බක්මාසේ සතුට-සිනාවට උද්ඝෝෂණ රැළි පෙරළීම | Page 2 | සිළුමිණ

බක්මාසේ සතුට-සිනාවට උද්ඝෝෂණ රැළි පෙරළීම

 බක් මාසය හෙවත් භාග්‍යවන්ත මාසයේ උදාවත් සමඟ සිංහල, දෙමළ වැසියන් ලහිලහියේ සූදානම් වන්නේ අවුරුද්ද සැමරීමටය. පුරාණයේ මෙරට පැවැති ‘නැකැත් කෙළිය’ නැති නම් වසන්ත උත්සවය සිංහල අවුරුද්දේ මූලාරම්භය බව ඇතැමුන්ගේ පිළිගැනීමයි. සමහරු එය ‘අලුත්සහල් මංගල්‍යය’ හා ‘සූර්ය මංගල්‍යය’ කියාද හඳුන්වති. මේ ආකාරයටම දෙමළ ජනතාව විසින් සමරනු ලබන, දුරුතු මහේ ආරම්භ වී වෙසක් මාසයෙන් අවසන් වන තෛයි-පොංගල් මංගල්‍යයේ පදනම වන්නේද හිරුදෙවියන් උදෙසා අලුත්සහල් පූජා කිරීමයි. සශ්‍රීකත්වය සෞභාග්‍යය ළඟා කරගනු වස් ඔවුහු මෙසේ පුද-පූජා සිදු කරති. එපමණක් නොව, විවාහ ගිවිසගැනීමේ චාරිත්‍රයක්ද මේ හා බැඳී පවතී. මේ මංගල්‍යය දෙමළ ජනතාවට මෙන්ම සිංහල ජනතාවටත් අතිශයින්ම වැදගත් සංස්කෘතික උත්සවයක් වන්නේ එහෙයිනි.

මේ උත්සවයට මූලික වී ඇත්තේ කෘෂි සංස්කෘතියයි. එය ජාතිභේදයකින් තොරව අප සැමට පොදු සංස්කෘතික උරුමයකි. එනිසාම මේ තුළ හුදු ජාතියක් නියෝජනය වීමකට වඩා සාමූහික බවකින් බැඳුණු මානවීය ගුණය ඉස්මතු පැවතීම සිත් ගන්නාසුලුය. ඊට එක් හේතුවක් වන්නේ සමාන භූමිකලාපවල සංස්කෘතික සාම්‍යයක් පැවතීමය. එනම්: ජීවන රටාව හා ආහාර සංස්කෘතිය තුළ කිසියම් සමානකමන් නිරූපණය වීමය. අද වන විට කිසිවකු තම ආහාර සංස්කෘතිය පිළිබඳ සැලකිල්ලක් නොදක්වන නමුත් ඒ තුළ පවතින මේ සංස්කෘතික සබැඳියාව බැහැර කළ නොහැකිය.

කෘෂිකාර්මික ජීවිතය පිළිබඳ අතීත සම්ප්‍රදායන් විමසා බලන විට මූලිකවම ආහාර සංස්කෘතිය මත ඒවා පදනම් වී ඇති බව පෙනී යයි. වී ගස කේන්ද්‍ර කරගෙන මේ සංස්කෘතීන් දෙකම අන්‍යොන්‍ය ලෙස බැඳී පවතින්නේ එනිසාය. කෙතෙන් ලබාගන්නා වී ටික රැස් කර තබාගන්නා අතර, ඒවා ආහාරයට ගැනීම දෙමළ සම්ප්‍රදාය තුළ තහනම්ය. ඒ ආකාරයටම සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුළද රැස් කර තබාගනු ලැබූ අලුත් වී ඇටයකදු දත ගසන්නේ නැත. කමතෙන් බැත නෙළාගත්තායින් පසු මුල් කොටස දෙවියන් උදෙසා ආරක්ෂා කරනු ලබන අතර, එය ‘අක්යාල’ කියා හඳුන්වනු ලැබේ.

‘අක්යාල’ යනු දෙමළ වදනකි. එහෙත් අප එය දෙමළයැයි කියා වෙනස් කිරීමට උත්සාහ දරා නැත. ලංකාවේ රුහුණු, පිහිටි, මායා ආදි සියලු පළාත්වල මේ වෙන් කර තැබෙන මුල් අස්වනු කොටස හැඳින්වෙන්නේ ‘අක්යාල’ නමින් වීමෙන් මෙරට සිංහල-දෙමළ අතීත සංස්කෘතික සබැඳියාවේ තරම මොනවට විද්‍යමාන වේ. හිරු සඳු ආදි ස්වාභාවික වස්තු දේවත්වයෙන් පිදීම දෙමළ-හින්දු ජනතාව පමණක් නොව, සිංහල-බෞද්ධ ජනතාව අතරද පවතී. මේ නිසා අපේ විහාර බිතුසිතුවම්වල සූර්ය දේව හා චන්ද්‍ර දේව සටහන් යොදා ඇති අයුරු දැකගත හැකිය. කෞතුකාගාරයට පිවිසෙන විට හමු වන පියගැට පෙළ දෙපස මේ සිතුවම් ඔබට අද පවා ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව අපට සංස්කෘතික සාම්‍යයක් මේ තුළ දැකිය හැකිය.

