ගමක් හැදූ සමන්ගේ ලෝකයම දැන් අඳුරුයි! | සිළුමිණ

ගමක් හැදූ සමන්ගේ ලෝකයම දැන් අඳුරුයි!

 උසස් පෙළ එහෙමත් නැත්තං සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී සිටියායින් පස්සෙ තරුණ කොල්ලො මිටෙන් මුදාහළ කුරුල්ලො වගේ ඉගිල්ලිලා යන්නෙ. ඒත් පොලොන්නරුවේ ඉතා දුෂ්කර ගමක තරුණයෙක් උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පස්සෙ එයාට පහළ වුණේ වෙනත් අදහසක්. ගමේ නංගිලා මල්ලිලාට දියුණු වෙන්න හරි මාර්ගයේ යන්න දහම් පාසලක් පිහිටුවන්න එයාට ඕන වුණා. එයා ඒකට මුල පිරුවා; ගමේ පන්සලේ නායක හාමුරුවන්ටත් කතා කරල දහම් පාසලක් පටන් ගත්තා. මේ තරුණ කොලු ගැටයා තමයි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය බාර ගත්තේ. අවුරුදු එකහමාරකට පස්සෙ දහම් පාසල ලියාපදිංචි කරා.

මේ විදිහෙ සමාජ සේවයක් සිදු කරපු මේ තරුණයාට උසස් පෙළ ප්‍රතිඵල සම්මාන 4ක් එක්කම ලැබුණා. පොලොන්නරුවේ සෙවණපිටිය ප්‍රදේශයේ බොරවැව කියන දුෂ්කර ගම්මානයේ දරුවෙකුට ඒ වගේ ප්‍රතිඵලයක් ලැබුණා කියන්නේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ දෙයක්. සමුපකාර සමිතියේ කළමනාකාර තනතුරක් රැකියාව වශයෙන් ලැබුණත් ගොවිතැන අමතක නොකළ මේ තරුණයා නමින් 'සමන් විජේසිංහ' යි.

"ඉස්කෝලෙ යන කාලෙ හවසට ග්‍රාමාරක්ෂක සේවයේ යෙදෙන්නත් මට සිද්ධ වුණා. කොටි ත්‍රස්තවාදීන් අපේ ගමට දෙතුන් වතාවක් ප්‍රහාර එල්ල කළා. කොහොම වුණත් අපි ගම්බිම් දාල ගියේ නැහැ; පුළුවන් විදිහට ගමත් රටත් රැක ගත්තා."

සමන්ගේ සමාජ සේවයට ඇති කැප වීම නිසාම ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති ධුරයත් බාර ගන්න සිද්ධ වුණා. මේ අතරේ සෙවණපිටියේ චන්දිමා ද සිල්වා මෙණෙවිය සමඟ විවාහ වුණු සමන්ට දරුවන් තුන් දෙනකුගේ මුහුණ බලන්න වාසනාව උදා වුණා. ඉහළ වැටුප් ලබන්න පුළුවන් රැකියා කිහිපයක්ම ලැබුණත් ගම දාල යන්න සමන් කැමැති වුණේ නැහැ. ගමේ සමාජ සේවා කටයුතුවලට අත-හිත දෙනඑක සමන්ට ඊට වඩා වැදගත් වුණා.

ඔය අතරේ සමන්ගේ රැකියාවේ උසස් වීමක් ලැබුණා. වාණිජ කළමනාකරු ලෙස ඔහුට සේවය කරන්න සිදු වුණා. ඒ අතරේ සමන්ගේ මේ සමාජ සේවා නිසා එයාට සාම විනිසුරු පදවියක් ලැබුණා. ඒ පදවියත් ගමේම සමාජ සේවයට ඔහු යොදාගත්තා.

ඔය අතරේ සමන්ට ඉඳ-හිට ඔළුවේ කැක්කුමක් හැදෙන්න පටන් ගත්තා. මොන වැඩේ කරන්නත් සමන්ට මේ හිසරදය මහ බරක් - කරදයක් වුණා.

ඔහු වෛද්‍යවරුන් හමු වෙන්න ගියේ බැරිම තැනයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශය නිසා එයා පොලොන්නරුවෙන් මහනුවර රෝහලට ගිහින් ස්කෑන් පරීක්ෂණ පවා කළා. අවසානයේදී වෛද්‍යවරුන් පැවසුවේ සමන්ගේ මොළයේ කුඩා කල සිටම වර්ධනය වූ ගෙඩියක් තිබෙන බවයි. මේ නිසා සමන්ට ස්නායු සම්බන්ධව දැඩි අපහසුතාවක් තිබෙන බවත් වෛද්‍යවරුන්ගේ මතය වුණා.

අසනීපය උත්සන්න වෙන කොට සමන්ට තම රැකියාවෙන් පවා ඉවත් වෙන්න සිද්ධ වුණා. ආදායම් මාර්ගය පවා ඇහිරී ගියා.

මේ සඳහා ශල්‍යකර්මයත් කළ යුතු බවයි වෛද්‍ය මතය වුණේ. පළමු ශල්‍යකර්මය කරා. එයින් පසුව සමන්ගේ වම් ඇස සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න සිදු වුණා. ක්‍රමයෙන් අනෙක් ඇහේත් පෙනීම අඩු වුණා. 2016 අවුරුද්ද වෙන කොට සමන්ට මේ ලෝකේ දිහා බලන්න තියෙන වරම් අහිමි වුණා.

