අව­යව දන් දුන් නොච්චි­යා­ගම දිය­ණිය | සිළුමිණ

අව­යව දන් දුන් නොච්චි­යා­ගම දිය­ණිය

කෙනෙකු මැරුණ විට ඒ වෙනුවෙන් කම්පා වෙමින් සිහිනැතිව ඇද වැටෙමින් අවට සිදුවන්නේ කුමක්දැයි යන්නවත් අවබෝධයක් නැතිව ඥාතින් තැන් තැන්වල වැටී හඬා වැලපෙමින් සිටියේ ඉස්සරය. නමුත් වෛද්‍යවරුන් නිරන්තරයෙන් කරන දැනුම්වත් කිරීම් හේතුවෙන් මියගිය පුද්ගලයාගේ හොඳ තත්වයේ තිබෙන අවයව කොටස් දන්දීම පිළිබඳව දැන් මිනිසුන් දැනුවත්වය. මේ කතාව ද අකාලයේ මියගිය දියණියකගේ සිරුරේ කොටස් දන්දීම පිළිබඳ කතාවකි . ඇගේ අැස් දෙක සහ වකුගඩු දෙකම දන්දීමට එම දෙමාපියන් රෝහලට කැමැත්ත දී ඇත්තේ ඒ දැනුවත් වීම මතය.

නොචිචයාගම ආරියරත්න වන්නිනායක දියණියන් දෙදෙනෙකුගේ පියෙකි . ඔහු තමන්ට දියණියන් දෙදෙනෙකු සිටීම ගැන හැම විටෙම ආඩම්බර වුයේය. ඒ දියණියන් දෙදෙනා හොඳින් අධ්‍යාපනය ලබමින් ඉදිරියට යන බැවිනි. ඔහු හැම විටම තම වැඩිමහල් දියණිය ගැන සතුටු වුයේය. එහෙත් අද ඔහු හා ඔහුගේ බිරිය දවස ගෙවන්නේ බොහෝ කනගාටුවෙනි.

දැන් ඔවුන්ගේ දෑස්වල කඳුළක් නැති මොහොතක් දැකිය නොහැකි තරම්ය. වසරක් නොව වසර විසි එකක් පුරා කවා පොවා ඇති දැඩි කළ දියණිය හිටි හැටියේ මිය යෑම මේ දෙන්නා දෙමහල්ලන් දරා සිටින්නේ බොහෝ වෑයමිනි. පෙබරවාරි මස පළමුවැනිදා අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමුගත් චදුනි මන්තිලා වන්නිනායක පිළිබඳව ඇගේ පියා පවසන්නේ හැඬු කඳුළෙනි.

“චදුනි දුව උපන්නේ 1995 අගෝස්තු 25. එයා උසස් පෙළ කලා විෂයන් හදාරා සමත් වීමෙන් පසුව අධ්‍යාපන ආයතනයක තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව හදාරමින් සිටියේ. දුව මිය ගිය දවසට පෙර දිනයේ හැන්දැවේ ඔළුව රිදෙනවා කියලා බාම් වගයක් ගාලා නිදාගත්තා. පැයකට දෙකකට පස්සෙත් කෙඳිරි ගෑවා. මම උදේ හයට දුව බැලුවා. ඒ වෙලාව දුව නිදියාගෙන හිටියේ. නැවත දුව ගැන බැලුවා ඒ බලනකොට පණ නැති ගතියෙන් ඇවිද ගන්න නැගිට ගන්න බැරිව ඉන්න බව අප දුටුවේ. දුව නොච්චියාගම රෝහලට ගෙන ගියා. එතැනින් දුව අනුරාධපුර රෝහලට ගෙනිහින් තිබුණේ.

දුවගේ මොළයේ ගෙඩියක් ඇවිත් සුෂුුම්නාවේ හිරවෙලා දුව අංශභාග රෝගී . තත්ත්වයට පත්ව ඇති බවයි වෛද්‍යවරු කිව්වේ. මට මතක හැටියට අවුරුදු දහයකටවත් දුව ලෙඩක් තියෙනවා කියලා බෙහෙතක් අරගෙන නැහැ.

එයා බොහෝම නීරෝගිව හිටිය දරුවෙක්. ඥාති දියණියක් තමයි කිව්වේ මගෙ දුවගේ අවයව දන් දෙමුද කියලා.

මමත් බිරියත් එයට ඉතාම කැමැති වුණා. වෛද්‍යවරුන් අප දැනුවත් කළ නිසා අප ඉතාම කැමැත්තෙන් දුවගෙ ඇස් දෙකත් වකුගඩු දෙකත් දන් දුන්නා.” ආරියරත්න සිය දියණියගේ අකල් වියොව ගැන හිත හදා ගන්නේ ඇගේ අවයවවලින් තවත් කෙනෙකුට ජීවිතය දුන්නාය යන සැනසී‍ම ලබමිනි.

දැන් චදුනි නැත. චදුනි නැති නිවෙස පාළුවට ගොස්ය. චදුනිගේ වියෝවෙන් තැවෙන ඇගේ මව පියා හා සොයුරිය දවස ගෙවන්නේ අගේ මතකයන් සමඟය.

එමෙන්ම ඔවුහු ඇගේ ශරීර කොටස් දන්දීමත් එයින් ජීවත් වන පුද්ගලයන් පිළිබඳවත් නිරන්තරව තුටුවන්නෝය. ඒ පින්කම සිහිපත් කරමින් තම දියණියට පින් දෙන්නාහ.

“දුව හරිම ආසාවෙන් හිටියේ ඉංග්‍රීසි ගුරුවරියක් වෙන්න. එයා ඉගෙන ගත්තේ ඒ වෙනුවෙන්. දුව ගුරුවරියක් වුණාම අඳින්න සාරි කිහිපයකුත් අරගෙන තිබුණේ. ගෙදර හැමදේම කරගෙන අපිවත් බලාගෙන හිටපු දුවට වෙච්ච දේ අපිට තාමත් උහුල ගන්න බැහැ. දුව මිය ගිය මොහොතේ එයාගේ අවයව දන්දෙන්න අපි කැමති වුණා. දුව නැති අඩුව අපේ ජීවිතවලින් කවදාවත් නැති කරන්න බැහැ.

ඒත් මගේ දුවගේ අවයවවලින් තවත් කෙනෙකු ජීවත් වෙනවා දැකලා අපට සතුටු වෙන්න පුළුවන්”.චදුනිගේ මව පවසන්නේ දිගු සුසුමක් හෙළමිනි. 

Comments