සයිටම් යෝජනාවලට එකඟ නොවීම කුහකකමක් | සිළුමිණ

සයිටම් යෝජනාවලට එකඟ නොවීම කුහකකමක්

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ප්‍රතික්ෂේප කිරීම ඔස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම අත්තනෝමතික බව සහ අලුතින් වෙද්‍යවරුන් බිහිවීම පිළිබඳ භීතිය නැවත වරක් ප්‍රදර්ශනය කර ඇතැයි විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාකාරිකයෝ පවසති.

මේ පිළිබඳ අදහස් දක්වන අධිනීතිඥ ලාල් විජේනායක මහතාගේ මතය වන්නේ දැනුම ලබා දීමට එරෙහිව කටයුතු කරන ලොව එක ම සංවිධානය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවයි. වෛද්‍ය වෘත්තියෙහි ප්‍රමිතිය නැංවීම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට මෙන් ම රජයේ වෛද්‍ය විද්‍යාලවලට ද අදාළ බව පවසන ඔහු මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙහි ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු වූ චෝදනාවලට රජය පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කර තිබියදී එය ද ප්‍රතික්ෂේප කිරීම වෘත්තිය කුහකත්වය මතුවීමක් බව කියයි.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවලට සාධාරණ විසඳුම් යෝජනාවලියක් රජය ඉදිරිපත් කර තිබිය දී එයට එරෙහි වීම සාපරාධී ක්‍රියාවක් බව පුරවැසි බලය සංවිධානයේ සමකැඳවුම්කරු නීතිඥ කේ.ඩබ්. ජනරංජන පවසයි. සායනික පුහුණුව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත කරන පරීක්ෂණයට පෙනී සිටීම, අවම ප්‍රමිතීන් හඳුන්වා දීම සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම යනාදි වශයෙන් රජය ගත් තීන්දු සියල්ල කා හටත් එකඟ විය හැකි මට්ටමේ තිබිය දී ඊට ද විරෝධය පළ කිරීම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පටු අරමුණක් වෙනුවෙන් බව ජනරංජන මහතාගේ අදහසයි.

නිදහස් අධ්‍යාපනය මෙන් ම අධ්‍යාපනයේ නිදහස ද ආරක්ෂා කරගැනීම වැදගත් වන බවත් සයිටම් ආයතනය නීතිය මඟින් ද තහවුරු කළ එකක් නිසා මේ විරෝධතා එහි අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් කඩ කිරීමක් බව නීති අංශවල මතය වී තිබේ.

Comments