
'අද රටේ ආදර්ශ ගත හැකි චරිත නැති වීම සදාචාරය නැති වීමට ප්‍රධාන හේතුවක් වෙලා. සදාචාරය නැති තැන තිබෙන්නෙ අපචාර හා අඝෝචර ක්‍රියාවන්'. මේ මීට මාස කිහිපයකට පෙර සිළුමිණ පුවත්පතට තම අවසන් සම්මුඛ සාකච්ඡාව ලබා දෙමින් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කළ ප්‍රකාශයකි.
මෑත යුගයේ පහළ වූ සංඝපීතෘෘන් වහන්සේ අතර ගිහි පැවිදි කාගේත් දැඩි ගෞරවාදරයට පාත්‍රවූ මහා සංඝ පීතෘෘන් වහන්සේ නමක් ලෙස දවුල්දෙණ ඤාණිස්සර මහානායක හිමියන් හඳුන්වා දිය හැකිය.
ආලෝක මුදියන්සේලාගේ කවිරාල සහ ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ දෙපළගේ පුතකු ලෙස 1915 දෙසැම්බර් 31 වැනිදා දවුල්දෙණ ගම්මානයේ දී උපත ලද මේ කුමරුහට ආලෝක මුදියන්සේලාගේ සිරිබද්ධන නාමය තබන ලදී. එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලේ ඔහු නමවැන්නා විය.
මැදවෙල මහා විද්‍යාලයට සිප් සතර හදාරනු පිණිස පියනැගු සිරිබද්ධන දරුවා ඉඩ ලැබුණු සෑම මොහොතකම විහාරස්ථානයට ගොස් ස්වාමීන් වහන්සේ සමීපව ඇසුරු කිරීම සිරිතක්ව තිබිණි.
පාසල් ගොස් පැමිණ සවස් කාලයේ උමෑලේ සුදර්ශනාරාමය හුරු පුරුදු වූ කුඩා සිරිබද්ධන දරුවා කුඩා සාමණේර හිමිවරුන් සමඟ පාලි හා සංස්කෘත පොත පත හැදෑරීම සිදු කරන ලදී. ඒ ඇසුරෙන් ලද බොදු ආභාසය නිසාදෝ මේ කුමරා සපුගොල්ල තපෝධනාරාමයේ වැඩ සිටි ඌමැලේ පඤ්ඤානන්ද මහ නාහිමියන් සහ ඌමැලේ පියරතන නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1928 මාර්තු 8 වන දා දවුල්දෙණ ඤාණිස්සර නමින් පැවිදි බිමට පත්වූහ.
1932 වසරේදී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව කහවේ ශ්‍රී රතනසාර නාහිමිපාණන් වහන්සේ මුල්කර ගනිමින් විද්‍යෝදය අවසානය දක්වා අධ්‍යාපනය ලබා ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාග සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය හිමිකර ගත්හ. එමෙන්ම 1938 දී උපසම්පදාව ලද උන් වහන්සේ විසින් ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් පළකිරීමට සමත් වූහ.
දවුල්දෙන ඤාණිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සංස්කෘත ග්‍රන්ථ හදාරමින් තම දැනුම වඩා ගැනීම විශේෂිතම කරුණක් ලෙස ගෙන හැර දැක්විය හැකිය.
සංස්කෘත කාව්‍ය නිර්මාණයට පිවිසීම උන් වහන්සේ අතින් වූ තවත් විශේෂිත මෙහෙවරකි. “වෛරාග චින්තා” සංස්කෘත කෘතිය ඤාණිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පළමු සංස්කෘත කාව්‍ය ග්‍රන්ථය යි. එය 1995 දී ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මඟින් ප්‍රකාශයට පත් කරන ලදී..
බුදුරජාණන් වහන්සේ තණ්හා, රති, රගා, මාර දූවරුන් තිදෙනා පරදවා ජයග්‍රහණය කළ ආකාරය දක්වමින් දවුල්දෙණ ඤාණිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් “මාරංගනා විජයම්” නමැති ග්‍රන්ථය 1983 දී ප්‍රථම සංස්කරණය සිදු කර ඇත.
