සහජීවනය සංහිඳියාව සමඟ සහජ දස්කම් ඔප්නැංවූ ත්‍රි’මලේ යොවුන් පුරේ | සිළුමිණ

සහජීවනය සංහිඳියාව සමඟ සහජ දස්කම් ඔප්නැංවූ ත්‍රි’මලේ යොවුන් පුරේ

මෙරට තරුණ පරපුරේ ගැටලු විසඳීමට තරුණ තරුණියන් 6000කගේ අදහස් ලබාගැනීම මෙවර ත්‍රි’මලේ යොවුන් පුරයේදී සිදුවූ අනාගතයට යන තරුණ තරුණියන්ට ඉතා වැදගත් කාර්යය විය. මෙවැන්නක් මෙතෙක් සිටි කිසිම රජයක් ක්‍රියාවට නැංවූයේ නැති බවත් ඒ යොවුන් අදහස් අනුව මේ රටේ තරුණ ප්‍රඥප්තියක් තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් මෙන්ම රටේ ඉදිරි ගමනට පිටුබලයක් වී ඇතැයි මෙවර යොවුන් පුරය පුරා ගවේෂණ චාරිකාවක නියැළුණු මෙරට ප්‍රථම යොවුන් පුරපති අමරසේන ඒකනායක මහතා පවසයි.

එමෙන්ම විවාද තරගාවලිය, ගවේෂණ චාරිකා, ක්‍රීඩා සංස්කෘතික තරග පමණක් නොව මාධ්‍ය වැඩමුළු රැසක්ද මේ සහභාගිවූ විට තරුණ තරුණියන් සඳහා පැවැත්වුණු බව මෙවර යොවුන් පුරයට එක්වූ 1984 ප්‍රථම යොවුන් පුර පුරපති අමරසේන ඒකනායක මහතා පැවැසීය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන 2017 යොවුන් පුරය ‘අනාගතය ඇරැඹුණා’ යන තේමාව මුල්කොට ගනිමින් දෙස් විදෙස් හා දිවයිනේ සිවු දිගින් පැමිණෙන තරුණ තරුණියන් 6000කගේ සහභාගිත්වයෙන් මාර්තු 29 දා සිට ආරම්භ විය. අද එය අවසන් වෙයි.

වසර 27කට පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පසුගිය වසරේ සීගිරියෙන් ආරම්භ කළ මෙම වැඩසටහන, නව තාක්ෂණය මුසු කරගනිමින් මෙවර ද ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන අතර, මෙහිදී තරුණ තරුණියන්ගේ විනය, පෞරුෂය, නායකත්ව ගුණාංග මෙන්ම, අධ්‍යාපනික ගුණාංග වඩා වර්ධනය කිරීමට අවැසි තෝතැන්නක් නිර්මාණය කොට ඇති බව, ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩබ්ලිව්. ජී. එස්. එරන්දික මහතා පැවැසීය.

මෙම යොවුන් පුරයේ සියලු කටයුතු නගර සභාවක් යටතේ පාලනය වන අතර, දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මාර්තු 21 වැනිදා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ තරුණියන් 52 දෙනෙකු අතරින්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි ඉමේෂ් අචලින් විජේසිංහ මහතා නගරාධිපතිවරයා වශයෙන් ද, බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි කේ. ඒ. චාලක සම්පත් මහතා නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් ද, කාරක සභා 10ක් සඳහා ලේකම්වරු ඇතුළු කාරක සභිකයින් 52 දෙනෙකු ද පත්ව ඇත.

මාර්තු 21 වැනිදා සිට දිස්ත්‍රික් මට්ටමින් ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගණය වෙත පැමිණි පෙර ගමන් කණ්ඩායම් විසින් තම තමන්ගේ දිස්ත්‍රික්කවල අනන්‍යතාව තහවුරු වන පරිදි කූඩාරම් ඉදිකිරීම සිදු කළ බව ද ඔවුන් තම තමන්ගේ ආහාරපාන සපයා ගැනීම මෙන්ම, අනෙකුත් අවශ්‍යතා මෙම කූඩාරම් තුළදීම සිදු කර ගන්නා බව ද සභාපති එරන්දික මහතා පැවැසීය.

