එයාර් බස් පිළිගන්නට කටුනායක සූදානම් | Page 5 | සිළුමිණ

එයාර් බස් පිළිගන්නට කටුනායක සූදානම්

 මෙරට සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් කටුනායක පිහිටි බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ධාවනපථය ප්‍රතිසංස්කරණයන්ට ලක් වී නැවතත් මෙහෙයුම් කටයුතු සඳහා විවර වූයේ පසුගිය 6 දාය.

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ගුවන්තොටුපළ දෙකක් තිබුණත් ඉන් දැනට මෙහෙයුම් කටයුතු සිදු වන්නේ කටුනායක පිහිටි බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් පමණි. එහෙත් මෑතකදී බණ්ඩාරනායක ගුවන්තොටුපළ ගැන වැඩිවැඩියෙන් කතාබහට ලක් වන්නට වූයේ එහි වූ එකම ධාවනපථයට නව පෙනුමක් දෙන්නට රජය කටයුතු කිරීමත් සමඟය. සෑම වසරකම අන්තර්ජාතික මට්ටමේ සමීක්ෂණ මඟින් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ ආසියාවේ විශිෂ්ටතම ගුවන්තොටුපළ අතරට එක් වන්නේ මෙහි ඇති සුවිශේෂත්වය නිසාමය.

තත්ත්වය එසේ වුවත් මේ හරහා ගමන් ගන්නා මඟීන්ට නොපෙනුණද නොදැනුණද

ගුවන්තොටුපළේ හදවත බඳු ධාවනපථයේ අලුත්වැඩියාවක් නොකර කාලය ඉක්ම ගොස් බොහෝ කල්ය. මෙය සැබැවින්ම විශාල අනතුරු ඇඟවීමක් වී තිබිණි. කටුනායක ගුවන්තොටුපළේ ඇත්තේ එක් ගුවන් ධාවනපථයකි. එයද පළලින් මීටර් 60ක් වන නිසා A-380 වැනි ගුවන් බස් ගොඩබැස්සවීමේ හැකියාව නොමැතිකමින් යම් යම් පාඩු තත්ත්වයන්ද ඇති වූ අවස්ථා එමටය.

වර්ෂ 1986දී ඉදි කරන ලද මේ ධාවනපථය ගොඩබැස්සීම් 200,000 සම්පූර්ණ කළේ 1996 වසරේදීය. එසේම එය නිමවා වසර 20ක් සම්පූර්ණ කළේ 2006 වසරේදීය. මේ වන විට ධාවන පථය ඉදිකර ගතවූ වසර 30ක කාලය තුළ ගුවන්යානා ගොඩබැස්සවීම් හා නැංවීම් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් සිදු කර තිබේ. ඒ අතර වසර තුනකට වරක් ගුවන්යානා ධාවනපථ පිළිබඳ තත්ත්ව පරීක්ෂණ සිදු කරන අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) මේ පිළිබඳ අනතුරු හැඟවීම් සිදු කළේ 2001 වසරේ සිටය. මේ වසරේදී නැවතත් තත්ත්ව පරීක්ෂණයකට යටත් කළ යුතුව තිබුණු පසුබිමක බාධක රැසක් මැද ගුවන් ධාවනපථය අලුත්වැඩියාව හා නව ආස්තරණ කටයුතු පිණිස ගුවන්තොටුපළ හා ගුවන්සේවා අධිකාරිය කටයුතු යෙදීමෙන් එය මේ වසරේ අසාධු ලේඛනගත වීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ ආශ්චර්යයකට මෙනි. එසේ අසාධු ලේඛනගත වූයේ නම් රටට අත් වන්නට ඉඩ තිබුණු අපකීර්තිය බොහෝ විශාල වීමට ඉඩ තිබිණි.

මේ සියලු කාරණාකාරණ මැද ජනවාරි මස 6 දා සිට අප්‍රේල් මස 6 වැනිදා දක්වා සෑම දිනකම පැය 8ක කාලයක් ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු නතර කිරීම මේ කර්තව්‍යයේදී මුහුණ දෙන්නට වූ විශාලතම අභියෝගයයි. දිනපතා පැය 24ම මෙහෙයුම් සිදු වන කාර්යබහුල ගුවන්තොටුපළක් වන මෙහි ඇත්තේ එකම ධාවනපථයක් වීම මේ දුෂ්කරම අභියෝගය තවත් දුෂෟකර කරවීය. මෙවැනි අවස්ථාවක මෙවැනි භාරධුර කාර්යයක් සාධනය කරගැනීමටත් එය අවම පාඩුවක් සහිතව සිදු කිරීමටත් අන්තර්ජාතික උපදෙස් පතන්නටද සිදු විය. මෙවැනි අවස්ථාවක අන්තර්ජාතික ගුවන්තොටුපළක් මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද? ඒ ආකාරයෙන්ම මෙයටත් මුහුණ දීමට අවසානයේ බලධාරීන්ට සිදු විය. ඒ අනුව මේ මාස කිහිපය තුළ සිදු වන පාඩුව අවම කරමින්, පැනනැඟෙන දුෂ්කරතා අවම කරමින් ගුවන්තොටුපළ කිසිදු ආකාරයෙන් සම්පූර්ණයෙන් වැසීමක් සිදු නොකරමින් ධාවන පථයේ පිළිසකර කටයුතු සිදු කිරීමට තීරණය විය.

