
ඉදිරි පළාත් පාලන මැතිවරණ පළාත් සභා මැතිවරණ ශ්‍රීලනිපයේ නව සැලසුම් සහ තවත් දේශපාලන කරුණු පිළිබඳ පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා සමඟ කළ කතාබහකි.
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන්නේ කවදාද මැතිවරණය මෙතරම් ප්‍රමාද වන්නේ ඇයිද යන්න ගැන දිගින් දිගටම සමාජය තුළ කතාබහ ඇති වුණි. මෙයට එක් එක් කණ්ඩායම් විවිධ අර්ථ කථන ලබා දුන්නේය.
සමහරුන් කීවේ ආණ්ඩුව මැතිවරණය ගැන ඇති කරගත් බිය නිසා මැතිවරණය කල් දමන බවය. තවත් අය කීවේ ශ්‍රීලනිපයේ අප මැතිවරණයට මුහුණ දීමට මැළිකමක් දක්වන බවය.
එහෙත් සැබෑ කරුණ වූයේ එය නොවේ. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධූරයට පත්වූයේ රටේ දේශපාලන සහ සමාජ වෙනසක් සිදු කිරීමටය. ඔහුට බලය දුන් ජනතාව බලාපොරොත්තු වූයේ රට තුළ තිබු පැරැණි ක්‍රමය වෙනුවට නූතනවාදී ප්‍රවේශයක් ලබා ගැනීමය. මැතිවරණ වේදිකාවේ නැෙඟන බලවත්ම සටන් පාඨයක් වූයේ මැතිවරණ ක්‍රමය වෙනස් කර කොට්ඨාස සහ කේවල ක්‍රමය ඇතුළත් නව ක්‍රමයක් නිර්මාණය කිරීමය. එය මහ මැතිවරණවලට ආදේශ කිරීමට වඩා පළාත් පාලන මැතිවරණයක දී ආරම්භ කිරීම වඩා සුදුසුය. පසුගිය කාලයේදී පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ වෙනසක් සඳහා නීති ස්ථාපිත කර තිබුණ ද එහි සීමා නිර්ණය කිරීම් ගැන තිබුණේ විවාද සම්පන්න තත්ත්වයකි.
එයට විවිධ හේතු බලපෑවද මෙවැනි විවාද සම්පන්න තත්ත්වයකදී මැතිවරණයක් පවත්වනවාට වඩා සියල්ලටම සාධාරණත්වයක් ගෙනදීම සඳහා අවශ්‍ය සංශෝධන ඇති කර මැතිවරණය පැවැත්වීම අතිශය වැදගත්ය. අපට අවශ්‍යව තිබෙන්නේ සියලු දෙනාට සාධාරණය සිදුවන ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමය. ඒ හැර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාදයට වෙනත් දේශපාලන හේතුවක් නැත. එහෙත් සමහර පාර්ශ්ව මෙයට දේශපාලන අර්ථයක් ආරෝපණය කිරීමට උත්සාහ කිරීම කනාගාටුවට කරුණකි. පසුගිය කාලය තුළ නිකරුණේ කාලය ගත වීමක් සිදු නොවූ අතර මැතිවරණ ක්‍රමය සහ සීමා නිර්ණ නැවත සකස් කිරීම සඳහා මේ කාලය ගත විය. සමහර වකවානුවල දේශපාලන තීන්දු නිසා මැතිවරණ කල් දැම්ම ද අපට එවැනි කිසිදු අරමුණක් නැත.
අපට අවශ්‍ය කරන්නේ කිසිවකු පාගා දැමීමට හෝ අසාධාරණයක් කිරීමට නොව සියලු දේශපාලන පක්ෂ සහ සියලු ජන කණ්ඩායම්වලට සාධාරණ ලෙස මැතිවරණ ක්‍රමය නිර්මාණය කිරීමය. පසුගිය කාලයේදී පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සිදු කළද එහි දුබලතා රැසක් තිබූ අතර එයට එරෙහිව ලැබුණ පැමිණිලි මඟින් එය තහවුරු කර ගත හැකිය.
ඇතැම් සුළු පක්ෂ සහ කණ්ඩායම් තමන්ට මෙම ක්‍රමය මඟින් අසාධාරණයක් වන බවට සඳහන් කරන නිසා ඒ ගැන අවධානය යොමු කිරීමට රජය කටයුතු කර ඇති අතර ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ ගැන විශේෂ අවධානය යොමු කර කටයුතු කරනු ලබයි. මෙම සියල්ල ඉතා ඉක්මනින් සිදු කිරීමට කටයුතු කර තිබෙන අතර එනිසා මැතිවරණයේ කිසිදු ප්‍රමාදයක් ඇති වීමට හේතුවක් නැත.
