
සිංහල අවුරුදු උදාවත් සමඟ ලක්වාසී ජනතාව කම්පා කරමින් මීතොටමුල්ලෙහි ඇති වූ ඛේදවාචකයෙන් මිනිස් ජීවිත හානි මෙන්ම අතුරුදන් වීම් සහ දේපළ හානි විශාල වශයෙන් සිදු විය. අක්කර විස්සක පමණ ප්‍රදේශයක් පුරා පැවැති කසළ කන්දෙන් කොටසක් නාය යාම හේතුවෙන් අවතැන් වූ පිරිස වෙත තාවකාලික පදිංචිය සඳහා නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් සාර්ථකව සිදු කරන ලදී.
මෙම ව්‍යසනයට පත් ජනතාව තාවකාලිකව පදිංචි කිරීම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණ තුනක් සම්පූර්ණයෙන් පිරිසුදු කර නිවාස 75ක් ඉදිකර දීමේ කාර්යය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් 250ක් පමණ දෛනිකව යොදවමින් කඩිනමින් සිදු කරනු ලබයි.
ඒ අනුව පළමු වී ගබඩා ගොඩනැඟිල්ල මෙසේ ප්‍රතිසංස්කරණය කර නිවාස 25ක් ජලය, විදුලිය, වැසිකිළි පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සහිතව මිනිස් වාසයට සුදුසු පරිදි ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර මෙම නිවාස ඉදිරියේදී අවතැන් වූවන් සඳහා ලබාදීමට නියමිතය.
දෙවන අදියර යටතේ වී අලෙවි මණ්ඩලයට අයත් දෙවන ගොඩනැඟිල්ලෙහි තාවකාලික නිවාස 50ක් ඉදිකිරීමට යෝජිත අතර ඉන් නිවාස 12ක ඉදිකිරීම් කටයුතු ඊයේ දිනයේ සිට ආරම්භ කළ අතර දින 03කින් අවසන් කිරීමට නියමිතය. ඉතිරි නිවාස 38හි ඉදිකිරීම් කටයුතු ද කඩිනමින් නිම කිරීමට සැලසුම් කර ඇත.