
ශ්‍රී ලංකාව හැම කල්හිම කිසියම් යුද්ධයකට, අරගලයකට, ගැටුමකට මැදි වී සිය ඉතිහාසය ඉදිරියට ගෙන ආ රටකි. මේ නිසාම අපේ ආදිතම රාවණා මුත්තණුවන් දවස සිට අපේ ආරක්ෂාවට අපේ ම සටන් ක්‍රමයක් හදාගත් ජාතියකි. අපි අපේ සටන් ක්‍රම පවත්වාගෙන ආවේ තවකෙකුට හිංසාවක් පීඩාවක් කිරීමට නොව, අපේ ජීවිත ආරක්ෂා කර ගන්නය.
ඒ සටන් කලාව තුළ ප්‍රහාර, නිල ශාස්ත්‍රය, මන්ත්‍ර සේම කැඩුම් බිඳුම් වෙදකම් ද ලියැවී තිබුණි. අපේ දේශීය සටන් කලාව වන අංගම්පොර ශාස්ත්‍රය 1818 ඔක්. 05 දා දක්වා අපේ නියම්ගම් තුළ පාරම්පරික ශාස්ත්‍ර අධ්‍යනයක් ලෙස පවත්වාගෙන පැමිණියේය.
රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා යට කී දින නිකුත් කළ විශේෂ නිවේදනයක් මඟින් අංගම්පොර සටන් ක්‍රමය තහනම් කරනු ලැබූ බව කොරතොට අංගම් පරම්පරාවේ අජන්ත මහන්ත ආරච්චි ගුරුන්නාන්සේ පවසයි. ලෝකයේ ස්වදේශික සටන් ක්‍රමයක් තහනම් කළ එකම රට ලංකාවය.
කොරතොට වෙල් ඉස්මත්තේ පිහිටි කොරතොට අංගම් මඩුවට දනුක ගුණසේකර සහෘදයා මා රැගෙන ගියේ, මරුවල්ලිය පරම්පරාවේ අපූරු සටන්කාරියන් කිහිප දෙනෙකු හඳුන්වාදීමටය. අජන්ත ගුරුන්නාන්සේ ළඟ ශිල්ප හදාරන මේ සටන්කාරියන් අතර සිටින වැඩිමලිය ජීවිතයේ හතරවන දශකයට කිට්ටු කළ අයෙකි. බාලයා තවමත් පාසලේ හය වසරේ ඉගෙනුම ලබන්නීය.
ඒ දෙදෙනා අතරේ තවත් යුවතියන් අට දෙනෙක් මේ අංගම් මඩුවේ හටන් ශාස්ත්‍රය හදාරති. “ඔවුන්ව අපි ආව පමණින් ම තෝරා ගන්නේ නැහැ. හඳහන් බලලා මේ ශාස්ත්‍රය දෙන්න සුදුසු නම් පමණයි අපේ ළඟට ගන්නේ. ඒ නිසා අපි ළඟ ඉන්න හැම දෙනාම මේ ශාස්ත්‍රය ඉතාමත්ම භක්තිමත්ව ගෞරවයෙන් ඉගෙන ගන්නවා.” යැයි අජන්ත ගුරුන්නාන්සේ පැවසීය.
අපි ඒ ගැන කතා කරන්න මුලින් ම සම්බන්ධ කර ගත්තේ සමුද්‍රි මහත්මියයි.
“රත්නවීර පටබැඳිගේ සමුද්‍රි මගේ නම. මම මේ සටන් කලාව ඉගෙන ගන්න ගත්තේ මීට වසර හතකට පෙරදියි. මම මේ සටන් ක්‍රමය ගැනත් ගුරුන්නාන්සේ ගැනත් දැනගෙන හිටියා. මම අපේ දේශීය දෙයකට, අපේ හෙළ ජාතික උරුමයන්ට බොහොම ලැදියි.
මට පුංචි කාලේ ඉඳලම ජාතිමාමක හැඟීම් තදින් තිබුණා. ඒකට මගේ පවුලේ පසුබිමත් බලපෑවා. මම පාසල් ගියේ මියුසියස් විද්‍යාලයට. ඒ සමයේදි මම චිත්‍ර ප්‍රදර්ශනයක් කරලා ලැබුණ සියලු මුදල් වීර සෙබළ පදනමට පිරිනැමුවා.
