
ලංකාවෙන් පිටවන අවස්ථාවේ පුජා භාණ්ඩ යැයි කියා සංචාරකයන් යොදාගෙන ලංකාවේ අරක්කු හා කරාබු නැටි ආදිය ගෙනයයි. මේවාට ඉන්දීය වෙෙළඳපොළේ තිබෙන්නේ ඉහළ ඉල්ලුමකි. එයින් මඩි තර කර ගන්නා සංවිධායකයෝ ලුම්බිණිය නැරැඹීමට ගොස් පැමිණීමේදී නේපාල දේශ සීමාවේදී විස්කි පහසු මිලකට ලබා ගනිති.
බුදුන් උපන් දඹදිව සියැසින් දැක ගැනීමට බෞද්ධයන් තුළ ඇත්තේ මහත් උනන්දුවකි. මෙලෙස වන්දනාවේ ගිය තුන්දෙනකු පසුගියදා දඹදිවදී මියගිය බව වාර්තා විය. මිය ගිය අයගේ සිරුරු ලංකාවට ගෙන්වා ගැනීමේදී ඔවුන්ගේ ඥාතීහූ ගැටලු රැසකට මුහුණ දුන්හ. මේ සම්බන්‍ධයෙන් විවිධ කතාබහ ඇති විය. සංවිධායකයන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක්විය.
බුද්ධ ශාසන අමාත්‍යංශය පවසන ආකාරයට මෙරට ලියාපදිංචි දඹදිව සංචාර සංවිධාන ආයතන 245කි. මෙයට අමතරව අමාත්‍යංශයේ ලියාපදිංචි නොවුණු සංචාරක සංවිධායක පිරිසක් ද සිටිති. සංවිධායකයන් ලියා පදිංචියේදී බුද්ධ ශාසන අමාත්‍යංශය සැලකිලිමත් වන කරුණු රැසකි. සංවිධායකවරයා අවුරුදු 70ට වඩා අඩු වීම, අවම වශයෙන් පස් වතාවක්වත් දඹදිව ගොස් තිබීම, බුද්ධ ශාසන අමාත්‍යංශයේ වාචික පරීක්ෂණය සමත්වීම සහ ලක්ෂ පහක තැන්පතුවක් තැබිමට හැකිවීම ඒ අතර වේ. වන්දනාවට සහභාගිවන පුද්ගලයන්ට ලක්ෂ තුනක ජීවිත රක්ෂණයක් ලබාදීමට හැකිවීම ඒ අතර ප්‍රධාන ය. ඉංග්‍රීසි භාෂා දැනුම අනිවාර්ය අතර හින්දි භාෂාව පිළිබඳ දැනුම අමතර සුදුසුකමකි. මේ යම්කිසි නීතියකට හෝ පාලකයකුට හෝ පාලනය කළ හැකි දේවල් ය. එහෙත් එයින් ඔබ්බට ගොස් සැඟවුණු කතා ගණනාවකි. ඒවා කලඑළියට එන්නේ කුමන හෝ අවාසනාවන්ත තත්ත්වයක් යටතේ දී ය.
සුපිරි පහසුකම්
දඹදිව වන්දනාව යනු වන්දනාකරුවන්ට ආගමික කටයුත්තකි. සංවිධායකයන්ට ව්‍යාපාරයකි. හැම දෙයක් මෙන්ම එය දැන් කූට ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. සාමාන්‍යයෙන් දඹදිව සංචාරක කාල සීමාව ළඟාවන විට මාධ්‍යයන් හි දැන්වීම් රැසක් දැකිය හැකිය. ඒවායේ තිබෙන තොරතුරු අනුව බැලූවිට කුමන ආයතනයෙන් තමා සංචාරයට සහභාගිවන්නදැයි අයකුට සිතා ගැනීමට නො හැකි තරම්ය. එපමණට ම ආකර්ෂණීය ය. බැලු බැලූ තැන සුපිරි පහසුකම් ය. අඩු වියදම් ය. කිසිම අයකුගේ අඩුපාඩවක් නැත. ඔවුහු සැවොම සංචාරයට විශිෂ්ටයෝ වෙති. දැන්වීම් බැලීමෙන් ඔද්දල් වූ මනසින් යුතුව අයෙක් සංචාරක ආයතනයක් ඇමතුවහොත් ඔවුන් තරම් සුපිරි සේවයක් ලබාදෙන පිරිසක් නොමැති බව ඔවුහූ තවදුරටත් තහවුරු කරති. තවත් සමහර විට අදාළ ප්‍රදේශයේ සිටින සංචාරක සංවිධානයේ නියෝජිතයෙක් නිවෙසටම ගොස් සාකච්ඡා කරයි. එම සාකච්ඡාව අනුව සංවිධායකයන් කරන්නේ පින් කටයුත්තකි. ලාභයට වඩා සේවය ඔවුන්ට උතුම් ය. මේ කතාබහ අවසන්වන්නේ කෙසේ හෝ දඹදිව සංචාරයට පුද්ගලයා කැමති කරවාගෙනය.
