අබිරහස් මරණයක් උරුම වූ අබිරහස් කතන්දර කියන්නා | සිළුමිණ

අබිරහස් මරණයක් උරුම වූ අබිරහස් කතන්දර කියන්නා

අදෘශ්‍යාර්ධය

දහනව වැනි සියවසේදී විශ්ව සාහිත්‍යයට අගනා දායාද තිළිණ කළ ලේඛකයන් අතර ඇමෙරිකානු ලේඛක එඩ්ගා ඇලන් පෝ ද ප්‍රමුඛය. ඔහු වඩාත් ප්‍රචලිත වූයේ කවියකු හා කෙටිකතාකරුවකු වශයෙනි. එසේ වුවද ඔහු සාහිත්‍ය විචාරකයෙක් ද විය. ඔහුගේ නිර්මාණ අබිරහස් මෙන් ම අති බිහිසුණු කතාන්දර වශයෙන් බොහෝ විට ගොඩනැඟිණි. විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස ද ඔහු සැලැකේ. නව සොයා ගැනීම් ගැන ද ඔහු බොහෝ ලිපි ලීවේය. නූතන රහස් පරීක්ෂක කතා සාහිත්‍යයේ පිතෘවරයා ලෙස සැලකෙන්නේ ද ඔහුය. ලිවීමෙන් ලැබෙන ආදායමෙන් පමණක් ජීවත්වීමට වෑයම් කළ පළමු වෘත්තීමය ලේඛකයා වන්නේ ද එඩ්ගා ඇලන් පෝය. එඩ්ගා උපත ලැබුවේ 1809 දීය. ඔහුට වසරක් සපිරෙන විට පියා පවුල හැර ගිය අතර තවත් වසරක් ගතවන විට මව ජීවිතය හැර ගියාය. කුඩා එඩ්ගා හදාවඩා ගත්තේ ජෝ සහ ෆ්රැන්සිස් ඇලන් යුවළ විසිනි. එඩ්ගා තරුණ වියට එළැඹෙන තෙක්ම ජීවත්වූයේ ඇලන් පවුලේ අයකු ලෙසය. සිය අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ලබා ගැනීමට ඔහුට ඇලන් යුවළට ඇවටිලි කිරීමට සිදුවිණි. එය සාර්ථක නොවු තැන වෙනත් නමකින් ඔහු හමුදා සේවයට එක් විය. ඒ වන විට ඔහු 18 හැවිරිදි වියට එළැඹියා පමණි. කැඩෙට් නිලධාරී පරීක්ෂණය අසමත් වීම නිසා ඉන් ඉවත් වීමට ඔහුට සිදු විය.

එඩ්ගා සිය ලේඛක කටයුතු ඇරැඹුවේ මේ අවදියේදීය. ඔහුගේ පළමු කෘතිය කාව්‍ය ග්‍රන්ථයකි. Tamerlane and other poems නම් එය 1827 දී ප්‍රකාශයට පත්වූයේ ආරූඪ නාමයක් යටතේය. ඔහු සාහිත්‍ය විචාරකයකු ලෙස ද නමක් ගොඩනඟා ගනිමින් සිටියේය. සිය නෑනණ්ඩිය 13 හැවිරිදි වර්ජිනියා ක්ලෙමන් විවාහ කරගන්නා විට එඩ්ගාට අවුරුදු 27 කි. වර්ෂ 1845 දී ප්‍රකාශයට පත්වූ The Raven නම් කාව්‍ය ග්‍රන්ථය බෙහෙවින් සාර්ථක විය. එඩ්ගාගේ නම ලෝකයට ගියේ එයිනි. එහෙත් ඉන් ඔහු ඉපැයූ ආදායම ඇ. ඩොලර් 15ක් පමණි. ඉන් දෙවසරකට පසු වර්ජිනියා ජීවිතයෙන් සමුගත්තේ ක්ෂය රෝගයට ගොදුරු වීමෙනි.

ඉන්පසු තමන්ගේම සඟරාවක් ප්‍රකාශයට පත් කිරීමට එඩ්ගා වසර ගණනාවක් තිස්සේ වෑයම් කළේය. එහෙත්, එය සැබෑවක් නොවීම 40 හැවිරිදි වියේදී ඔහු ජීවිතයෙන් නික්ම ගියේය. ඔහුගේ අකල් මරණයට හේතුව අපැහැදිලිය. බීමත්කම, හෘදයාබාධයක්, කොළරාව, ක්ෂය රෝගය, ජලභීතිකාව, සියදිවි නසාගැනීම සහ තවත් හේතූන් කිහිපයක්ම සඳහන් වේ.

එඩ්ගා සිය නිර්මාණ සඳහා අවශ්‍ය නිර්මාණාවේශය බොහෝ දුරට ලබාගත්තේ සිය අත්දැකීම් හා ඔහු වටා පැවැති සිදුවීම් වලිනි.

