ඩෙංගු එළවන්න ගමම එළි­යට බසී | සිළුමිණ

ඩෙංගු එළවන්න ගමම එළි­යට බසී

ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කිරීමේදී මේ දිනවල වැඩියෙන්ම කියැවෙන්නේ ඩෙංගු සහ උණ රෝගය ගැනය. ඩෙංගු කී පමණින් කා අතරත් ඇතිවෙන්නේ බියකි. ඩෙංගුවලට බිය වීමට තරම් රෝගය පැතිර ගොස් ඇත්තේ ජනතාවගේම වරදිනි. අද නගරයේ පමණක් නොව ගම් කරාද ඩෙංගු පැතිරීමට හේතුවී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුව ඇති පරිසර දූෂණයයි. ඇතැම් මිනිසුන් පරිසරයට අපද්‍රව්‍ය බැහැර කරන්නේ ඉවක් බවක් නොමැතිවය. එය අද පරිසර දූෂණයට පමණක් නොව රෝගාබාධ දක්වාම පැතිරී තිබීම කනගාටුවට කරුණකි.

මෑතක සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට ලක් වූ කරුණක් වූයේ බහුල ලෙස එළවළු වගා කෙරෙන කඳුකර ප්‍රදේශවල ද දැඩි ඩෙංගු අවදානමක් පවතින බවය. මීට බෙහෙවින් බලපා ඇත්තේ කඳුකර ප්‍රදේශවල වළවළු වගාව සඳහා භාවිත ‍කෙරෙන කෘෂි රසායන බෝතල් තැන තැන දැමීම නිසා විශාල ලෙස පරිසරය දූෂණය තිබේ. මීට අමතරව එම හිස් බඳුන් ජල පහරවලට එකතු වීමෙන් ජල සම්පත ද දූෂණය වේ. මෙනිසා විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන්ගේ වැඩි වීමක් ද පසුගිය කාලවකවානුවේ වාර්තා විය. ස්වාභාවික ජල ප්‍රවාහවලට එක්වන කෘෂිරසායන මීට හේතුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඩෙංගු මර්දනය තනිකරම රජයකට හෝ පළාත් පාලන ආයතනයකට පමණක් කළ හැක්කක් නොවේ. ඒ සඳහා ප්‍රජාව දැනුම්වත් වීම මෙන්ම ප්‍රජා සහභාගිත්වය ද අත්‍යවශ්‍ය වේ. අප මේ සියලු දෑ පැවසුවේ සිය සමාජ වගකීම මැනවින් වටහා ගත් ගමක ජනතාවක් පිළිබඳ කතාබහකට මුලපිරීමටය. තම ගමේ ජනතාව ඩෙංගු උවදුරෙන් මුදා ගැනීම සඳහා එකාවන්ව එක්වී ගම පිරිසුදු කළ මේ ගම්මුන් ගැන අපට පසුගිය දිනක වාර්තා වූයේ වැලිමඩ බෝගහකුඹුර බිබිලිගමුව ගම්මානයෙනි. මේ ගමේ බොහෝ දෙනකු ජීවත් වනුයේ එළවළු සහ වී වගාවෙනි. වගා කටයුතු සඳහා කෘෂි රසායන යොදා ගැනීම වසර ගණනක් තිස්සේ සිදුවිය. ඒ සඳහා භාවිත කෙරෙන කෘෂිරසායන අඩංගු බෝතල් හා ප්ලාස්ටික් භාජන විශාල වශයෙන් පරිසරයට බැහැර කිරීම මේ ගමට කලක් තිස්සේ ප්‍රශ්නයක්ව පැවතිණි. ඩෙංගු හා වකුගඩු රෝගය සිය ගම ආක්‍රමණය කරද්දී ඊට විසඳුම් සෙවූ මේ ගැමියෝ සිය ගම මුළුමනින්ම පිරිසුදු කිරීමට තම ශ්‍රමය හා කාලය කැප කිරීමට තීන්දු කළහ. එමගින් රටේ සියලු දෙනාට ආදර්ශයක් දීමත් ඔවුන්ගේ අභිප්‍රාය විය. දශක ගණනක් තිස්සේ සිය වගා බිම් හා ජල පහරවල් ආසන්නයේ මෙන්ම ලඳු කැලෑවලට බැහැර කර ඇති හිස් කෘෂිරසායන බෝතල්, ප්ලාස්ටික් ද්‍රව්‍ය හා පොලිතීන් සියල්ල එකතු කිරීමට ඔවුහූ පියවර ගත්හ.

සිය ගම පිරිසුදු කිරීමේ සත්කාර්ය සඳහා පෙරමුණ ගත්තේ බෝගහකුඹුර බිබිලිගමුව එක්සත් අවමංගල්‍යාධාර සමිතියයි. ගමේ සියලු දෙනා අදාළ දින උදෑසන සිය නිවෙස්වලින් එළියට බැස්සේ උදැල්ලක් රේක්කයක් හෝ ඉදලක් හෝ පිහියක් අතැතිවය. ගම පිරිසුදු කිරීමේ වැඩ සටහනට ගමේ 600කට ආසන්න පිරිසක් සහභාගි වූහ. ඔවුන්ට ඒ කාර්ය සඳහා ගත වූයේ පැය හතරක් පමණි.

එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ සභාපති ආර්. ඇම්. සපුමල් රත්නායක මහතා සිය ගම පිරිසුදු කිරීමේ ව්‍යාපෘතිය ගැන මෙසේ අප හා තොරතුරු පැවසීය.