සංවිධායකගේ නියම වැඩ ඇරැඹෙන්නේ මෙතැන් සිට ය. දඹදිව දී නොයෙක් පුද පූජාවල නියැළීමට තම සංචාරයේදී අවස්ථාව ලබාදෙන බව ඔවුහු කියති. මෙහි ඇත්තේ අර්ධ සත්‍යයක් වුව ද, මේ සඳහා අවශ්‍ය පුජා භාණ්ඩ ගෙන එන ලෙස ද දැනුම් දෙති. මේ සියල්ල ලබා ගන්නා සංවිධායකයෝ, ඒවායෙන් බොහෝ ප්‍රමාණයක් ඉන්දියාවේදී කළුකඩයට යවති. ලංකාවෙන් පිටවන අවස්ථාවේ පුජා භාණ්ඩ යැයි කියා සංචාරකයන් යොදාගෙන ලංකාවේ අරක්කු හා කරාබු නැටි ආදිය ගෙනයයි. මේවාට ඉන්දීය වෙෙළඳපොළේ තිබෙන්නේ ඉහළ ඉල්ලුමකි. එයින් මඩි තර කර ගන්නා සංවිධායකයෝ ලුම්බිණිය නැරැඹීමට ගොස් පැමිණීමේදී නේපාල දේශ සීමාවේදී විස්කි පහසු මිලකට ලබානිති. එය ලංකාවට ගෙන ඒම ද දඹදිව යන උපාසික උපාසිකාවන් ලවා කරවා ගනිති.
සංවිධානය කරන පිරිසගේ තවත් ආකර්ෂණීය පොරොන්දුවක් වන්නේ සුඛෝපබෝගී නවාතැන් සහ ප්‍රවාහන සේවය යි. අධික උණුසුම, සීතල, දූවිල්ල, කර්කශ පරිසරය මේ සියල්ල ඉන්දියාවට එක සමානව උරුම ය. එවැනි රටක සංචාරයට මේ ව්‍යාපාරිකයන් පෙන්වන තරම් සුඛෝපබෝගී බස් සේවයක් උරුම වන්නේ නැත. සුඛෝපබෝගී බස් රථ සේවාව කෙසේ වුව ද අව්වෙන් වැස්සෙන් පවා ආරක්ෂා විය නොහැකි බස් රථවල නැඟී කර්කශ ගමනක යෙදීමට වන්දනාකරුවන්ට සිදුවේ. මේ ගමන තවත් වේදනාකාරී වන්නේ එක දිගට දින දෙක තුනක් ගමන් කිරීමට සිදුවීමෙනි. එහිදී දිවා කාලයේදී කාලය කා දමමින් ගත කරන මේ පිරිස එක දිගට රාත්‍රී ගමන් යොදා ගනිති. එයට හේතුවන්නේ හෝටල් ගාස්තු ඉතිරි කර ගැනීමට ඇති හැකියාව ය. මෙවැනි ගමන් නිසා සමහර මාසයක් පමණ වන සංචාරයකදී වන්දනාකරුවන්ට නිදා ගැනීමට ලැබෙන්නේ දින 10-12ත් අතර කාලයකි. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ බස් රථ රියදුරන් විඩාවට පත්වීම සහ ඔවුන‍්ගේ නොසැලකිලිමත් ධාවන රටාවයි. මේ නිසා වරක් ලාංකිකයෝ පිරිසක් ඉන්දියාවේදී දරුණු බස් අනතුරකට ද ලක් වූහ.
