබෝධයට මුල් වූ කරුණු කීපයක් ඇති විය. බෞද්ධ ක්‍රිස්තියානි වාද පළමුවැනි කරුණයි. පාණදුරා වාදය උදාහරණයකි. විද්‍යොදය විද්‍යාලංකාර රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන් ආරම්භ වී පැතිරයෑම වැදගත් විය. හික්කඩුවේ සුමංගල මාහිමි - මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි වැනි බෞද්ධ භික්ෂු නායකයන්ගේ චතුර දේශනා බෞද්ධ ජනයා අවදි කරන්නට හේතු විය. කර්නල් ඕල්කොට්තුමා - බ්ලැවැස්කි මැතිනිය ප්‍රධාන බෞද්ධ දූත පිරිස ලංකාවට පැමිණීම තීරණාත්මක සාධකයක් විය. වැළලී තිබූ බෞද්ධ අයිතිවාසිකම් ගැන හඬ නැඟීමට පරම විඥානාර්ථ සංගමය ආරම්භ විය. ආනන්ද - නාලන්ද මහනුවර ධර්මරාජ - ගාල්ල මහින්ද වැනි ප්‍රබල බෞද්ධ පාසල් ආරම්භ වීම - ඉරිදා දහම් පාසල් ආරම්භ වීම - මින්පසු සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බෞද්ධ උද්ඝෝෂණ හමුවේ ඉංග්‍රීසි රජයට වෙසක් 1892 පොහොය දින යළි රජයේ නිවාඩු දිනයක් කිරීමට සිදුවිය. මෙකල ම බෙන්තොට ඇල්බට් ද සිල්වා “වෙසක්දූතයා” නමින් 1906 පමණ නවකතාවක් පළකර ඇත. 1900 අවට කාලය පසු කරන විට බෞද්ධ ප්රබෝධය සඳහා බෞද්ධ විද්‍යාල ඇති වීම - වාදවිවාද පැතිරයෑම - පියදාස සිරිසේනගේ නවකතා - සිංහල කවි පරපුරේ නිදහස් අරගලය වටා කවි - ජෝන් ද සිල්වාගේ නූර්ති - අනගාරික ධර්මපාලතුමාගේ දේශනා එහි ප්රබෝධයට බොහෝ හේතු විය.
1900 වන විට යළිත් වෙසක් පෝය නිවාඩු දිනයක් ලෙස පිළිගෙන තිබූ අතර අවුරුදු 175 පමණ කාලයක් උලෙළ යටපත්ව තිබූ බැවින් එදා පැවැති සමාජ වටපිටාව අලුතින් ඇති වූ වෙසක් උලෙළට බලපෑම් එල්ල කර ඇත. පැරැණි වෙසක් චාරිත්‍ර පිළිබඳ පාරම්පරික ප්‍රායෝගික මතක යටපත්ව තිබුණි. මේ ප්‍රවණතාව කරුණු ලෙස කෙටියෙන් මෙසේ දැක්විය හැකිය.
1. රාජකාරි ක්‍රමය මත පැවැති වැඩවසම් සමාජය බිඳ වැටී තිබීම.
2. මහාමාර්ග හා දුම්රිය මාර්ග මඟින් හුදෙකලාව පැවැති පාරම්පරික ගම්මාන එකමුතු වීම.
3. මුදල් ව්‍යවහාරය බහුලව පැතිරයෑම - ඒ සමඟ කුල භේදය වෙනුවට පන්ති භේදය ඉස්මතු විය.
4. මිෂනාරි පාසල් - බෞද්ධ - හින්දු - මුස්ලිම් පාසල්වලින් හා ධනවත් පවුල්වල අය පිටරට ගොස් ඉගෙනුම මඟින් අලුත් මධ්‍ය පන්තියක් බිහි විය.
5. ඉංග්‍රීසි වෙළෙඳ ව්‍යාපාර - කෝපි, තේ, රබර්, කොකෝවා වැනි මිනිරන් පතල් මඟින් රැකියා ක්‍රමය වෙනස් වීම.
6. උගත් පිරිස රජයේ සේවයට බැඳීමෙන් ගුරු - ලිපිකරු හා වෙනත් රජයේ සේවක පැළැන්තියක් බිහිවීම.
