
තවමත් යන්තමින් ලේ බිඳු මතුවන අතැඟිල්ලට කුඩා වෙළුම් පටියක් දමා ගත් නරේන්ද්‍ර සෙමෙන් සෙමෙන් පහත මාලයේ ආලින්දය පසක මැනවින් තුරුලිය සෙවණ ලබන ආසන අසලට ගියේ මේ පත්තරකාරයා පැමිණ ඇත්තේ කුමක් විමසන්නදැයි කල්පනා කරමිනි. මින් දෙසතියකට පෙර මේ දෙදෙනා සේවය කරන සතිඅන්ත ජාතික පුවත්පතේ වෙනත් දෙදෙනකු සම්මුඛ සාකච්ඡාවක් සඳහා කාලය ඉල්ලූ විට නරේන්ද්‍ර එය ප්‍රතික්ෂේප කළේ පාර්ලිමේන්තුවේ රාජකාරි සමඟ කාර්යබහුලව සිටියෙනි.
තමන් වෙත එමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඡායාරූපයකට කැමරා ශිල්පියා කැමරාව දෙනෙතට ළංකර ගත්තේය.
“මන්ත්‍රීතුමාගෙ අත දැන්ද තුවාල වුණේ?” අනතුරුව ඔහු ඇසුවේ තරමක් පුදුමයෙනි.
“අත විතරක් නෙමේ හිතත් තුවාල වුණා කාලිංග.”
නරේන්ද්‍ර රාජඍෂිගේ නොසතුටු දෙනෙත ළඟ නොනැවතී කාලිංගගේ කැමරාවට මුහුණ දුන්නේ සිනාවක් පාමිනි. එවැනි ප්‍රශ්න පිළිතුරු අතිශයින් පෞද්ගලිකයයි සිතුවිල්ලක් රාජඍෂි කලබලයට පත් කරන්නට ඇතැයි නරේන්ද්‍ර තීරණය කළේ රාජඍෂිගේ ගති සොබා මැනවින් දැන හඳුනා ගෙන සිටීමෙනි.
“එහෙම නම් අපි අද තුවාල වුණ හිත ගැන කතා කරමු මන්ත්‍රිතුමා.”
පුවත්පත් කලාවේදියා යෝජනා කළේ විකිණිය හැකි අෙලවියක් ඇති අනඟිි මැණිකක් දෝතට ඒමේ සන්තුෂ්ටියෙනි.
“පිස්සුද මාලක. මං විහිළුවක් කළේ.”
“මන්ත්‍රිතුමා හොඳ විහිළුකාරයෙක් කියලා මුළු රටම කියන්නෙ ඔය වගෙ ලස්සන කතා හින්දනෙ.”
නරේන්ද්‍ර මාලක පුවත්පත් කලාවේදියාගේ අත වූ පටිගතකරණය දෙස පරීක්ෂාවෙන් බැලුවේය. ඉතා කුඩා විදුලි බුබුළක් දැල්වෙමින් විය. ඔහු ඔහුගේ කාර්යය ආරම්භ කර ඇත.
“ඇත්ත මං විහිළුකාරයෙක් වෙන්නැති. ඒත් මං රටට ජනතාවට විහිළු කරන්නෙ නැහැ. මං විහිළු කර ගන්නෙ මටමයි.”
එසේ කී නරේන්ද්‍ර මාලක ඉදිරියේ අසුනෙහි හිඳ ගත්තේ ව්‍යාජ ගැඹුරක් දෙනෙතට කැඳවා ගෙනය. අසන්නට සිතා සිටි ප්‍රශ්න මාලකට අමතක විය.
“සර්ගෙ හිතේ තුවාලෙත් ඔය විහිළුවල කොටසක් මද? නැත්නම් කවුරු හරි...”
“අනේ මේ පත්තරකාරයින්ටත් එපා ඉඏව්වක් නැහැනෙ. කරුණාකරලා මගෙන් දැන ගන්න ඕන මොනවද කියන්නකො මාලක. ඉස්සර කතා පරණ කතා දැන් මොකටද?”
නරේන්ද්‍ර මාලක හා මිත්‍රශිලී වීමේ උත්සාහයක් ගත්ත ද පුවත්පත් කලාව පිළිබඳ අප්‍රසාදයක් සිහින් ලෙස පිට කිරීමට ද සිතුවේය. මාලක නිර්භීත පුවත්පත් කලාවේදියෙකැයි නමක් දිනා ගත්තෙකි. ඔහු සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡාව ගැන ඇසූ රවිහාරී කීවේ පරිස්සම් වන්නටය.
මේ රටේ පරිස්සම් විය යුත්තේ පාර්ලිමේන්තු නියෝජිතයන් නොව පුවත්පත් කලාවේදීන් යයි මතයක් දේශපාලනඥයන් තුළ ඇති බව රවිහාරි නොදන්නවා වීමට පුළුවන. ජනතාව රටේ පාලනය භාර දී ඇත්තේ පුවත්පත් කලාවේදීන්ට නොවේ... ස්වකීය බල ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයාටය. ප්‍රජාතන්ත්‍රවාදී බොලඳ කතා තුළ “පත්තර නිදහස” තිබිය යුතු යයි සියලු නියෝජිතයන් හඬ ගෑව ද එවන් නිදහසක් නොතිබේනම් වඩාත් හොඳ බව හැම දෙනාගේම පොදු අදහසයි.