එහිදී නිදාගැනීමට ලැබෙන්නේද ඔවුන් පොරොන්දු වූ පරිදි සුඛෝපබෝගී හෝටල්වල ද නොවේ. සමහරවිට නිදා ගැනීමට ලැබෙන්නේ ඉන්දියාවේ මණ්ඩපම්, මන්දීර් ආදි ලෙස සැලකෙන පහළ මට්ටමේ නැවතුම් පොළවල ය. මේ ස්ථාන අධික අපිරිසුදු ය. දුම්රිය ගමන් ද මෙයට ම සමාන ය. නියමිත ප්‍රමාණයට ආසන වෙන්කර ගැනීම සිදුවන්නේ නැත. තවත් විටක සිටින පිරිසෙන් අඩු පිරිසකට පමණක් ආසන වෙන්කරති. මේ නිසා සිදු වන්නේ දින ගණනක් යන දීර්ඝ සංචාර අධික අසීරුතා මැද ගමන් කිරීමට සිදුවීම ය.
මේ තක්කඩි සංවිධාකයන් කෙතරම් කූඨ ද යන්න හොඳින් ම පෙනෙනුයේ, ආහාර පාන ලබා දීමේදී ය. බොහෝ ආහාර වේල් ඉතා පහත් මට්ටමේ පවතී. ඉන්දියාවේ දි අල සහ පරිප්පු යනු ඉතා ලාභයට ලබාගත හැකි ආහාර ය. ඉන් අල සහ ගෝවා මල් නම් ගෝනි ගණනින් අඩු මිලට ගත හැකිය. මේ නිසා ම වන්දනාකරුවන්ට සෑම කෑම වේලකම අල හා ගෝවා මල් වරදින්නේ නැත.
නේපාල සීමාව
පොරොන්දු වූ පරිදි දඹදිව සියලු ස්ථාන වන්දනාමාන කිරීමට ලැබෙනවා නම් මේ කුමන දුෂ්කරතාවකට සැදැහැතියන් ලක් වුවද කමක් නැත. එහෙත් එසේ වන්නේ ද නැත. ලුම්බිණිය පිහිටි නේපාලයට චෙන්නායිහි සිට කිලෝමිටර 2000ක් පමණ තිබේ. මේ දුර ගමන කෙසේ හෝ වළක්වා ගන්නට පුළුවන් වීම සංවිධායකයන් ගේ විශාල ආර්ථික ජයග්‍රහණයකි. එ් සඳහා හැම ගැටයක් ම ගැසීමට සංවිධායකයෝ උත්සාහ ගනිති. මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් කාන්තාවක වරක් පැවසුවේ තුන් වරක් තමා දඹදිව සංචාරයට එක්වු නමුදු තමාට ලුම්බිණිය දැක ගැනීමට නොහැකිවීමයි. තවද නේපාල සීමාවේදී ලාංකිකයන්ට සහන රැසක් ලැබේ. ඒ අනුව නේපාල සීමාවේදී මුදල් අය කිරීමක් සිදුවන්නේ නැත. එහෙත් සංවිධායකවරු දේශ සීමාවේදී විශේෂ ගාස්තු අයකරන බව කියමින් මුදල් එකතු කරති. නේපාලයේදී පමණක් නොව චෙන්නායිහිදී ද මෙලෙස සංවිධායකවරු මුදල් වංචා කරති.
මේ මුදල් ගරා ගැනීම මෙතැනට පමණක් සීමා වී නැත. මුදල් හුවමාරුවේදී විශාල ලෙස සිදුවේ. විශේෂයෙන්ම වන්දනාකරුවන් ඉංග්‍රීසි භාෂාව නොදැනීම නිසා එයින් ලියකියවිලි සඳහා මුදල් ගැරීමක් සිදුවේ. තව ද ගමන් සංවිධායකයන් ඩොලර් ඉන්දියානු රුපියල්වලට හුවමාරු කිරීමේදී රජයේ අනුමත ස්ථාන කරා වන්දනාකරුවන් ගෙන යන්නේ නැත. ඒ වෙනුවට කළුකඩකාරයන් ළඟට ගෙනගොස් සූරාකති. සමහර සංවිධායකයන් තම වන්දනාකරුවන් සතු සියලු මුදල් එකතු කරගෙන ඉන්දියාවේදී ම පලාගිය අවස්ථා තිබේ. එමෙන් ම සංචාරය සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස දන්වා මඟහැරි අවස්ථා ද රැසක් වාර්තාවේ.