මෙම තරුණ කඳවුර සඳහා විදේශීය තරුණ තරුණියන් 100 දෙනෙකු ද සහභාගි වන අතර, මෙහිදී අපගේ තරුණ තරුණියන් හට විදේශීය තරුණ තරුණියන් සමඟ ජාත්‍යන්තරික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට ද අවස්ථාවක් උදා වී ඇතැයි ද ඔහු කීය.

මෙවර යොවුන් පුරයේදී තරුණ තරුණියන් හට රැකියා අවස්ථා, අධ්‍යාපනික ප්‍රදර්ශන, මාධ්‍ය කලාප හා මාධ්‍ය වැඩමුළු, අධ්‍යාපනික දේශන, ක්‍රීඩා හා විනෝදාංශ වැඩ සටහන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන යොවුන්පුර ගුවන් විදුලියේ නිවේදක නිවේදිකාවන් ලෙස කටයුතු කිරීමේ අවස්ථා, වීදි නාට්‍ය සංදර්ශන, නවීන මෝටර් රථ ප්‍රදර්ශන, ත්‍රිවිධ හමුදා සංදර්ශන, පොලිස් සංදර්ශන, Youth With Talent ජයග්‍රාහකයින්ගේ සන්දර්ශන, ශ්‍රමදාන හා ගවේෂණ වැනි වැඩසටහන්වලට සම්බන්ධ වීමේ අවස්ථාව ද උදා විය.

මෙහි සමාරම්භක උලෙළ මාර්තු 29 දා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, සමාප්ති උලෙළ අප්‍රේල් 01 දා ප. ව. 5.30 ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

අපගේ නියෝජිතයන් මෙවර යොවුන් පුරය පුරා කළ චාරිකාවලදී ප්‍රධාන ලෙසට පසක් වී ඇත්තේ මෙහි සියලු කූඩාරම් ගොඩනැඟිලි ඒ ඒ දිස්ත්‍රික්කවල සුවිශේෂ භෞතික අනන්‍යතාව හා ආගමික නැඹුරුව පෙන්නුම් කරන බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ කූඩාරමේ සිංහල බෞද්ධ, මුස්ලිම් සියලු ආගමික ස්ථාන ඉදිකර තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාලු කොටුව මෙන්ම මාර්ටින් වික්‍රමසිංහ ගත් කතුවරයාණන්ගේ නි‍ෙවස පිදුරුවලින් රමණීය ලෙස ඉදිකර තිබිණි. අනුරාධපුරය කූඩාරමට රුවන්මැලිසෑය, මිහින්තලය අනුරුව ඇතුළත් විය. අන් සියලු දිස්ත්‍රික්කවලද මේ අයුරින් තම දිස්ත්‍රික්කයට ආවේණික සුවිශේෂ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු අනුව සියලු කූඩාරම් ගොඩනඟා තිබිණි. ඒ අනුව ඒ කූඩාරම් ඇතුළත තම දිස්ත්‍රික්කයෙන් පැමිණෙන සියලු දෙනාට කෑම බීම, නිදා ගැනීමේ පහසුකම් සැපයිය යුතු විය. කෑම බීම සකස් කිරීම සියලුම යොවුන් පුර තරුණ තරුණියන් එක්වන පරිදි වැඩ මුළු ක්‍රමයකට සකස් කර තිබේ. ඒ කටයුතුත් ඉතා සතුටින් ගීත ගායනා කරමින් සිදු කරන අයුරු දක්නට ලැබිණි.

“අපිට යොවුන් පුරයේ ගෙවුණු දින කීපයට ලොකු අත්දැකීම් ගොඩක් එකතු වුණා. අලුත් යාළුවෝ හඳුනාගන්න ලැබුණා. අපිට මේ වගේ දින ආයිත් ජීවිතේදී ලැබේවිද දන්නෙ නෑ. අපි සේරටම හරිම සතුටුයි. ඒත් අපි වෙන් වෙලා යන්නෙ දුකින්.” යොවුන් පුරට එක්වූ තරුණ තරුණියන්ගේ හදවතෙන් නැ‍ඟෙන සුන්දර අදහසයි. ඒ යළිත් මෙවන් යොවුන් පුරයකින් හමුවීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එය සාර්ථක වේවායි අපිත් පතමු.

නිහාල් පී. අබේසිංහ
සේයාරූ - ගයාන් පුෂ්පික 

Comments