"කොරේ පිටට මරේ කියන්නා‍ වගේ මගේ අම්මත් මේ ලෝකෙ දාල ගියා. අම්ම නැති වුණාට පස්සෙ තාත්තා වෙනස් වුණා. ඒ නිසා ඒ ගෙදර ඉන්න බැරි තත්ත්වයක් ආවා. පස්සෙ මමයි, නෝනයි, දරුවො තුන්දෙනයි ලොකු නංගිගෙ ගෙදරට ආවා. එයා හබරණ මහත්තයාගේ ගෙදර ඉන්නවා. ඒත් එයාටත් දරුවන් තුන්දෙනෙක් ඉන්න නිසා මේ ගේ ඉක්මනට දෙන්න ඕන. මටත් දැන් කිසිම ආදායම් මාර්ගයක් නැහැ. මම හම්බ කරල ඉතිරි කරපු කිසිම දෙයක් නැහැ. වැටුපෙන් පුළුවන් තරම් අනෙක් අයගේ සේවයට තමයි විය-පැහැදම් කෙළේ.

"ලොකු දුව නිපුනිගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවා. එයා ඉහළින්ම පාස් වෙලා තියෙන්නේ. කොහොමටත් එයා හැමදාම පන්තියෙ දෙවැනියා. දැන් එයාගේ උසස් අධ්‍යාපන කටයුතු කරගන්නෙ කොහොමද කියනඑක ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ. දෙවැනි දුව අශානි මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගෙට ලියනවා. එයත් හැමදාම පන්තියෙ මුල් පස් දෙනා අතර ඉන්නේ. බාලම පුතා හිමාෂ. එයා මේ අවුරුද්දේ පාසලට බාර දුන්නේ. මේ දරුවො තුන් දෙනාගෙ අනාගතේ ගැනයි මට ලොකු බයක් තියෙන්නේ.

“නෝනට ගෙදරින් එළියට බැහැල රස්සාවක් කරන්න යන්න විදිහක් නැහැ. මගේ සේරම වැඩකටයුතු කරන්න වෙලා තියෙන්නෙ එයාට. මගේ දැන් මුළු ලෝකෙම කළුවරයි. මේක මම ගිය ආත්මෙ කරපු පවක් වෙන්න ඇති. මේ ආත්මෙ නම් මම කුරා-කූඹියෙකුටවත් වරදක් කළේ නැහැ. කරන්න පුළුවන් උපරිම විදිහට සමාජයට සේවය කළා.

“මම හින්ද අනෙක් සේරම අයගේ වැඩ කටයුතුවලටත් බාධා ඇති වෙලා තියෙන්නේ. මට බේත් ගන්න නුවර මහ ඉස්පිරිතාලෙට යන්න ඕනෑ. ඒ යන ගමන බස් එකේ යන්න බැහැ. මගේ අසනීප තත්ත්වය උඩ පොදු වාහනවල යන්න එපා කියල තියෙන්නේ. යන්නත් අමාරුයි. වෙනම වාහනේක මට යන්න වෙන්නේ. ඒකට යන වියදම අපට දරන්න බැහැ. එක කාලයක් තිබුණා මාසෙට දෙපාරක් විතර යන්න වෙනවා.

“අක්කල අයියල තමයි ඒ අයට පුළුවන් විදිහට අපට උපකාර කරන්නේ. ඒත් මං හින්ද ඒ අයත් දැන් ආර්ථික වශයෙන් අපහසුතාවට පත් වෙලා. මේ ගෙදරට නංගිට එන්න විදිහක් නැහැ මම ඉන්න හින්ද. පන්සලේ හාමුදුරුවන්ගේ ඉල්ලීමක් පිට නැඟෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙන් මට ගෙයක් හදනව කියල කිව්ව. එහෙම වුණොත් මට නංගිට මේ ගේ දීල යන්න පුළුවන්. ඒත් මේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවන්නේ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ."

සමන් තරුණ අවදියේ සිටම ආගමට දහමට සමාජ සේවයට ළැදි වූ අයකු වුවත් පෙර කරන ලද කුමන හෝ අකුසලයක් නිසාදෝ අද වන විට දැඩි දුක්ඛදායක තත්ත්වයකට පත්ව සිටී. තනිව කිසිවක් කර-කියාගන්නට නොහැකිවාක් මෙන්ම දරුවන් තිදෙනාගේ අනාගතයට දැඩි අවදානමකට පත්ව තිබීම ඔහුට තවත් මහා බරක් බව අපට පෙනී ගියේය. සමන්ගේ නිවාස ප්‍රශ්නයට විසැඳුමක් ලෙස මහවැලි අධිකාරියේ අවසරය මත සෙවණපිටියේ ලබාගත් බිම් කැබැල්ලක යුද හමුදාවේ දායකත්වයෙන් නිවෙසක් තනමින් තිබේ. මහනුවර ප්‍රදේශයේ පිළිකා සංගමයක නිලධාරි මහතෙක් මේ වන විට සමන්ට අවශ්‍ය ඖෂධ ලබාගන්නට දායකත්වය සපයයි. එසේ වුවත් සමන්ගේ දරු-දැරියන්ගේ අධ්‍යාපනයට අඳුරු සෙවණැලි වැටෙමින් පවතී. දක්ෂකමින් සපිරි මේ දරු-දැරියන් තිදෙනාට අනාගතය සරු කරගන්නට උදවු-උපකාරයක් කරන්නට හැකි අයෙකු ඉදිරිපත් වුව හොත් එය යම් පමණකට හෝ ඔවුන්ට අස්වැසිල්ලක් වනු ඇත.

තාරක වික්‍රමසේකර
සේයාරූ - රුක්මාල් ගමගේ

Comments