ඒකාබද්ධය පෝය ගැණ ගැණ ඉන්නවා | සිළුමිණ

ඒකාබද්ධය පෝය ගැණ ගැණ ඉන්නවා

 එස්. ඩබ්ලිව්. අලවතුවල වූ කලී සත්කෝරලයේ කීර්තිමත් දේශපාලන චරිතයකි. ඒ පිය මඟ ඔස්සේ දේශපාලනයට පිවිසෙන ජේ. සී. අලවතුවල, ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවටත් අනතුරුව පාර්ලිමේන්තුවටත් තේරී පත්ව අද කුරුණෑගල දිස්ත්‍රික් ජනතා නියෝජිතයකු ලෙස මැතිසබේ අසුන් ගෙන සිටී. මතුපිටින් නිහඬ යැයි පෙනුණ ද අවැසි තැනට අවැසි මොහොතේ හඬ නඟන ඔහු වෙනුවෙන් මෙවර 'පසුපෙළ' වෙන් වේ.

ප්‍ර: නම අලවතුවල වුණාට ඔබතුමා ඉන්නේ ‍බොහෝ පොල්වතු තියෙන පළාතක?

ඔව්, කුරුණෑගල කියන්නේ අපේ දේශපාලන නිජබිම. මගේ පියා 50 දශකයේ සිට දේශපාලනය කරලා 1977 ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු විදිහයට සත්කෝරලේ ජනතාවට නොමැකෙන සේවාවක් කළා. එතුමා දේශපාලනයෙන් සමුගෙන තානාපති සේවාවට ගියාට පස්සේ මම ජනතා ඉල්ලීමට කන් දීලා දේශපාලනයට ආවා. මුලින් දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක. පසුව හිරියාල. දැන් මාවතගම. සත්කෝරලේ කොතනත් අපට එක වගෙයි.

ප්‍ර: පියා නියෝජ්‍ය ඇමැතිවරයෙක් වුණාට ඔබ දේශපාලනය පටන් ගන්නේ පහළ ම තැනෙන්?

ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් '91 ප්‍රාදේශීය සභා ඡන්දයට ආ මම රිදීගම ප්‍රාදේශීය සභාවේ සභාපති වුණා. අනතුරුව වයඹ පළාත් සභාවට තේරුණා. '94 දී මුලින් ම පාර්ලිමේන්තු ආවා. දැන් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක විදිහට වැඩ කරනවා.

ප්‍ර: ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු අත්දැකීම් ඇති ඔබ දැන් ඉන්න තැන මදි වගේ නැද්ද?

මෙහෙමයි. දැන් තියෙන්නේ එජාප-ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවක්. යහපාලනය වෙනුවෙන් අපට යම් යම් කැපකිරීම් කරන්න වෙලා තියෙනවා. අනාගතයේ අපට නියම තැන ලැබෙයි කියලා හිතනවා.

ප්‍ර: යහපාලන ආණ්ඩුවේ දෙවසරක ගමන තරුණ මන්ත්‍රීවරයකු ලෙස ඔබට දැනෙන්නේ කොහොමද?

ජනවාරි 8වැනිදාට පෙර ජාත්‍යන්තර වශයෙන් රට ගැන තිබුණේ නරක චිත්‍රයක්. අපට බලපෑම් රැසක් තිබුණා.‍ ඉන්දියාවේ ඉඳලා අමෙරිකාව දක්වා ම අපට විරුද්ධවයි සිටියේ. ඒ තත්ත්වය කණපිට හැරු‍ණේ 2015 ජනවාරි 8වැනිදා ජයග්‍රහණයෙන් පස්සේ. ජීඑස්පී+ සහනය, යුරෝපා මසුන් තහනම ඉවත් කිරීම අනෙක් ජාත්‍යන්තර ජයග්‍රහණ. රටක් විදිහට ගත්තා ම ජනතාව හිටියෙත් ලොකු පීඩනයකින්. එදා තිබුණේ පවුල්වාදය රජ කළ, ඒකාධිපතිවාදය කරා ගමන් ගනිමින් තිබූ රටක්. ඒත් අද ‍ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ස්ථාපිත වෙලා. මාධ්‍ය නිදහස් වෙලා. ජනාධිපතිට අගමැතිට වුණත් බණින්න පුළුවන් විදිහේ නිදහසක් තියෙනවා. උද්ඝෝෂණ - විරෝධතාවලට ඉඩ ලැබිලා. සුදු වෑන් නැහැ.