පළාත් පාලන ඡන්ද ක්‍රමය යනු ප්‍රාදේශීය දේශපාලන නායකත්වයක් ගොඩ නැඟීමය. එය රටකට අත්‍යවශ්‍ය දෙයකි. එමෙන්ම කාන්තා නායකත්වයක් ගොඩ නැඟීමද සිදු විය යුතුය. විදේශයන්හි පාර්ලිමේන්තු තුළ කාන්තා නියෝජනය ඉහළ තැනක ඇති අතර එය මෙරටදී පහළ අගයක් ගෙන තිබේ. එය දියුණු දේශපාලනික ලක්ෂණයක් නොවේ එනිසා අපද කාන්තා දේශපාලන නියෝජනය ඉහළ නැංවිය යුතුය. එයට ආරම්භයක් ලබා දිය යුත්තේ පළාත් පාලන දේශපාලනය තුළිනි. සියයට විසි පහක කාන්තා නියෝජනයක් ඇති කිරීම, තරුණ දේශපාලන නියෝජනය ඉහළ නැංවීම ඇතුළු කාරණා නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ අන්තර්ගතව තිබේ.
එයට පාර්ලිමේන්තුවේද කැමැත්ත පළවී තිබේ. එයද ඇතුළු තවත් සංශෝධන කිහිපයක්ද සිදු කිරීමට නියමිත අතර මේ සියලු දේ ඉතා කඩිනමින් සිදු කිරීමට කටයුතු කර තිබේ. එනිසා පළාත් පාලන මැතිවරණය කල් දමා ඇත්තේ දේශපාලන හේතුවකට නොව ප්‍රායෝගිකව විසඳා ගත යුතු ගැටලු විසඳා ගෙන වඩාත් සාධාරණ හා ජනමතය වඩාත් පළල් ලෙස නියෝජනය වන මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමේ අරමුණෙනි.
ඇති කර ඇති නව ඡන්ද ක්‍රමය මඟින් ප්‍රධාන දේශපාලන පක්ෂවලට පමණක් වාසි සැලසෙන බවට බොරු මතයක් සමාජගත කිරීමට ඇතැමුන් උත්සාහ ගත්තද කේවල සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමය මගින් ප්‍රධාන දේශපාලන පක්ෂවලට මෙන්ම විකල්ප අදහස් දරන දේශපාලන පක්ෂවලටද නියෝජනයක් ලැබේ. විකල්ප අදහස් දරන දේශපාලන පක්ෂවල නියෝජනය අත්‍යවශ්‍ය කරුණක් ලෙස අප විශ්වාස කරන අතර අපට සැමගේ මතවාද ප්‍රතිමතවාද සියල්ල අවශ්‍ය කරුණක් ලෙස සඳහන් කළ යුතුය.
දැන් සියල්ල අවසාන අදියරට පැමිණ ඇති අතර ආයතනවලට පත්වන මන්ත්‍රී සංඛ්‍යාව වැනි කරුණු ඇතුළත් කරුණු නිරාකරණයත් සමඟ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය සියලු නීතිමය කරුණු සපිරෙන අතර ඉතාමත් නුදුරේදී මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබී තිබේ.
ජනාධිපතිතුමා රුසියානු සංචාරයට පෙර මා වෙත ලබා දුන් උපදෙස වූයේ ඉතා කඩිනමින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය කරුණු සම්පූර්ණ කරන ලෙසය. පළාත් පාලන සංශෝධන පනතද ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එයට අවශ්‍ය සංශෝධන දැන් සකස් කරමින් තිබේ. නීති උපදේශ ලැබුණු පසු කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු සුදානම් කර තිබේ. මේ සියලු කරුණු සපිරීමට වැඩි කාලයක් ගත නොවන අතර ඉන්පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට ඉඩ ලැබෙනු ඇත.
මේ වන විට කතා බහට ලක් වෙමින් ඇති අනෙක් කරුණ වන්නේ නිල කාලය නිමා වීමට නියමිතව ඇති පළාත් සභාවල මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද යන්න ගැනයි. මෙම පළාත් සභා මැතිවරණ නියමිත කාලයට නියමිත ලෙස පැවැත්වීමට නියමිතව ඇති අතර අප අමාත්‍යංශය මේ ගැන අවධානය යොමු කර අවශ්‍ය කටයුතු සම්පාදනය කරන අතර මැතිවරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් ආරක්ෂා වේය යන්න යන්න අපගේ අදහසයි. පළාත් සභා සහ පළාත් පාලන ආයතන ශක්තිමත් වීම යනු රටේ ප්‍රාදේශීය සංවර්ධනය වර්ධනය වීමක් වන අතර ප්‍රාදේශීය නියෝජනයද ශක්තිමත් වීමකි.