“මාලක, මං දන්නවා ඔයා කෙළින් ප්‍රශ්න කරන කෙනෙක් බව. මාත් කෙළින් උත්තර දෙන මිනිහෙක්. තුවාල වුණ හිත් ගැන කතා කරන්න ඕන. ඒත් මේ වෙලාවෙ නෙමේ. අපි පස්සෙ නිවාඩු වෙලාවක ඒ ගැන කතා කරමු. මං වගේම හිතේ තුවාල තියෙන අය පාර්ලිමේන්තුවෙ හුඟක් ඉන්නවා. ඒවත් ප්‍රශ්න කළ යුතු කාරණා.”
නරේන්ද්‍ර මන්ත්‍රීවරයා අතීතාවර්ජනයක් හා බැඳුණ සිතින් සංවේදී වෙමින් සිටිනා සැටියක් මාලක දුටුවේය. ඒ සංවේදී මුහුණෙහි සමීප රූප ගන්නා ලෙස ඔහු කාලිංගට කීවේ බැල්මෙනි.
“මේ වචන ටේප් කර ගන්න එපා. ඔය දෙන්නට දැනගන්න කියන්නෙ ජීවිත බිඳ වැටීම් අපි කාටත් තියෙනවා. ඒක තමා ජීවිත පැවැත්මේ සත්‍යය. ඒත් අපි ඒක පිළිගන්නෙ නැහැ. මාලක මං දන්නා තරමින් ජීවිතයේ සත්‍යය සොයන්නට බැබළෙන තරුණ අවධියේදීම ගෙයින් එළියට බැස්ස මනුෂ්‍යයා සිද්ධාර්ථ කුමාරයා. එතුමා සොයා ගත්ත සත්‍ය හතර, අපි කියන්නෙ චතුරාර්ය සත්‍ය කියලනෙ. ඒ හතරෙන් තමා මේ ලෝකය, මේ ජීවිතය, දුක මත පවතින බව අපට වටහා ගන්න පුළුවන්. ඒකනෙ අපි හිතින් විඳවන්නෙ. ඔයාට වුණත් එච්චරයි.”
මාලක අන්දුන්කුන්දුන් විය. දේශපාලනඥයා තමාට ඇනුම් පදයක් එල්ල කළේ ද? මේ දිනවල නතාලියා පෙම්වතිය ඔහු අතහැර දැමීමට සූදානම් වන බව ඇගේ යෙහෙළියන් ඔහුට අනතුරු හඟවා ඇත. එම අනතුරු හැඟවීම විසඳිය නොහැකි දුකක්, පීඩාවක්, දොම්නසක් ව තම හිත දරුණු ලෙස ශෝකයට පත් කර ඇති බව මේ දේශපාලනඥයා දැන ගන්නේ කෙසේ ද?
“මාලක මේ වචන ටේප් කරගන්න එපා. හිතේ තියාගන්නකො.
ලෝකය පවතින්නෙ දුක මත. ලෝකයේ ඉදිරි ගමන දුක. දුක ඇති වෙන්නෙ බැඳීම් නිසා. ලෞකික ජීවිත ගත කරන කොයි මිනිහට ද පුළුවන් බැඳීම් නැතිව ජීවත්වෙන්න? බැඳීම් තියා ගන්න එපා කියලා අනිත් අයට අවවාද කරන දෙබිඩි මිනිස්සු තමන්ගෙ බැඳීම් නිසා පැණි හැළියට වැටුණ ඇඹලයො වගේ වෙනවා. දැන් ඔය ඇති. දැන් අපි සාකච්ඡාව පටන් ගනිමු.”
රාජඍෂි නරේන්ද්‍රට සවන් දෙමින් සිටියේ නුරුස්නාවත් ශෝකයත් සිත ඇතිවය. පුවත්පතින් පැමිණ සිටින්නේ ධර්ම සාකච්ඡාවකට නොවේ. දේශපාලනඥයෙකු වශයෙන් ඔහු සමඟ කාලීන දේශපාලනය ගැනත් ඒ හා බැඳුණ විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳවත් පුළුල් සාකච්ඡාවකටය.
ඔහු ඒ කෙරෙහි සැලකිලිමත් නොවී වෙනත් මං ඔස්සේ යෑම තුළ පත්තරකරු කුමන විනිශ්චයකට එළඹේ ද? මේ දිනවල පුවත්පත් ආයතන ස්වකීය බලය සහ අලෙවිය ඉහළ අහසට නංවාලීමේ ප්‍රයත්නයක යෙදී සිටීම තුළ දේශපාලනඥයන් කුඩාවට පෙනීමක් සිදුව ඇත. සත්‍ය ගවේෂණයේදී සෑම පුරවැසියාම ඍජු ප්‍රතිපත්ති මත නැඟී සිටිය යුතු වුවත්, ජනතාව තෝරා ගත් නියෝජිතයා කුඩා කරන්නට යෑම පාරාවළල්ලක් වීමට ඇති ඉඩකඩ වැඩිය.