“ධර්ම චින්තා” සංස්කෘත කාව්‍යය දවුල්දෙණ ඤාණිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ලියා ඇති අතර 1983 දී එම ග්‍රන්ථය සංස්කෘතික අමාත්‍යාංශය විසින් මුද්‍රණය කර ඇත.
“යති දූතම්” ග්‍රන්ථය 1987 දී ප්‍රකාශයට පත් කර ඇත.
බුද්ධභක්ති මඤ්ජරී, ‘යශෝධරා කාව්‍යම්’ මහා මහේන්ද්‍ර ක්ෂීණාශ්‍රවගමනම්’ ඇතුළු ප්‍රශස්ති සංස්කෘත කාව්‍ය විස්සකට අධික සංඛ්‍යාවක්ද උන් වහන්සේ විසින් ලියා පළ කර ඇත.
විද්‍යෝදය පිරිවෙනේහි දී හසළ දැනුමක් ලබාගත් උන්වහන්සේ කොළඹ ඕල්කට් විද්‍යාලයට බැඳී ඉංග්‍රීසි, දෙමළ හා චීන භාෂාවන් පිළිබදව හසල අවබෝධයක් ඇති කර ගත්හ.
උන්වහන්සේ ඇටැම්පිටියේ විද්‍යාභූෂණ පිරිවෙනෙහි ආචාර්ය ධුරයක් දරමින් මහරගම සිරි වජිරඥාන ධර්මායතන පිරිවෙනෙහිද ආචාර්යවරයකු ලෙස සේවය කළහ.
මාලඹේ ශ්‍රී රාහුල විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙසත්, එහි නියෝජ්‍ය විදුහල්පති ලෙසත් සේවය කර ඇති දවුල්දෙණ ඤාණිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමන් අධ්‍යාපනය ලද මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ ම ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීමද විශේෂ සිද්ධියක් ලෙස ගෙන හැර දැක්විය හැකිය.
තායිවානයට වැඩමවා චීන භාෂාව හදාළ උන්වහන්සේ තායිලන්තයෙන් ආචාර්ය උපාධියකින්ද පිදුම් ලැබූහ.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය ධූරයෙන්ද, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාමහෝපාධ්‍යාය ධූරයෙන්ද උන් වහනසේ පිදුම් ලැබූහ. උන්වහන්සේගේ ශාසනික, ආගමික ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර ප්‍රචලිත කරමින් තායිවානයේ ළිං සෝම් සහ වුට්හ්වා විශ්වවිද්‍යාලවල මහාචාර්යවරයෙකු ලෙස කළ සේවය නිසා උන් වහන‍්සේ පමණක් නොව සිරිලකම එරටේ දැඩි ගෞරවයට පත් වූහ.
සපුගොල්ල මූල මහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය මෙන්ම පාගොඩ ශ්‍රී විද්‍යාවිජයාරාමය අරඹා උන් වහන්සේ විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය අතිවිශාලය.
නුගේගොඩ පාගොඩ පාරේ භාවනා විවේකාශ්‍රමය පිහිටුවීමෙන් සහ බොරලැස්ගමුව දවුල්දෙන ඤාණිස්සර භික්ෂු ගිලන්හලද පිහිටුවා ඇති උන්වහන්සේගේ ශාසනික හා ආගමික සේවාවේ අනගි ප්‍රතිඵල අතර වේ.
උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ කාරක සභික ධූරයට පත්ව ස්වකීය නිකායේ මහානායක ධූරයෙන් පිදුම් ලද උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියෙන් පිදුම් ලැබූහ. ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් ග්‍රන්ථ විශාරද උපාධියෙන්ද විද්‍යෝදය පිරිවෙන මගින් සංස්කෘත චක්‍රවර්තී හා සුමංගල විද්‍යාවතංස ගෞරව නාමයෙන්ද සම්මානිත වූ උන්වහන්සේ අමරපුර මහා සංඝ සභාව මගින් “භාෂාන්තර විශාරද ජින ශාසන කීර්ති ශ්‍රී” ගෞරව සම්භාවනවට පාත්‍ර කෙරිණි.