මේ කාර්යයේදී සුළු හෝ පාඩුවක් වී නම් එය අපේම ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට පමණක් දරන්නට ඉඩ හළ හෙයින් කිසිදු විදේශ ගුවන් සේවයකට මෙයින් පාඩු සිදු වූයේ නැත. මෙහෙයුම් කටයුතු සිදු වූ පැය කිහිපය තුළ සෑම ගුවන් සේවයක්ම කිසිදු කලබලයකින් තොරව ඒ කටයුතු සිදු කරනු දැකිය හැකි විය. ශ්‍රී ලංකන් ගුවන් සේවයද අපේම දෙයක් වන එම භාරධුර වගකීම කැමැත්තෙන්ම භාර ගනිමින් තමන්ට වන පාඩුව ඉතා අවම කරමින් ඒ මාස කිහිපය තුළ සිය සේවාවන් උපරිම ආකාරයෙන් මඟීන්ට සලසා තිබිණි. මෙහිදී ඔවුනුට තම ගමන්වාර කිහිපයක් පමණක් අවලංගු කිරීමට සිදු විය. මත්තල ගුවන් තොටුපළ නොතිබුණේ නම් මේ කටයුත්තේදී අපට භාවිත කරන්නට සිදු වනුයේ ඉන්දියාවේ මධුරෙයි ගුවන් තොටුපළයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමනාන්ත කිහිපයක් අවලංගු කරන්නට සිදු වුවත් ඔවුන් පවසන්නේ සිදු වූ පාඩුව අවමයක් වූ බවයි.

පැය 8ක් ගුවන් මෙහෙයුම් කටයුතු අවලංගු කිරීම හේතුවෙන් ඉතිරි කාලයේ ගුවන් ‍තොටුපළේ මෙහෙයුම් කටයුතු සිදු වූයේ අතිශය කාර්යබහුල ආකාරයෙනි. මේ අවස්ථාවේදී ගුවන් තොටුපළ බලධාරීන් මෙන්ම කාර්යමණ්ඩලයද, එහි පැමිණෙන මඟීන්ද දී ඇත්තේ සුළුපටු සහයෝගයක් නොවේ. විශේෂයෙන්ම සියලු ගමනාන්තවලට පැය 5කට කලින් ආගමන විගමන කවුළු, රේගු කවුළු මෙන්ම ගුවන් ට්කට් පත් කවුළු විවර කිරීමෙන් මඟීන්ට කිසිදු තදබදයකින් තොරව සිය ගුවන් ගමන යෑමට හැකි විය. සෑම ගුවන් මඟියකුම නියමිත වේලාවට පැය 5කට කලින් පැමිණෙමින් මේ කටයුත්තට සහාය වීම අගය කළ යුතු විය.

ගුවන් තොටුපළ ධාවනපථය නවීකරණය සඳහා යොදාගත් කාලය ශ්‍රී ලංකාවේ පැවැති හොඳම දේශගුණික තත්ත්වය සහිත කාලය වීම විශේෂ කරුණකි. යම් ආකාරයෙන් වර්ෂාව ඇදහැලුණේ නම් මේ කාර්යය තවත් පමා වීමට ඉඩ තිබිණි. එහෙත් මේ සම්බන්ධයෙන් යම් යම් රාවයන්ද පැතිර නොගියාද නොවේ. විවිධ කිරණ යොමු කරමින් වර්ෂාව නවතන්නට උත්සාහ දරන බවට පැතිරවූ සමහරුන්ගේ පටු අපේක්ෂාව වී තිබුණේ මේ කටයුත්තට අකුල් හෙළීමය.

එහෙත් මේ දුෂ්කර අභියෝගය භාර ගත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේත් කැප වීම මධ්‍යයේ මේ කර්තව්‍යය සාර්ථකව නිමා කරන්නට හැකි විය.

මෙලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක වියදමින් තැනුණු නව ධාවනපථය කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට එක් කරන්නේ අභිමානයකි. අද දිනයේ එය එයාර් බස් යානාවන්ටද විවර වන්නේය. අතිනවීන තාක්ෂණික අංගයන්ගෙන් සමන්විත LED විදුලි ආලෝක තාක්ෂණික පද්ධතියකින්ද යුතු නිසා එය 80%කින් බලශක්තිය ඉතිරි කරන්නේය. මේ සියලු දෑ රටේ ආයෝජකයන් වෙනුවෙනි. නව පෙනුමකින් ඉදිරියට යන අපේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ හෙට දිනයේ ආසියාවේ සියලු ගුවන් ‍තොටුපළවල් අබිබවනු නිසැකය.

සුභාෂිණි ජයරත්න
සේයාරූ - ප්‍රවාහන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය

Comments