එමෙන් ම දුම්රියෙන්, බස් රථයෙන්, මෙන්ම ගුවන්යානයෙන් ගමන් කර අවසානයේ ගමන් මලු ගෙන යෑමට සිදුවන්නේ ද වන්දනාකරුවන්ට ය. එහෙත් සංවිධායකයන් කියන්නේ තමන් ඒ සඳහා පෝටර්වරුන් යොදා ගන්නා බවය. කලාතුරකින් පමණක් එවැනි දර්ශනයක් දැකගත හැකි වුවද වැඩි වශයෙන් සිදුවන්නේ බොහෝ වයෝවෘද්ධ වන්දනාකරුවන් ද ඉතා අපහසුවෙන් තම ගමන් මල්ල ඔසවාගෙන යෑම ය. නොයෙක් රෝගාබාධ තිබෙන අය, විශේෂයෙන් ම ඇදුම, හෘදයාබාධ තිබෙන අයට මෙය බොහෝ හානිකරය. සමහර පිරිස් කලන්ත වී ඇද වැටුණු අවස්ථා ද තිබේ.
යම් අයකුට රෝගාබාධයක් වැලඳුණොත්, අසල සිටින අඩු වියදමින් බෙහෙත් ලබාගත හැකි තැනකට රෝගියා ගෙන යති. යම්කිසි හෙයකින් මේ සංචාරය අතරතුර වන්දනාකරුවකු මියගියහොත්, සංවිධායකට බාරදූර කාර්යක් වේ. එය ද වාසියට හරවා ගන්නා අවස්ථා නැත්තේ නොවේ. සාමාන්‍යයෙන් ඉන්දියාවේ සිට ලංකාවට මළ සිරුර ගෙන යෑමට ලක්ෂ තුනක් වැය වේ. එසේ වුවහොත් සංවිධායකගේ ශුද්ධ ලාභයට මරු පහරක් වදී. එයින් ගැලවීමට ඔහු යොදා ගන්නා එක් ක්‍රමයක් වන්නේ ඉන්දියාවේ දී ආදාහනය කිරීමට අවස්ථාව ලබා ගැනීම ය. එයින් පසුව අළු සෙම්බුවක දමා ඥාතීන්ට බාර දීම සිදු කරයි. ඒ කාර්ය සංවිධායකයනට හැම අතින් ම ලාභදායක ය.
සහචරයෝ
ඇතැම් සංවිධායකවරු සාප්පු සවාරි ද තම මඩිය තරකර ගැනීමට යොදා ගනිති. ඔවුන් වන්දනාකරුවන් රැගෙන යන්නේ තමන් පෙර ගමන්වලදී හඳුනාගත් වෙළෙඳුන් කරාය. ඉන් ලැබෙන සංතෝසම් මුදල ද සුළු පටු මුදලක් නො වේ. බොහෝ පිරිසකට මේ ගමන ගැන අත්දැකීම් නැත. එමෙන් ම දිගින් දිගට ම තමන් පීඩාවට පත් වුව ද, ඒ ගැන මිනිසුන් කතා කරන්නේ නැත. එයට හේතු කිහිපයක් තිබේ. ඒ වැදගත් ගමනක් යෑමේදී කට වරද්දවා ගැනීමට සමහරුන් බියවීමය. යම්කිසි අයෙක් මේ ගැන කතාකළොත් ඔහුට අවශ්‍ය පිළිතුරු ලබාදීමට සූදානම් කෙරුණු සහචරයෝද සංවිධායකට සිටිති. මෙලෙස ලංකාවේදී ගුවන්තොටුපොළෙන් බසිනතාක් කල් වන්දනාකරුවෝ හැම අතින් ම සූරාකෑමට ලක්වෙති.