7. ප්රවෘත්ති පත්‍ර මඟින් ලෝකයේ අලුත් ප්රවෘත්ති ඉක්මනින් දැන ගැනීම.
8. ඉංග්‍රීසි හා ක්‍රිස්තියානි සම්ප්රදායයන් - ඉංග්‍රීසි හා වෙනත් ලෝක ව්‍යාප්ත වාණිජ ආයතනවල බලපෑම ලාංකිකයන්ට ලැබීම.
9. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීමට මුල් වූ ඕල්කොට්තුමා ආදීන්ට ඇමෙරිකානු හා වෙනත් යුරෝපීය බලපෑම් සහිත වීම. පරම විඥානාර්ථ දර්ශනය ලෝකයේ බටහිර හා පෙරදිග දර්ශනවල එකතුවක් විය.
10. විදේශීය නැව් මඟින් ඇමෙරිකා - ජපන් ආදී නිෂ්පාදන ලංකාවට ගෙන ඒම.
මේ බලපෑම් නිසා අලුතින් ඇති වූ වෙනසක් උලෙළට ඉංග්‍රීසි, යුරෝපීය - ජපන් - ක්‍රිස්තියානි වෙෙළඳ හා ආගමික ලක්ෂණ කීපයක් අපට නොදැනීම ක්‍රමයෙන් ඇතුළු වී ඇත. ඒවා කෙටියෙන් බලමු.
පැරැණි වෙසක් උත්සවවලට තොරණ - ගොක් කොළ සැරසිලි - විවිධ මැටි පහන් දැල්වීම සිදු විය. ඉංග්‍රීසි හා ජපන් වෙෙළඳ ව්‍යාපාරවල බලපෑම නිසා 1900 පසු නාගරීකරණය - පහසුව මිලදී ගැනිමම සුලබවීම මත වෙසක් පාට කඩදාසි කොළ භාවිතය එකතු විය. වෙසක් කොළ යොදා සැරසිලි - කොඩිවැල් - වෙසක් කූඩු සෑදීම තදින් පැතිර ගියේය.
වෙසක් කොළවලින් සැදු වෙසක් කූඩු තුළ දැල්වීමට ඉටිපන්දම් වෙළෙඳපළට පැමිණ තිබුණි. මේ වනවිට නිවාස හා පල්ලිවල උත්සවවලට ද බහුලව ඉටිපන්දම් භාවිතා විය.
වෙසක් සැරසිලි සඳහා ජපානයේ මුද්‍රණය කළ බකට් පහන් අඩු මිලට විවිධ වර්ණ හා විවිධ හැඩට ලාංකික සමාගම්වලින් ගෙන්වීම ආරම්භ විය. විශේෂ කඩදාසියෙන් සැකසූ වර්ණ හා පින්තූර සහිත බකට් පහන් වෙළෙඳපළට පැමිණියේය.
බුද්ධ චරිතය සිතුවම් කළ පිටරට මුද්‍රිත සැරසිලි සඳහා ගන්නා කඩදාසි කොඩි පැමිණි අතර වෙසක් කඩදාසි තීරු අතර මේ පින්තූර සහිත සැරසිලි භාවිතා විය.
වර්ණ හයකින් යුතු බෞද්ධ කොඩිය සම්මත වූ පසු මේ ෂඩ් වර්ණ රෙදි කොඩි නිවාස - සැරසිලි - තොරණ - උත්සවවල බහුලව යොදා ගැනුණි.
නත්තල් කැරොල් ගී ආශ්‍රිතව වෙසක් භක්ති ගීත ගායනය - සංචාරක භක්ති ගීත ගායනය - සංචාරක භක්ති ගීත - වේදිකාවල භක්ති ගීත ගායනය පැතිර ගියේය.
නත්තල් සුබ පැතුම්පත් ආදර්ශ කොට ගෙන වෙළෙඳ සමාගම් මඟින් වෙසක් සුබ පැතුම්පත් අලෙවිය ආරම්භ විය.
මේ අනුව ඕල්කොට්තුමා ප්‍රධාන පරම විඥානාර්ථ ප්‍රධානීන් ඇමෙරිකා - ජපන් වෙළෙඳ සමාගම් ලාංකික ඉංග්‍රීසි හා ලාංකික වෙළෙඳ සමාගම්වල බලපෑම් මේ නව ප්රවණතාවන්ට හේතු විය.