මීට අමතරව කිරි ඉතිරීම තුළත් අපට මේ සාම්‍යය දැක්ක හැකිය. සෞභාග්‍යය පතා කිරි ඉතිරවීම දෙමළ සංස්කෘතියෙන් අපට ලැබුණු දායාදයක් ලෙස සැලකිය හැකිය. සංහිඳ ඇදහිල්ල පැවැති සමයේ වනයේ විශාල වෘක්ෂයක් තෝරාගෙන එයට බාර-හාර වීම සිංහල මෙන් ම දෙමළ කෘෂිසමාජයේද පැවැති චාරිත්‍රයකි. පසුකාලීනව ශ්‍රී මහා බෝධිය වැඩමවීමත් සමඟ මේ ‘සංහිඳ’ චාරිත්‍රය ශ්‍රී මහා බෝධිය ආශ්‍රය කරගෙන පැවැත්වෙන අතර, ඒ සඳහා උතුරු-නැ‍ඟෙනහිර ජනයාද තම ‘අක්යාල’ රැගෙනවිත් ඒ පූජාවලට සහභාගි වෙති.

පසුකාලීනව දළදාව මෙරටට වැඩවීමත් සමඟ මේ අලුත් සහල් මංගල්‍යය ‘දළදා පූජාවක්’ බවට පත් විය. මේ අනුව පෙනී යන්නේ කෘෂිකාර්මික ජීවන රටාව සමඟ අප අනොන්‍ය වශයෙන් බැඳී ඇති බවයි.

ඇතැමකු සිතන්නේ මේ දේවල් පසුකාලීනව යටත්විජිත සමයෙන් පසු ඇති වූ බවය. එහෙත් සත්‍යය නම් අප වෙන්ව කටයුතු කිරීම යටත්විජිත සමයෙන් පසු ආරම්භ වී අද දක්වා වර්ධනය වී ඇති බවයි. මේ නිසා ‘ජාතීන් අතර සංහිඳියාව’ යන්න පශ්චාත්-යුද කාලීන ශ්‍රී ලාංකික සමාජයට අතිශය වැදගත් සංකල්පයක් බවට පත්ව තිබේ. එසේ නම් ඒ සබැඳියාව සිඳ දැමූවෝ කවරහුද? ඒ අනෙකෙක් නොව, තම ආත්මාර්ථය වෙනුවෙන් කටයුතු කරන ජාතිවාදීහුය. සාමූහිකව බැඳුණු ජන ජීවිතය සිඳ දැමූවෝ ඔවුහුය.

යටත්විජිතහරණයත් සමඟ සිය පාලන ක්‍රමවේදය ලෙස ජනතා පරමාධිපත්‍යය පදනම් කරගත් ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමය භාවිතයට ගෙන ලෝක රාජ්‍ය පර්යායට එක් වූ දකුණු ආසියාතික ජාතික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගත හැකිය. එහෙත් තිඹිරිගෙයිදීම සමාජ ආර්ථික හා දේශපාලන අර්බුද කළමනාකරණය කරගැනීමට අපොහොසත් වීම නිසා ගැටලු රාශියකට මුහුණ දීමට අපට සිදු විය.

එහි ප්‍රබලතම සමාජ දේශපාලන අර්බුදය වන්නේ ‘ජාතිකත්ව පදනම’ මත නව රාජ්‍යයක් නිර්මාණය කරගැනීමට තිබූ බාධාය. ජාතිවාදි පදනමක පිහිටා ගනු ලැබූ තීන්දු-තීරණවල ප්‍රතිඵලය පසුකාලීනව වසර තිහකට අධික කාලයක් පැවැති යුද්ධයට හේතු විය. මේ නිසා සමාජ සංස්කෘතික දේශපාලන ජීවිතය පමණක් නොව ආර්ථික ජීවිතයද කඩා වැටීමකට ලක් විය. අවසානයේ තීරණාත්මක යුද්ධයකින් පසු රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් ඇති වුවද එය මනාව කළමනාකරණයට රාජපක්ෂ රෙජීමයට නොහැකි විය. ඊට ප්‍රධානතම හේතුව වන්නේ පශ්චාත්-යුද සමය තුළ ඔවුන් විසින් තහවුරු කළ ජාතිවාදි පදනමයි.

යුද්ධයෙන් පසු සියලු ජාතීන් අතර සමවායක් ඇති කළ හැකි විභවයක් රාජපක්ෂ ආණ්ඩුවට තරම් මෙරට දේශපාලන ඉතිහාසය තුළ වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමකට විවර නොවූ තරම්ය. යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් අනතුරු පීඩා විඳි සියලු ජනතාවගේ ජයග්‍රහණයක් බවට එය පත් කරනවා වෙනුවට ගෝත්‍රවාදි ලෙස එය එක් ජාතියක ජයග්‍රහණයක් ලෙස උත්කර්ෂයට නංවනු ලැබීය.

මේ නිසා සෙසු ජනකොටස් එහි හවුල්කරුවන් බවට පත් කර, එමගින් ජාතිකත්ව පදනමක් නිර්මාණය කිරීමට තිබූ ඉඩ අහෝසි විය. ඔවුන් තම බලය පවත්වාගැනීමේ එකම කොන්දේසිය බවට පත් කරගත්තේ ජාතික අසමගිය වර්ධනය කිරීමය. මේ හේතුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ස්වෛරි රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට තිබුණු අවස්ථාව අප කෙරෙන් ගිලිහී ගියේය. ඒ වෙනුවට ලෝකය හමුවේ චුදිත රටක් බවට අප රට පත් කරනු ලැබිණි. එපමණක් නොව, උතුරේ ක්‍රියාත්මක වන සුළුතර ජාතිවාදීන් පිරිසකට තම අභිමතාර්ථ මුදුන් පත් කරගැනීම සඳහා එමගින් තටු ලැබිණි (ඇත්තෙන්ම එය ඔවුන්ගේ ජාතිවාදි පදනම පවත්වාගැනීමට අත්‍යවශ්‍ය කොන්දේසියකි).

නූතන ජාතික රාජ්‍ය සංකල්පය 16 වන සියවසේ දී උපත ලබනවාත් සමඟම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මතවාදයන්ද ලොව පුරා ව්‍යාප්ත විය. ඒ අනුව බහුතරයකගේ කැමැත්ත හිමි කරගන්නා කණ්ඩායම (දේශපාලන පක්ෂය) ආණ්ඩු බලය හිමි කරගන්නා අතර, නැවත පැවැත්වෙන මැතිවරණයක් මඟින් ඒ කැමැත්ත පරිවර්තනයකට ලක් කිරීමේ ශක්‍යතාවද ජනතාවට හිමිය. ‘සැම දෙන එකම ජාතියක්ය’ යන හැඟීම මෙවැනි ජාතික රාජ්‍යයක පදනමයි. ජාතික රාජ්‍යයක වාසය කරන සියලු පුරවැසියන් තුළ රැව්පිළිරැව් නැඟිය යුත්තේ ආගම හෝ ජාතිය වැනි පටු වර්ගවාදි ආකල්ප නොව, ජාතිකත්වය මත පදනම් වූ ආත්මාභිමානයකි. අවාසනාවකට අපට අද අහිමිව ඇත්තේද එයමය. පුරවැසියන් තුළ ඇති වන්නා වූ ජාතිකත්වය පිළිබඳ හැඟීම ජාතික රාජ්‍යයේ පදනම බවට වේ. එබැවින් සැබෑ ජාතිකත්වයක් නිර්මාණය නොවූ රාජ්‍යයක් ජාතික රාජ්‍යයක් ලෙස හැඳින්විය හැකිද? යන ප්‍රශ්නාර්ථය මතු වෙයි. සැබෑ ජාතික රාජ්‍යයක් ඇති වීමට නම් ජනවර්ග අතර සංහිඳියාවක් අත්‍යවශ්‍යය.

එසේ නොවී ‘කුලල් කාගනිමින්’ රටකට තවදුරටත් ඉදිරියට යෑමට නොහැකිය. වත්මන් ආණ්ඩුව කිසියම් ආකාරයකට මෙය අවබෝධ කරගනිමින් කටයුතු කරන ස්වභාවයක් පෙනෙන්න තිබේ. සියලු ජනකොටස්වල කැමැත්ත නියෝජනය වන නිදහසින් පසු බලයට පත් වූ ආණ්ඩුව වත්මන් ආණ්ඩුවය. එනිසා ජිනීවාහි දී ඔවුන් ක්‍රියා කළ ආකාරය ඉතා ප්‍රශංසනීය වේ. එසේ කටයුතු කිරීමට දෛවෝපගත වගකීමක්ද ඔවුන් වෙත පැවරී තිබේ. එනිසා ජාතිවාදීන්ගේ ගෝත්‍රවාදයට යට නොවී රටේ ස්වෛරිභාවය ආරක්ෂා කිරීම සඳහා නොබියව එවැනි තීන්දු-තීරණ ගැනීමට කටයුතු කිරීම වඩා යථාර්ථවාදීය.

මෙරට උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ii වන පරිච්ඡේදයේ 09 වන වගන්තිය විමසා බලන විට උත්කර්ෂයට නැ‍ඟෙන්නේ සිංහල බෞද්ධ ජනතාවයි. මේ තුළ ‘බහුතරය’ යන්න අධිනිශ්චය වී පවතින අතර, සෙසු ජාතීන්ට ‘සමාන අවස්ථා’ විවර වී නැත. ඉන්දියාවේ ඉතා සුළුතර ජාතියක් වන ශීක් ජාතිකයකුට පවා රාජය බලය හිමි කරගත හැකි වුවද අප රට තුළ මැතිවරණ දහසක් පැවැත්වුවද වෙනත් ජාතිකයකුට දේශපාලන මුල්පුටුවට පිවිසීමේ ඉඩ බොහෝ සෙයින් සීමිතය. මේ නිසා ඔවුන් ගේ අභිලාෂ සාධනය කරගැනීමට ඇති හැකියාවද සීමිතය. මේ නිසා පුරවැසියන් ලෙස උපතේ සිට මරණය දක්වා ආණ්ඩුකරණය තුළ තම අභිලාෂයන් නියෝජනය නොවීම යන ‘නෛසර්ගික වේදනාව’ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඔවුන්ට හිමිව ඇත්තේය.

වත්මන් ආණ්ඩුව මේ තත්ත්වය කිසියම් දුරකට අවම කිරීම සඳහා පළාත්සභාවලට බලය පැවරීම මඟින් පියවර ගෙන තිබුණද, ගෝත්‍රවාදි ජනප්‍රිය සටන්පාඨ මගින් (යුද්ධයෙන් බේරාගත් රට පාවා දෙනවායැයි කියමින්) එය පසුපසට තල්ලු කරමින් තිබේ.

ලොව හොඳම ආණ්ඩු ක්‍රමය ලෙස බොහෝ දෙනා පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුක්‍රම තුළ පවා සුළු ජන කොටස් අසරණභාවයට පත් වන අවස්ථා නැතුවා නොවේ. එනමුත් එවැනි තත්ත්වයන් තුළ ඔවුන් කෙරෙන් යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමවේදයෙන් බැහැර වූ ප්‍රචණ්ඩ ස්වභාවයේ හැසිරීමක් විද්‍යමාන විය හැකිය. අප සියල්ලන්ම එවැනි සිදුවීම් පිළිබඳ අතීතාවර්ජනය කර බලන්නේ නම් එය සුළු ජාතීන් තුළ පමණක් නොව මහ ජාතිය ලෙස හඳුන්වනු ලබන සිංහල තරුණයන්ගේ නැඟිටීම් තුළද විද්‍යමාන වන්නේය.

රාජපක්ෂ රෙජීමය සමයේ මිලිටරිවාදි බලපෑම මඟින් සියලු ජනකොටස්වල මූලික අයිතීන් (කථා කිරීමේ, ප්‍රකාශනයේ, රැස්වීමේ, කැමැති දේශපාලන මතයක් දැරීමේ) පවා ශූන්‍ය තත්ත්වයට පත් කොට දැමිණි. 2015 ජනවාරි 08 වන දායින් පසු එලෙස පීඩනයට පත්ව යටපත් කොට දැමූ ජනතා ආවේගයන් මුදාහැරීමට වත්මන් ආණ්ඩුව ඉඩ සලසා දී තිබේ. එය ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරන්නක් නොව, වළ දමා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය හිමි කර දීමකි. එනිසා අන් කවර දාටත් වඩා උද්ඝෝෂණ, සටන්පාඨ කරළියට පැමිණ තිබේ. මෙරට සංහිඳියාව පිළිබඳ ආකල්ප වර්ධනය කළ හැකි සංස්කෘතික මංගල්‍යය අබිමුවෙහි තබාගෙන වැඩවර්ජනවලට පිවිසීමට උත්සාහ දැරීම කවර දේශපාලන අරමුණක් මුදුන්පත් කිරීමට දරන උත්සාහයක ප්‍රතිඵලයක්දැයි අප කවුරුත් විමසා බැලිය යුතුය.

 

Comments