සාමාන්‍යයෙන් දඹදිව සංචාරයේ යන කාල සීමා තිබේ. ජනවාරි සිට මාර්තු දක්වාත්, අගෝස්තු සිට නොවැම්බර් මුල දක්වාත් මේ කාල යෙදී ඇත. බුද්ධ ශාසන අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛන අනුව ගිය වසරේ පමණක් 50,000ක පමණ පිරිසක් දඹදිව ගොස් ඇති අතර, මේ වසරේ මේ වන විට 16,000කට ආසන්න පිරිසක් දඹදිව වන්දනාවේ ගොස් තිබේ. නිල නොවන වාර්තාවලට අනුව ලක්ෂයක් පමණ වාර්ෂිකව දඹදිව සංචාරයේ යෙදෙති. මේ පිරිස් යැවීමේදී මේ කරුණුවලට අමතරව දැනුම්වත් විය යුතු කරුණු රැසක් තිබේ. එනම් ඉන්දියාවේ දේශගුණ තත්ත්වය, වන්දනාකරුගේ සෞඛ්‍ය තත්ත්වය එහිදී වැදගත් ය. ඉන්දියාව යනු විශාල භුමියකි. එහි ප්‍රදේශයක් දැඩි උණුසුමින් පීඩා විඳින විට, අනෙක් ප්‍රාන්තය දැඩි සීතල නිසා පීඩාවට පත්වේ. මෙවැනි තත්ත්ව සහ ඒවාට සූදානම් විය යුතු ආකාරය සහ පුද්ගලයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ව්‍යාපාරයක් ලෙස අධික ලාභයයක් ඉපයීමට යෑම නිසා මේ තත්ත්ව ගැන සැලකිල්ලට ගැනීමක් සිදුවන බවක් නොපෙනේ.
බුදුන් උපන් දේශයට ගොස් උන්වහන්සේ වැඩ විසූ තැන්වල මොහොතක් හෝ රැදී සිටීමේ ආශාවක් බෞද්ධයන් තුළ තිබේ. මෙය පුදුමයක් නො වේ. බෞද්ධයකු දැක පහන් සංවේගය උපදවා ගත යුතු තැන් කිහිපයක් පිළිබඳ බුද්ධ දේශනාවේ සඳහන්ය. බුදුන් උපන් තැන, බුදුවූ තැන, පළමු ධර්ම දේශනාව පැවැත්වූ තැන, පිරිනිවන් පෑ තැන යන ස්ථාන හතර ගැන සාහිත්‍යයේ සඳහන් වේ. දඹදිවට ඇති මේ භක්තිය නිසා ම සමහරු දඹදිව යන්නේ ජීවිත කාලය පුරාවට ම ඉතා දුක් මහන්සියෙන් හම්බ කරගත් මුදල එක්කහු කරගෙන ය. නොකා නොබී ය.
රජයේ සේවකයකු නම් වසර ගණනාවක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසු ලැබෙන සොච්චම් මුදලින් කීයක් හෝ ඉතිරි කරගෙන ය. මේ අතර තමා තරුණ අවදියේ පැලැඳි කණකර උගසට තබන පිරිස් ද සිටිති. මේ සියල්ලට ම අමතර ව දඹදිව යෑමට තරම් ආර්ථික ශක්තියක් නොමැති පිරිසක් ද සිටිති. ඔවුහූ තමා අතේ තිබෙන කීයක් හෝ මුදලක් දඹදිව යන තම හිතවතකුට පඬුරු වශයෙන් ලබා දෙති. දඹදිවදී පූජනීය කටයුත්තකට යොදා ගන්නයැයි කියා සාදු!සාදු! කියති.
සමාජ ක්‍රමය
අප මේවා වැරැදි ලෙස දකින්නේ නැත. ඒ සමහර විට ජීවිත කාලය පුරාවට ම තම දූ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින්, දුක් විඳි බොහෝ මවුපියන් ලබන එකම සතුට මෙය වන නිසා බැවිනි. එහෙත් අවාසනාව නම් මේ අහිංසක මිනිසුන්ගේ මුදල සූරාකෑමට බලා සිටින තක්කඩි සංචාරක ව්‍යාපාරිකයන්ට හසුවීමය. පවතින සමාජ ක්‍රමය තුළ පින් බලාගෙන වැඩ කිරීමට හැමෝම කැමති වන්නේ නැත. එසේ වනවා නම් එය ද ඇඟේ අමාරුවකි.
එය එසේ විය යුතු නැත. විය යුත්තේ තම ව්‍යාපාරය තුළ කළ හැකි උපරිම සාධාරණය කිරීම ය. එහෙත් ආගම මුලට දමා කටයුතු කරන මේ සංචාරක ව්‍යාපාර බොහොමයක හිමිකරුවන් ගේ ක්‍රියාවලිය ආගම්වල කියැවෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා අසලකවත් ගෑවිලාවත් නැත. මෙහි වඩාත්ම අවාසනාවන්ත තත්ත්වය ඇතැම් භික්ෂූන් වහන්සේ ද මෙය ලාභදායි ව්‍යාපාරයක් කරගැනීමට වෙර දැරීමය.
මලික් චමින්ද ධර්මවර්ධන