එඩ්ගාගේ අභාවයෙන් පසු ඔහු ගැන දීර්ඝ ලිපියක් ලියා ප්‍රකාශයට පත් කළේ ඔහුගේ සතුරකු වූ රැෆස් ග්‍රිස්වර්ල්ඩ් විසිනි. අන්වර්ථ නාමයකින් ලියා තිබූ එම ලිපිය මඟින් එඩ්ගා යනු ස්ත්‍රී ලෝලියකු, බේබද්දකු සහ උන්මත්තකයකු බව පෙන්වා තිබිණි. අවාසනාවකට බොහෝ දෙනකු එඩ්ගා ඇලන් පෝ කියැවූයේ මේ ලියැවිල්ලෙනි. එහෙත් සත්‍ය නම් එඩ්ගා ඇලන් පෝ යනු අමෙරිකානු සාහිත්‍යයේ මුහුණුවර වෙනස් කළ, අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකළ විශිෂ්ට පුරෝගාමියකු වූ බවය. ඔහු ලේඛක කාර්යයේදී අංශ ගණනාවක දස්කම් පෑ නිර්මාණකරුවෙකි. එම දක්ෂතා කෙටිකතා, නවකතා, කාව්‍ය, විද්‍යා ප්‍රබන්ධ, අපරාධ පරීක්ෂක කතා වැනි සාහිත්‍යාංගවලින් පමණක් නොව ශාස්ත්‍රීය පාඨ ග්‍රන්ථවලින් ද මතු විය. එඩ්ගාගේ පවුලම පාහේ කලාවට සම්බන්ධය. ඔහුගේ දෙමවුපියොත් ශේක්ස්පියර්ගේ නරපති ලියර් නාට්‍යයේ රඟපෑ ශිල්පීහු වූහ. ඔහු උපන් වර්ෂයේද ඔවුහු එහි රඟපෑහ. එඩ්ගාගේ සොහොයුරු විලියම් හෙන්රි පෝ ද කවියෙකි. ලේඛකයකු වීම එඩ්ගා කුඩා කල පටන්ම දුටු සිහිනයයි. ළමා කල ඔහුගේ වීරයා වූයේ ද බ්‍රිතාන්‍ය කිවි බයිරන් සාමිවරයාය. 13 හැවිරිදි වියට ළඟා වන විට එඩ්ගා කෘතියක් ලෙස පළ කිරීමට තරම් කාව්‍ය නිර්මාණ ප්‍රමාණයක් එක්රැස් කර තිබිණි. එහෙත් ඔහුගේ පියා එය ප්‍රකාශයට පත්කිරීමට එරෙහි විය.

එඩ්ගාගේ නිර්මාණ ජීවිතයට දිළිදුකම විසින් ගෙන ආවේ අනුප්‍රාණයකි. ඔහු අරුම පුදුම දේ ගැන විශ්වාස කළ ලේඛකයකු ද විය. ලේඛක‍ෙයක් ලෙස ඔහු සිය නාමය භාවිත කළේ පිය උරුමයෙන් ලද ‘පෝ’ යන නාමය මෙන් ම හදාවඩා ගත් ‘ඇලන්’ යන නාමය ද සහිතව එඩ්ගා ඇලන් පෝ වශයෙනි.

ලිවීමේ යෙදෙන විට එඩ්ගාගේ උරහිසේ නිරන්තරයෙන් පාහේ පූසකු සිටිනු දැකිය හැකි විය. ඔහු පූසන්ට බෙහෙවින් ප්‍රිය කිරීම ඊට හේතුවයි. ‘කැටරිනා’ නම් මේ සුරතල් පූසා ද එඩ්ගා මියයන විටම වාගේ මියගොස් තිබිණි. එඩ්ගාගේ එකම නවකතාව Narrative of Arthur Gordon Pym of Nantucket ය. එය බෝට්ටුවක් සහ යාත්‍රිකයන් පිරිසක් වටා ගොඩනැඟුණු, මිනී මස් කන්නන් ද සිටි කතාවකි. එහි රිචඩ් පාකර් නම් චරිතයක් ද සිටියේය. එඩ්ගා කීවේ එය සත්‍ය සිද්ධියක් පාදක කරගනිමින් ලියැවුණු බවය. එහෙත් එවක ඒ බව පිළිගැනීමට බොහෝ දෙනා පසුබට විය. ඉන් වසර 5කට පසු නවකතාවේ රිචඩ් පාකර්ට අත්වූ ඉරණම ඇත්තටම වෙනත් රිචඩ් පාකර් කෙනෙකුට ද අත් විය. මිනීමස් කෑමේ සිද්ධියක් නම් ඇති නොවිණි. 1884 දී යළිත් එවැන්නක් සිදුවිය. එවර නම් කතාවට බොහෝ සමාන සිද්ධියක් ලෙස එය ඇතිවිණි. ඊට මුහුණ පෑ තැනැත්තාගේ නම ද රිචඩ් පාකර් ය.

