කෝටියක එතෙර ගමන් නිසා විදුලි සැර වදියිද? | සිළුමිණ

කෝටියක එතෙර ගමන් නිසා විදුලි සැර වදියිද?

 ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දසදෙනෙකු රජයේ මුදලින් රුපියල් ලක්ෂ 106ක වියදමක් දරා විදෙස් සංචාරයක නිරත වීමට සූදානමක් පවතින බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අප්‍රියෙල් මස 17 දින සිට 31 දක්වා වියට්නාමය හා තායිලන්තයේ සංචාරය කෙරෙන මේ නිලධාරීන් වෙනුවෙන් ඩොලර් තිස්හත් දහසක අත්තිකාරම් මුදලක් අදාළ රටවලට මේ වන විටත් ගෙවා තිබේ. ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 20ක් යැපීම් දීමනා ලෙස ද රුපියල් ලක්ෂ 20ක් ගුවන් ටිකට් පත් සඳහා ද වෙන්කර ඇතැයි මණ්ඩලයේ උසස් නිලධාරියෙක් කියා සිටියේය.

මේ විදෙස් සංචාරය සඳහා මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරු පස්දෙනෙකු ප්‍රධාන ඉංජිනේරුවරුන් තුන්දෙනෙකු සහ ගණකාධිකාරිවරයකු සහභාගි වන අතර ඉන් හය දෙනෙක්ම ආයතනික ක්‍රමෝපාය අංශය නියෝජනය කරති. 2015 නොවැම්බර් මස විදෙස් සංචාරයකට සහභාගි වූ නිලධාරීන් තිදෙනකුම මේ සංචාරය සඳහා ද තෝරාගෙන තිබීම විමතියට කරුණකි. රුපියල් කෝටි පන්දහසකට අධික ණය බරක් උරුම වී ඇති මණ්ඩලයට මෙවැනි සංචාර සඳහා දැරීමට සිදුවන අමතර වියදම දැරිය නොහැකි තත්ත්වයක් බව මණ්ඩලයේ ගිණුම් අංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

රජයේ අරමුදල් භාවිතයේදී සිදුවන නාස්තිය අවම කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් සංචාර සීමා කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් 2015 සැප්තැම්බර් 16 දින අමාත්‍ය මණ්ඩලයට ගෙනා යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, ඒ අනුව කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරින් දැනුම්වත් කර තිබියදී මෙවැනි දේ සිදුවීම ගැන මණ්ඩල සේවකයෝ අප්‍රසාදය පළ කරති. විදෙස් පුහුණු සඳහා විවෘත අයදුම්පත් කැඳවීමකින් තොරව දිගින් දිගටම නිලධාරීන් සහභාගි කරවීම මණ්ඩලයේ පුරුද්දක්ව ඇතැයි එහි සේවකයෝ පවසති. මේ සම්බන්ධයෙන් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ අත්‍යවශ්‍ය පුහුණුවක් සඳහා නිලධාරීන් දසදෙනෙකුට මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බවයි. 

Comments