මගේ හිතේ තිබුණ ජාතික අභිමානය නිසා, මේ සටන් ක්‍රමය අපේ ජාතික අභිමානය කුළු ගන්වන, අපේකම ලෝකයට පෙන්වන අපේ උරුමයක් නිසා මම හිතුවා, මේ උරුමය ඉදිරියට ගෙනියන්න මමත් දායක වෙන්න ඕනේ කියලා. මීට බොහෝ කලකට පෙර මෙයට සම්බන්ධ වෙන්න අදහසක් තිබුණත්, වසර හතකට පෙර තමයි මට ඊට අවස්ථාව ලැබුණේ.”
මේ හටන් කලාව ඉතාම දුෂ්කර ව්‍යායාම, පුහුණුවීම්, වැටීම්, පැනීම්, භාවනා ක්‍රම වැනි විවිධ ඉසව් ඔස්සේ ඉගෙන ගත යුතු දෙයක්. සමහරුන් හිතන්න පුළුවන් ගැහැනියක් මේවා කරන්නේ කොහොමද කියලා. මම අවබෝධ කරගත් දෙය තමයි, මෙතනදි ශාරීරික ශක්තිය, ඔරොත්තු දීමට වඩා බලපාන්නේ මානසික ශක්තිය බව. ඒ නිසා කිසි දෙයක් බැහැ කියලා හිතුවේ නැහැ. ඒ නිසා මම අද ඉදිරියට ම යනවා. මේ විදියට මේ හටන් ක්‍රමයට ඇල්මක් ඇති වෙන්න පෙර සාංසාරික පුරුද්දක් බැඳීමක් තියෙන්නත් ඕනේ.
මම හිතන්නේ මේ රටේ හැම ගැහැනියක් ම මේ හටන් ක්‍රමය ඉගෙන ගත යුතුයි. ඒක ආත්ම ආරක්ෂාවට, හිරිහැරයක් කරදරයක් වුණාම බේරෙන්න වගේ ම රට රකින්නත් තිබනෙ සටන් ක්‍රමයක්. අපේ මවුවරු මේක ප්‍රගුණ කරලා, එදා සටන් පෙරමුණට ගිහිං තියෙනවා. නවරත්න මැණිකේ, කොරතොට රොසලින්, සුගලා දේවිය වගේ චරිත අපේ ඉතිහාසයේ තියෙනවා. අපේ සෙබලුන් සමඟ හරි හරියට වෙස් වලාගෙන සටන් කළ කාන්තා සෙබළියන් එදා රාජකීය හමුදාවල ඉඳලා තියෙනවා.
ඒ නිසා අපේ අම්මලා මේවා ඉගෙන ගෙන ගෙදරදි යම් දුරකට යනකන් හෝ තමන්ගේ දරුවන්ට ඉගැන්විය යුතුයි. මමත් මගේ දුවට යම් යම් දේවල් මේ ගැන කියලා දෙනවා. එයා තීරණය කළ දවසක එයාට පුළුවන් මඩුවට යන්න. මට අවශ්‍ය මේ ජාතික උරුමය රැකගන්න සියලු දෙනා ම බද්ධ කර ගන්න. නමුත් හැමෝටම මේ ශාස්ත්‍රය ලැබෙන්නෙත් නැහැ.
මම දැන් වසරකට පෙර පළමුවෙනි අඩව්ව අවසන් කළා. අඩවි තියෙනවා විසි එකක්. ඒකෙන් හතක් තමයි ගොඩක් අය යන දුර. දෙක තුන ඉතිං ගොඩක් දුෂ්කරයි. ගුරුන්නාන්සේ තමයි තීරණය කරන්නේ ශිෂ්‍යයා ඊළඟ අඩව්වට ගන්නවද නැත්ද කියලා.
මේ සටන් ක්‍රමයේ සුළු කොටසක් ඉගෙන ගන්න අපිට සෑහෙන කලක් යනවා. පහරදීමට අදාළ ඉතා සියුම් කොටස් තියෙනවා. එක පා පහරක් ඉගෙන ගන්න අපිට සෑහෙන කලක් යනවා. අපිට හදිසි වුණාට, අපි හිතුවට අපි දැන් දන්නවා කියලා ගුරුන්නාන්සේ තමයි තීන්දු කරන්නේ අපේ තත්ත්වය.