එඩ්ගාගේ ජීවිතයත් සමඟ යම් දෛවෝපගත සිද්ධීන් ද වෙළී තිබිණි. ඔහුගේ බිරිය ක්ෂය රෝගයෙන් මියගියේ 24 හැවිරිදි වියේදීය. ඔහුගේ මව සහ සොහොයුරා මියගියේ ද 24 හැවිරිදි වියේ පසුවෙද්දීය. බිරියගේ අභාවයෙන් පසු එක් වරක් ඔහු සියදිවි නසා ගැනීමට ද තැත් කළ බව ඇතැම් මූලාශ්‍රයවල දැක්වේ. ඒ වන විට ධනවත් වැන්දඹුවකව සිටි, ළමාවියේදී ඔහු බෙහෙවින් ඇලුම් කළ එල්මීරා රොයිස්ටර් ෂෙල්ටන් විවාහ කර ගැනීමට ද ඔහු අපේක්ෂා කළේය. එහෙත්, විවාහ මංගල්‍යයට දින 10ක් තිබියදී එඩ්ගාගේ අබිරහස් මරණය සිදු විය. ඒ, ලියොන් ලුඕ නම් කිවිඳියකගේ කාව්‍ය ග්‍රන්ථයක් සංස්කරණය කිරීමට පිලඩෙල්පියාව බලා යන අතරතුරදීය. එඩ්ගා ඇයට ලියූ ලිපියක් ඔහුගේ ජීවිතයේ අවසන් ලියැවිල්ලක් ලෙස එඩ්ගා ඇලන් පෝ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

ඔහු පිලඩෙල්පියාව බලා පිටත්වීමට පෙර දිනයේ ඔහු කෙරෙන් රෝගී බවක් පළවූ නිසා ඒ වන විට ඔහුගේ පෙම්වතියව සිටි එල්මීරා විසින් වෛද්‍යවරයකු වෙතට යොමුකර තිබිණි. වෛද්‍යවරයා එඩ්ගාගේ මිතුරකු වූ අතර ගමන දින කිහිපයකට කල් දමන ලෙස ඔහුට උපදෙස් ලැබිණි. එහෙත් එඩ්ගා වෛද්‍ය උපදෙස් නොතකා හැරීය.

මරණයට දින 4කට පෙර එඩ්ගා නගර සභා මැතිවරණයකදී සිය ඡන්දය ද ප්‍රකාශ කළේය. එම ඡන්ද මධ්‍යස්ථානය සිරකර තබා සිටි අය වෙනුවෙන් පිහිටුවන ලද්දක් වූ නිසා එඩ්ගා ඒ වන විට සිරකොට තිබිණි ද යන සැකය පසුව ඇති විය. එඩ්ගා මියගියේ දැඩි බීමත්කම හේතුවෙන් බවට ප්‍රකට වූ මතය ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා වූ ජෝන් මොරාන් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු මේ ගැන කෘතියක් ද ලියා ඇත. ඔහුගේ කරුණු දැක්වීම විශ්වසනීය මූලාශ්‍රයක් වුවද එය ඇති නොයෙක් වෙනස්කම් නිසා එය එතරම් පිළිගැනීමට ලක් නොවිණි. එඩ්ගාගේ බීමත්කම ගැන ප්‍රවාදය ප්‍රචලිත කළේ ඔහුගේ මිතුරකු වූ ජෝෂප් සොන්ඩ්ග්‍රාස් විසින් බව හෙළිදරව් වී තිබේ. මරණ මංචකයේ වැතිර සිටියදී පවා ඔහුගෙන් යම් සමරුවක් ලබාගැනීමට ඔහුගේ රසිකයන් ඇතැමෙකු වෑයම් කර ඇත. වෛද්‍ය මොරාන් සහ සොන්ඩ්ග්‍රාස් ලබාගත් හිසකෙස් රොදක් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.

එඩ්ගා මියගිය දිනට පසු දිනට ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට එහි සිටි සමීප ඥාතීන් කටයුතු කර ඇත. එම අවමංගල්‍යයට සහභාගිවී ඇත්තේ හත් දෙනකු පමණි. එඩ්ගාගේ දේහය මිහිදන් කෙරුණේ බැල්ටිමෝරයේ වෙස්ට්මිනිස්ටර් සුසාන භූමියේ ඔහුගේ සීයාගේ සොහොනේමය. එහි සිහිවටන ඵලකයක් පවා නොවීය. වසර 26කට පසු ගුරු - සිසු දෙපිරිසක් එක්ව ඔහු වෙනුවෙන් ස්මාරකයක් ගොඩනැඟීය. එම ස්ථානයේ ඔහු යළි මිහිදන් කිරීමට වෑයම් කිරීමේදී මිනී පෙට්ටියට හානි සිදුවිණි. එහි කොටස් එකතු කරන්නන් අතට පත්විය. එඩ්ගාගේ රසිකාවක ඒවායින් කුරුස තනා පැලැඳි බව කියැවේ.

Comments