ප්‍ර: ඔබතුමා ඔහොම කීවාට ජනතාව ඉන්නේ සතුටින් නෙමෙයි නේද? ජීවන බර අහස උසට නැඟලා.

ඒ කතාව පිළිගන්න බැහැ. අද ජීවන බර වැඩියි කියන්නේ කොහොමද? රාජපක්ෂ යුගයේ බඩු මිල දවස ගාණේ ඉහළ ගියා. යුද්දෙ ඉවර වෙලාවත් ඉන්ධන මිල බැස්සුවේ නැහැ. අද අපි ලෝකයේ තෙල් මිල අඩු ම රටක්. ගෑස් සිලින්ඩරේ සියයට 50කින් විතර අඩු කළා. රජයේ සේවක පඩි 10,000කින් වැඩි කළා. ඒත් ඒකාබද්ධය බොරු ප්‍රචාර ගෙන යනවා. ජනතාවට දැනෙන සහන ගණනක් අපි දීලා තියෙනවා.

ප්‍ර: සහන දෙනවා තමයි. අනෙක් පැත්තෙන් බදු ගහනවා?

අපේ රටේ බදු ගෙවන්නේ කී දෙනා ද? සාමාන්‍ය මිනිස්සුන්ට බදු ප්‍රශ්න නැහැ.

ප්‍ර: එතකොට වැට්?

එදා වැට් බද්ද අදට වැඩි ගාණක් අය කළානෙ. මහින්ද රාජපක්ෂ අපට ණය කන්දක් උරුම කළා. ඒවා ගෙවන්න එපායැ. වෙන ආදායම් මාර්ග නැහැනෙ. ඉතින් බදු ගහන්න වෙනවා. මාධ්‍ය ඇතැම් දේ ලොකු කරලා පෙන්වනවා.

ප්‍ර: ඇතැමුන් අහනවා බදු ගැහැව්වාට එදා තිබුණු සංවර්ධනය කෝ කියලා?

ඒකාබද්ධය මොනවා කීවත් ගම් මට්ටමින් බිම් මට්ටමින් රජය විශාල සංවර්ධනයක් කරගෙන යනවා. මම මේ දෙවසරට මගේ මැතිවරණ බලප්‍රදේශයේ කෝටි 500ක වැ‍‍ඩ අවසන් කළා. ඒවා මහ පරිමාණ ව්‍යාපෘති නොවෙයි. ඒත් නිවාස, මාර්ග, පානීය ජලය වැනි ජනතාවට අත්‍යවශ්‍ය ව්‍යාපෘති. ඒ නිසා සමහරක් මේවා දන්නේ නැහැ. මධ්‍යම අධිවේගය වැනි මහා පරිමාණ ව්‍යාපෘතිත් දැන් පටන් අරන්.

ප්‍ර: යහපාලන ආණ්ඩුවේ ගමන ගැන සන්තෝෂ ද?

සතුටු වන තැන් වගේම අසතුටු තැනුත් තියෙනවා.

ප්‍ර: මොනවා ද අප්පේ ඒ?

දැන් තියෙන්නේ ජාතික ආණ්ඩුවක්නෙ‍. ගම් මට්ටමේ පාක්ෂිකයෝ මේකට මනාප නැහැ. හැමෝම කැමැති තමන්ගේ පක්ෂයේ තනි ආණ්ඩුවකට. අපිත් කැමැති ඒකට. ඒත් රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳා ගන්න අපට ජාතික ආණ්ඩුවකට යන්න වෙලා තියෙනවා. අපි රට ගැන හිතා කැප කිරීම් ගණනාවක් කරලා තමයි මේ විදිහට ඉන්නේ.

