සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ, මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ශික්ෂණ රෝහලක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු අරඹා ඇති බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ජයන්ති විජේතුංග මහත්මියගේ අස්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දන්වා සිටියි. අභියාචනාධිකරණයේ විනිශ්චය හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනවලට අනුව රෝහල පිළිබඳ තීරණ කීපයකට රජය එළැඹී ඇත.
වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් සයිටම් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට හෝමාගම සහ අවිස්සාවේල්ල රෝහල්වල ශල්‍ය වෛද්‍ය, ඖෂධවේදය, නාරිවේදය, ප්‍රසව හා නාරිවේදය මෙන්ම බාලක විද්‍යාව පිළිබඳ මාසය බැගින් වූ වැඩිදුර සායනික පුහුණුවක් ලබා දෙනු ඇත.
එම පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ඒකාබද්ධ අධීක්ෂණයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට සිසු-සිසුවියෝ මුහුණ දිය යුතුය. නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන මෙරට වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිතීන් පිළිබඳ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කෙරෙනු ඇත.නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගැනීමට අවශ්‍ය පියවර එම අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ඇති අතර, එය ශික්ෂණ රෝහලක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත.