තොරතුරු දැන ගැනීමේ නීතියෙන් ඉන්දියාවේ පාසල් දරුවනුත් වැඩ ගන්නවා | සිළුමිණ

තොරතුරු දැන ගැනීමේ නීතියෙන් ඉන්දියාවේ පාසල් දරුවනුත් වැඩ ගන්නවා

තොරතුරු දැනගැනීමේ නීතිය 2005 දී ඉන්දියාවේ සම්මත වූ පසුව වසරකට ලක්ෂ ගණනක පිරිසක් තොරතුරු ඉල්ලා සිටින බවත්, වර්තමානය වනවිට ඉන්දියාවේ වයස අවුරුදු 8 , 9 සිසුන් පවා රජයෙන් ‍තොරතුරු ඉල්ලා සිටිමින්, ගැටලුවලට විසඳුම් ලබාගන්නා බවත් ඊට වයස් භේදයක් නොමැති බවත්, විද්‍යා ලේඛක හා මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන මහතා පැවසීය.

තොරතුරු පනතට, සමාජ සංස්කෘතිය ඉක්මවිය හැකිද යන මැයෙන් පසුගියදා ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති සංවාද මණ්ඩපයකදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“ඉන්දියාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියක් ලෙස 1975 වසරේදි ඉන්දියානු උපරිමාධිකරණය මඟින් පිළිගත්තා. පසුගිය වසරේ මැදභාගය වනවිට ලෝක ජනගහනයෙන් 88% ප්‍රමාණයක් තොරතුරු දැනගැනීමේ නීතිමය අයිතියෙන් ආවරණය වෙනවා.

මේ වනවිට තොරතුරු ලබාගැනීමේ නීතිමය අයිතිය හිමිවන රටවල් 110ට ශ්‍රී ලංකාව ද අයත් වෙලා තියනවා. ලෝකයේ තවත් රටවල් 40 ක් පමණ තොරතුරු ලබාගැනීමේ අයිතිය ලබාගැනීමට ඒ පිළිබඳ අවධියෙන්, විමසමින් සිටිනවා.

මේ වන විට තොරතුරු දැන ගැනීමේ පනත ලෝකයේ හොඳම නීති හා රෙගුලාසි ශ්‍රේණිගත කිරීම් වල තෙවැනි තැනට පත්වී තිබෙනවා. මේ නිසා මින් ඉදිරියට අනුමාන කිරීම්, උපකල්පන ඉක්මවා සාක්ෂි හා දත්ත මත කටයුතු කිරීම සඳහා සිවිල් පුරවැසියන් තොරතුරු ලබාගැනීමට උත්සුක විය යුතුයි.

මේ සඳහා ලැබෙන ප්‍රතිරෝධ අබිබවමින්, තොරතුරු නීතිය මඟින් නිවැරදි දත්ත හා තොරතුරු ලබා ගැනීමට නිරන්තයෙන් උත්සාහ ගත යුතුයි. ඒක සිවිල් සමාජයේ කාගේත් අයිතියක්. මේ ගැන බොහෝ දෙනෙක් තවමත් දැනුම්වත් නැහැ.

එමනිසා රටවැසියන් දැනුම්වත් කිරීමට දිවයින පුරා වැඩමුළු පැවැත්වීමට ජාතික මාධ්‍ය සංසදය කටයුතු කරගෙන යනවා.”

මෙම සංවාද සභාව අමතමින් ජාතික මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මිය කියා සිටියේ කිසිම රජයක් තොරතුරු ලබාදීමට සූදානම් නැති වුවත්, තමන්ගේ ගැටලු ගැන බදු ගැන විමසීමට සෑම පුරවැසියකුට ම අයිතියක් ඇති බවයි.

මහජන මුදලින් සිදුකරන රජයේ කටයුතු සම්බන්ධ විමසීමට මහජනතාවට වගකීමක් ද ඇති බවත් කීවාය. වැරදි තොරතුරු වාර්තා වීම මාධ්‍යවලට වඩා ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිවල සිදු‍කෙරුණු බවත් ඊට හේතු වූයේ නිවැරදි තොරතුරු ලබා නොගැනීම බවද සඳහන් කළාය.

කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කථා කරමින් කියා සිටියේ රාජ්‍ය මුල්‍ය භාවිතය පිළිබඳ දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත්, තොරතුරු පනත බලගැන්වීමට නම් ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතිය ඉක්මවීමට පෙර දේශපාලන සංස්කෘතිය ඉක්මවීම වැදගත් වන බවද පැහැදිලි කළේය. 

Comments