ප්‍ර: ජනවාරි ජයග්‍රහණයට කැප වූ ඔබතුමන්ලා එළියේ. අනෙක් පැත්තෙ හිටිය අය කැබිනෙට්ටුවේ. මේ ගැනත් කලකිරීම් ඇති.

මම මුලින් ම පාර්ලිමේන්තු ආවේ '94දී. එදා ඉඳන් ජනාධිපතිවරණ, මහ මැතිවරණ පමණක් ‍නොව සමුපකාර ඡන්ද පවා පක්ෂයට දිනා දුන්නා. මැති ඇමැතිකම් කරන අයට වඩා අපි මනාප අරන් තියෙනවා. ඒ නිසා ජනතාව බලා ඉන්නවා ඇමැතිකම් ලැබිලා අප ඔවුන් වෙනුවෙන් මීට වැඩි වැඩක් කරයි කියලා. ඉදිරියේ දී බලමු. අපේ ආණ්ඩුවකින් අපට නියම තැන ලැබෙයි කියලා හිතනවා.

ප්‍ර: ලැබු‍ණොත් හොඳ කොයිකද?

ජනතාවට සේවය කරන්න ලැබෙන මොන දේ වුණත් අප වගකීමෙන් කරනවා. දිස්ත්‍රික්කයට විතරක් නොවෙයි ර‍ට ම වැඩ කරන්න අප කැමැත්තෙන් ඉන්නවා.

ප්‍ර: එජාපය අලුත් වෙනසකට ලැහැස්ති වෙනවා කියලා ආරංචියි. ඇත්ත ඒවා?

එහෙම මාධ්‍ය වාර්තා පළ වුණා. ඒත් පසුගිය කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී එවැන්නක් වුණේ නැහැ. පක්ෂයක් විදිහට ඉස්සරහට යද්දී සුදුස්සන්ට තැන දෙන්න මේ වගේ දේවල් කළ යුතුයි. ඒකෙ ‍අමුතු දෙයක් නැහැ.

ප්‍ර: පුංචි ඡන්දයට ඇයි මේ බාලගිරි දෝෂය?

ඒක වෙන්නේ අපේ වරදක් නිසා නොවෙයි. කො‍හොම වුණත් මේ වසරේ ඡන්දය තියයි.

ප්‍ර: කොහොමද දිනයිද?

අපි උඩින් ම දිනනවා.

ප්‍ර: ඒත් ඔබේ දිස්ත්‍රික්කයේ ම මන්ත්‍රීවරයකු වූ හිටපු ජනාධිපති කියනවා මේ ආණ්ඩුව තියෙන්නේ වෙසක් පෝය දෙකයි කියලා...

මහින්ද මහත්තයා කාලෙක ඉඳන් ඔහොම කතා කියනවා. ඒකාබද්ධ විපක්ෂයත් පෝය ගැණ ගැණ ඉන්නවා. මිනිස්සු රඳවා ගන්නත් එපායැ. ඔවුන්ට දැන් මේවා අහලා එපා වෙලා.

ප්‍ර: එතකොට 2020 එන්නෙත් හවුල් ආණ්ඩුවක් ද?

මම හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. 2020 වෙන තුරු මේක මෙහෙම ගියත් ඉන් පස්සේ අපේ බලාපොරොත්තුව ශක්තිමත් එජාප ආණ්ඩුවක් හදන්නයි. ඒත් දැන් ම ඒ ගැන කියන්න බැහැ.

ප්‍ර: 2020 ජනාධිපති අපේක්ෂකයා කවුද? මෛත්‍රීපාල ජනාධිපතිතුමා මද?

එතුමා ශ්‍රීලනිපයෙනෙ. අගමැතිතුමා අපේ පක්ෂයේ අපේක්ෂකයා වුණොත් අපි එතුමා දිනවන්න කැපවෙනවා.

ප්‍ර: ජනාධිපතිතුමා යළි පොදු අපේක්ෂකයා විදිහට ආවොත්?

ඒක ඉතින් එදාට බලමු.

සේයා- චින්තක කුමාරසිංහ

Comments