“අපේ ගම්වලටත් දැන් වකුගඩු රෝගයි ඩෙංගුයි බෝ නොවන රෝගයි ඇවිත්. මෙයට එකම විසඳුම අපේ පරිසරය පිරිසුදුව තබා ගැනීමයි. අපේ ප්‍රදේශයේ වගා භූමි අවටත් ලඳු කැලෑ ජල පෝෂිත ප්‍ර‍දේශ අවටත් ගම්මානයේ මාර්ග දෙපසත් ඉවත දමා තිබූ හිස් වස බෝතල් සමඟ වෙනත් වස බෝතල් දහස් ගණනක් වගේම පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය කිලෝ දහස් ගණනක් මේ පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියේදී එකතු කෙරුණා.

මෙහිදී අපට තේරුම් ගිය දෙයක් වුණේ අපේ ඇතැම් ගොවීන් කෙතරම් වස බෝතල් ප්‍රමාණයක් අවට පරිසරයට විසි කරනවාද කියන එකයි. අපේ ගම පුරා මදුරුවෝ බෝවෙන්න මේවා හේතු වුණා.

ඒ විතරක් නොවෙයි ජල පහරවල් කෙතරම් දූෂණය වුණාද? අපි මෙලෙස එක දවසකදී එකතු කළ හිස් බෝතල් ලොරියක්ම අලෙවි කර ඒ මුදල් අපේ ගමේ විහාරය දියුණු කිරීමටත් ගමේ පොදු කටයුතු සඳහාත් යොදා ගැනීමටත් තීරණය කළා.”

ටී. ඇම්. ලීලාවතී මහත්මිය බිබිලිගමුව ගමේ පදිංචි 62 හැවිරිදි බැංකු නිලධාරිනියකි.

“අපේ ග්‍රාම සේවා වසමේ පවුල් තුන්සීයක් පමණ ඉන්නවා. ඒ පවුල්වල පොඩි ළමයි වැඩියි. අපේ ගම්මානවලත් ‍විවිධ රෝග බෝවෙන්න පටන් ගත්තාම වගකිව යුතු ආයතනවලට ඇඟිල්ල දිගු නොකර අපේ නිවාස අවටත් ගමේ පොදු පරිසරයත් අපිම පිරිසුදුව තබා ගන්න අපි තීන්දු කළා. වයස් බේදයකින් තොරව ගමේ හැමෝම මේ කාර්යට එකතු වුණා. අපි ගමේ පාරවල අවට ලඳු කැලෑ පිරිසුදු කළා. පැය තුන හතරක් යද්දී අපේ ගමම එළිය වුණා.” යැයි ඇය පැවසුවාය.

බෝගහකුඹුර අවට ප්‍රදේශයේ කුඹුරු අක්කර 65ක් ද ගොඩ වගා අක්කර 110ක් පමණ වේ. මේ බිම් ප්‍රමාණය පිරිසුදු කිරීමේ ශ්‍රමදානය සංවිධානය කෙරුණේ දින නවයක් වැනි කෙටි කාලයකිනි.

දෙදිනක් පුරා පැවැති ශ්‍රමදානයේ පළමු දිනය නිවෙස්වල ඉවත දැමූ හිස් බෝතල් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස්කිරීමට යෙදවිණි. දෙවැනි දින වෙන් වූයේ මුළු ගමම ආවරණය කරමින් අපද්‍රව්‍ය එක්රැස් කිරීමටය. බිබිලිගමුව විහාරාධිපති රත්කරව්වේ අමරවංශ හිමියෝ මේ කර්තව්‍යය සඳහා මඟ පෙන්වමින් අනුශාසනා පැවැත්වූහ.

“අපේ ගමේ වැඩි දෙනා ජීවත් වෙන්නේ එළවළු හා වී ගොවිතැනෙන්. අපි ලංකාවට වැඩියෙන්ම එළවළු සපයන පිරිසක් බව කිව යුතුයි. මේ ගොවිතැන් සඳහා භාවිත කරන කෘෂිරසායන නිසා අපේ ජනතාව ලෙඩ රෝගවලට ලක් වෙලා. මේ ගැන අනුන්ට ඇඟිල්ල දික් නොකර අපේ වටපිටාව අපිම පිරිසුදු කර ගත්තා.

මේ ශ්‍රමදානයේ දී අපි ලොරි තුනකට සෑහෙන්න ඝන අපද්‍රව්‍ය එකතු කළා. අපි මෙතෙක් අපේ පොළොවට අපද්‍රව්‍ය එකතු කර අපේම වගා භූමිවල පස කෙතරම් විනාශ කර ඇත්දැයි සිතා ගත නොහැකියි. ප්‍රමාද වී හෝ මෙය වටහා ගැනීමට ලැබීම අපේ වාසනාවක්” යැයි ශ්‍රමදානයට එක්වූ බෝගහකුඹුර ඩී. ඇම්. සිරිවර්ධන මහතා පැවසීය.

ගැමියන් එකතුවී පිරිසුදු කළ ගම යළි අපිරිසුදුවීම වැළැක්වීම සඳහා මින් ඉදිරියට පරිහරණයෙන් පසු ඉවත ලන හිස් බෝතල් හා ප්ලාස්ටික් ඇසුරුම් බහාලීමට කසළ බඳුන් වගා බිම් අවට රැඳවීම ද මෙදින ම සිදු කෙරිණි.

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥානා නවරත්න මහත්මිය ද මේ ශ්‍රමදානය දැක බලා ගැනීමට පැමිණ සිටියාය. ඉදිරියේදී ගම පිරිසුදුව තබා ගැනීමට මෙවන් ශ්‍රමදාන මාස තුන හතරකට වරක් සිදු කිරීමට ද තීරණය කෙරිණි.

 

Comments