ස්‍යාමෝපාලි වංශික ශ්‍රී රෝහණ සංඝ සභාව මඟින් “දෛවි භාෂා විශාරද” ගෞරව නාමයෙන්ද පිදුම් ලද දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ සංඝ සභාව මඟින් ‘සාහිත්‍යසූරී’ සම්මානයෙන්ද උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාව මගින් ‘ත්‍රිපිටකාචාර්ය’ හා ‘මහෝපාධ්‍යාය’ නාමයන්ගෙන්ද ඌව අමරපුර නිකාය, උඩරට අමරපුර මහා නිකාය, ඌව උඩුකිඳ අමරපුර නිකාය, උඩරට අමරපුර සාමග්‍රීර සංඝ සභාව මඟින් ‘ශාසනවංසාලංකාර පරියත්තිධජ’ නාම සම්මුතියෙන් පුදනු ලැබූහ.
අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය මගින් “සංස්කෘත සාහිත්‍ය සරස්වතී” සම්මානයෙන් ද අමරපුර මහා නිකායේ එක්නැලිගොඩ පාර්ශ්වය මඟින් ෂඩ්භාෂා පරමේශ්වර මහා මහෝපාධ්‍යාය නාමයෙන්ද උන්වහන්සේ පුදනු ලැබූහ.
ආසියානු බෞද්ධ සම්මේලනය මගින් ‘සාම රන්පදක්කම’ පුදා උපහාර පුදන ලදී.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මගින් දෛවිභාෂා පරමේශ්වර ගෞරව නාමයෙන් හා බුරුම රජය මගින් අග්ග මහා පණ්ඩිත උපාධිය පුදනු ලැබූහ.
විචිත්‍ර ධර්ම කථික නමක වූ උන් වහන්සේ 'බෞද්ධ දර්ශනය' මැනවින් පහදා දීම උන්වහන්සේගේ දේශනා සම්ප්‍රදාය විය.
බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි දර්ශන මත පදනම් වූ ආගම්වලින් අපේක්ෂා කරන්නේ යහපත් මිනිසුන් තැනීම යැයි නාහිමියන් ලෝක බෞද්ධ මහා සම්මේලනයේදී කළ දේශනය ලෝක ආගමික නායකයන්ගේ පැසසුමට ලක් විය.
ත්‍රිපිටක වාගීශ්වර වූ උන්වහන්සේ ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කිරීමට මහත් දායකත්වයක් ලබා දුන්හ.
රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, එංගලන්තය, ඉන්දියාව, මොංගෝලියාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මියන්මාරය, ඉන්දුනීසියාව, තායිවානය ආදී පෙර අපර දෙදිග රටවල ධර්මදූත සේවාවෙහි නිරත වෙමින් සිදුකර ඇති මෙහෙවර පැසසිය යුතු වේ.
දකුණු කැලිෆෝනියාවේ බෞද්ධ මහා සංඝ සභාවෙන් සාහිත්‍යසූරී සම්මානයත් මොංගෝලියාවේ පැවැති ආසියානු බෞද්ධ සාම සම්මේලනයෙන් ලෝකසාම රන් පදක්කමෙනුත් උන් වහන‍්සේ පිදුම් ලැබූහ.
ආර්ථිකයෙන් පිරිහෙන පුද්ගලයා කුමන හෝ ක්‍රමයකින් තම මඬිය තර කර ගැන්මට උත්සාහ කරන බව පෙන්වා දුන් උන් වහන්සේ අය වැය සමව පවත්වා ගැනීම මහත් සේ අගය කළහ.
මෙය උන් වහන්සේගේ සරල දිවියේ මහඟු ආදර්ශයක් ලෙස පෙන්වා දිය හැකිය.
වයස අවුරුදු 102දීත් සංස්කෘත බස ඉතා හොඳින් හසුරවා සංස්කෘත බසින් කවි ලියන්නට සමත් වූ උන් වහන්සේ පියවි සිහි නුවණින් යුක්තව අපවත් වී වදාළේ චිරාත් කාලයක් තිස්සේ කිසිවකුට හෝ ගැති නොවූ මහා යතිවරයාණන් වහන්සේ නමක ලෙසිනි.