මෙම ඕනෑම මැතිවරණයකට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සූදානම්ව සිටින අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා දී තිබේ. තරුණ පෙරමුණු කාන්තා පෙරමුණු ශක්තිමත් කරමින් ප්‍රාදේශීය තලයේ පක්ෂය සවිමත් කරමින් අප පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස සවිමත්ව තිබෙන අතර ඉදිරි මැතිවරණයේදී අපට ඒ සඳහා සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබී තිබේ. දැන් යළිත් පක්ෂය පක්ෂයක් ලෙස ශක්තිමත්ව ඉදිරියට යෑම සතුටට කරුණකි. ජනපති නායකත්වය තුළ පක්ෂයට ජනතා ආකර්ෂණය නැවත ලැබෙමින් තිබීම සතුටට කරුණකි.
රට තුළ වෙනසකට මුල පිරූ ජනපති ප්‍රමුඛ රජය මේ වන විට සාර්ථක ගමනකට එළඹ ඇති අතර කෙමෙන් ආර්ථික, දේශපාලන සහ සමාජ ඉලක්ක සපුරමින් සිටී.
අපගේ ජාතික රජයේ ඉලක්කය වන්නේ 2020 වන විට අප අපේක්ෂා කළ ඉලක්ක වෙත ගමන් කිරීමය. එහෙත් අද සමහරුන් ආණ්ඩුවේ වැඩකටයුතු වෙත බාධා එල්ල කරන ආකාරයක් දැකිය හැකි අතර මේ මොහොතේ ජාතික අරමුණු සහිතව කටයුතු කිරීමෙන් ප්‍රධාන පක්ෂ දෙක එක්ව පවත්වා ගෙන යන ජාතික රජයේ අපේක්ෂා සපුරා ගත හැකිය. සැබෑ ලෙසම ප්‍රධාන පක්ෂ දෙක නිශ්චිත වැඩපිළිවෙළකට එක්වීම යනු අතිශය වැදගත් දෙයකි. මෙය ස්වර්ණමය අවස්ථාවක් ලෙස හඳුන්වා දුන්නද එහි වරදක් නැත.
පසුගිය කාලයේ සිදුවීම් ගැන සෙවීමට යැයි පවසා අන්තර්ජාතික විනිසුරුවරුන් පත් කිරීමට සිදු කරන උත්සාහයට අප විරුද්ධ වන අතර ජනාධිපතිතුමා මේ ගැන පැහැදිලි ස්ථාවරයක සිටියි. ජනපති අගමැති ඇතුළු ආණ්ඩුව විදෙස් විනිසුරුවරුන් පත් කිරීමේ උත්සාහයට සම්පූර්ණයෙන්ම එරෙහි ස්ථාවරයක පසුවේ. ජනාධිපතිතුමා රටේ නිදහස සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන අතර මෙරට නඩු විසඳීමට විදෙස් විනිසුරුවරු අවශ්‍ය නොවේය යන ස්ථාවරයේ පසු වේ. ජනපතිගේ විදෙස් ප්‍රතිපත්තිය නිසා මෙරටට එල්ල විය හැකිව තිබු විශාල අන්තර්ජාතික පීඩනයක් සමහන් කිරීමට හැකියාව ලැබුණ අතර ඒ සියලු තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබුණේ ජනපතිගේ සහ රජයේ නිදහස් මැදහත් සහ නොබැඳි විදෙස් පිළිවෙත නිසාය. මෙම විදේශ ප්‍රතිපත්තිය අනුගමනය නොකළා නම් මේ වන විට මෙරට විශාල අන්තර්ජාතික පීඩනයකට මේ වන විට ලක්වීමට විශාල අනතුරක් තිබුණි. දැන් ඒ තත්ත්වය පහව ගොස් ඇති අතර රටේ කීර්තිය සහ අන්තර් ජාතික පිළිගැනීම විශාල ලෙස වර්ධනය වී තිබේ.
අවුරුදු දෙකකට මඳක් වැඩි කාලයකදී ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට විශාල වැඩ ප්‍රමාණයක් ඉටු කිරිමට හැකියාව ලැබී ඇති අතර පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කර සීමා නිර්ණ නිසි සහ සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළු ප්‍රගතිශීලි කාර්ය රැසකට එළඹ තිබේ.