මේ සටන් ශාස්ත්‍රය ඉගෙන ගැනීමත් සමඟ මට දැනුණ මගේ වෙනස තමයි, මම චෛතසිකව ශක්තිමත් වුණු බව. මා අවට සිදුවන ඉතා සියුම් දේවල් පවා මට දැනෙනවා හොඳට දැන්. සංවේදි ශක්තිය වැඩි වුණා වගේ දැනෙනවා. මොකද අපි කරන භාවනා පුහුණුවීම්වලින් අපේ ඒ සංවේදි ශක්තිය ඉතාම ඉහළ ගොස් තිබෙනවා.
කොරතොට අංගම් මඩුවේ සිටින ළාබාලතම හටන්කාරිය අතපත්තු හේවාවසම් ලියනගේ දෝන ඉසුරි උමන්දා. බත්තරමුල්ල ලංකා සභා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය කොරතොට අංගම් මඩුවට එක් වන්නේ මීට වසර තුනකට පෙරය.
“මගේ මල්ලි තමයි මුලින්ම ඉගෙන ගන්තේ. එයාට දැන් අවුරුදු හතයි. එයත් සම්බන්ධ වුණේ 2014 දි. මටත් ආසා හිතුණා මේක ඉගෙන ගන්න. ගුරුන්නාන්සේ මගේ හඳහන බලලා ගත්තා. අම්මා මුලදි ටිකක් අකමැති වුණා. නමුත් දැන් අම්මා සතුටින් අපිව එක්කන් යනවා. මුල් දවස්වලදි නම් ඇඟ රිදෙන්න ගත්තා පුහුණුවීම් කළාම. පස්සේ පස්සේ යන්නත් කම්මැලි හිතුණා. ඒත් කොහොම හරි මම දිගටම ගියා. අම්මයි, තාත්තයි ගොඩක් අපිව උනන්දු කළා මේ හටන් කලාව ඉගෙන ගන්න.
මම දැන් එක අඩව්වක් අල්ලලා තියෙන්නේ. ඒකේ නම දන්නේ නැහැ. මම මේ ඉගෙන ගන්න එක ගැන කවුරුත් දන්නේ නෑ. මේ ගැන කාටවත් කියන්න එපා කියලා පූජාවේදි කියලා දුන්නා. ලොකු වෙනකම් ම පුළුවන් තරම් කල් මේ ගැන ඉගෙන ගන්න මම බලාපොරොත්තු වෙනවා. තම දියණිය මෙවැනි කඨෝර, දුෂ්කර, යුවතියකට තරම් නොවන දරදඬු හටන් ක්‍රමයක් ඉගෙන ගන්නට යොමු කළේ මන්දැයි අමන්දගේ මව වී.කේ. විජිතා ස්වර්ණලතා සහ පියා සුසිත්ලාල් මහතා දක්වන්නේ අපූරු අදහසකි.
“පුතා මේ පුහුණුවට යොමු කරන්න අපිට ලොකු උවමනාවක් තිබුණා. දවසක් දුව දැකපු ගුරුන්නාන්සේ ඇහැව්වා දුවවත් එවනවද කියලා. මම මුලදි කැමති වුණේ නැහැ. නමුත් පසුව අපිම තීරණය කළා දුවව යවන්න. මොකද අපිට ගුරුන්නාන්සේ පිළිබඳ ලොකු විශ්වාසයක් ඇති වුණා. දැන් අපි සතුටින් දරුවන් ඊට ගෙනියනවා. මොකද දරුවෝ ලොකු වෙනකොට තමන්ගේ ආරක්ෂාව එයාලම හදා ගන්න ඕනේ, අද සමාජයේ හැටියට.
අනුන්ට ගහන්න නෙමේ, තමන් ගැලවිලා බේරෙන්න ඕනේ නේ. විශේෂයෙන් ම අපේ දරුවෝ ලෙඩ වෙන්නේ නෑ. මොකද හරිම සුවිශේෂ ශාරීරික ව්‍යායාම දෙන්නේ. මොනවා නැතත් දරුවන්ට ලැබෙන ඒ නිරෝගීභාවය අපිට කෝටියක් වටිනවා. “මේ දරුව දුටු මොහොතෙම මට යමක් දැනුණා. හඳහන බැලුවම ඒක තහවුරු වුණා. මේවා ජන්මයෙන් ජන්මයට එන උරුමයන්. පුරුදු” යැයි අජන්ත ගුරුන්නාන්සේ මේ දියණිය පිළිබඳ අවසානයට පැවසීය.