කළ යුත්තේ ස්වකීය නිවැරැදි දැක්ම මත පිහිටා දේශපාලනඥයා නිවැරැදි කිරීම මිස අන් කවරක් ද? බලය දේශපාලනයට අවශ්‍යමය. බල අරගලයේ මුග්ධ භාවයට ද්වේෂයෙන් තොරව පහර ගැසීම පුවත්පතක යුතුකම හා වගකීම නොවේයයි කීමට නුපුළුවන. රාජඍෂි දුර කල්පනාවකය.
තමා ඉදිරියේ නරේන්ද්‍ර දේශපාලනඥයාට සමීපව සිටින තරුණයා ඔහුගේ අනුප්‍රාප්තිකයා වීමේ වරම් ලැබු ඥාති පුත්‍රයා විය හැකි යයි මාලක සිතුවේ ඇසූ පිරූ කතා සිහියට නංවාගෙනය. ඔහුගේ පෙනුමට දෙනෙතට ගැඹුරක් වියත් බවත් ඇත.
මාධ්‍ය ජාලයේ පූර්ව ඉඟි බිඟි අනුව නිසැක වශයෙන්ම මේ නරේන්ද්‍රගේ අනුප්‍රාප්තිකයාය.
“මාලකට විශේෂයෙන් මොනවද මගෙන් දැනගන්න ඕන?”
පත්තරකරුගේ උකුසු දෙනෙත් රාජඍෂි වෙත රහසින් යොමු වනු නරේන්ද්‍රට රහසක් වූයේ නැත. පත්තරකරුවෝ පුවත් මවති. අවශ්‍ය වූ විට සත්‍යයට අං යුවළක් පැලඳවීමට ඔවුනට පුළුවන. අසත්‍යයට ඔටුනු පැලඳවීමට ද පුළුවන. ලොව වෙනත් රටවල මාධ්‍ය සදාචාරයන්ට වඩා තවමත් තම මවුබිමෙහි බොහෝ මාධ්‍යකරුවන් සදාචාරාත්මක මාධ්‍ය කලාවක නිරතව සිටින බව නරේන්ද්‍රගේ පිළිගැනීමයි.
“මන්ත්‍රීතුමා මේ පවතින දේශපාලනයට එච්චර කැමැති නැහැ කියලයි ජනතාව කියන්නෙ?”
“මාලක ජනතාව බොරු කියනවා. ඒ බොරු ඔයාල විශ්වාස කරන එක රටට හානියක්.”
“එතකොට... ජනතාව කියන්නෙ බොරු කියලද ඔබතුමා කියන්නෙ?”
“අමූලික බොරු. මං මේ ක්‍රමයට කොහොමටවත් කැමැති නෑ. අංශු මාත්‍රයක්වත් කැමැති නැහැ. මගේ අකැමැත්ත එහෙම නම් ජනතාව කොහොමද කියන්නෙ එච්චර කැමති නැති කතාවක්. එච්චර, අච්චර, මෙච්චර කතා නිෂ්ඵලයි.”
“ඔබතුමා කැමැති දේශපාලන යථාර්ථයක් තියෙනව ද?”
මාලක ඇසුවේ සඟවාගත් හාස්‍යයක් ඇතිවය. නරේන්ද්‍රට ඔහුගේ සැඟවිල්ල රහසක් වූයේ නැත. යථාර්ථයට සිනාසීමේ හෝ හෑල්ලුවට ලක්කිරීමේ මෝඩ සොබාව පිළිබඳ අර්ථකථන දීම අවශ්‍ය නැතැයි නරේන්ද්‍රට සිතිණි. එහෙත් ජනතාව විසින් හොඳින් වටහා ගත යුතු යථාර්ථය කුමක්දැයි කීම යහපතට හේතුවකි.
“මාලක දේශපාලනයේ යථාර්ථය තමා ජනතාවගේ නිවැරැදි අභිලාෂයන්, රාජ්‍යයේ ස්ථාවර භාවය, රටේ ප්‍රෞඪත්වය, අනාගත පරම්පරාවන්ගේ කායික මානසික නිදහස. මේ කාලෙ හැටියට ගෝලීයකරණ් යවන ලෝකයේ රටට හිමි තැන ආරක්ෂා කර ගැනීම.”
යථාර්ථවාදී දේශපාලනය පිළිබඳ තව කොතෙක් නම් අර්ථ දැක්විය හැකි ද? ඉතාමත් සරලව පෙනෙන යමක ඇති ගැඹුර ජාතියක් නඟා සිටුවීමට හෝ වනසා දැමීමට හේතු වන සැටි න්‍යායාත්මකව මෙන් ම ප්‍රායෝගිකව හඳුනා ගැනීමේ ශක්තිය කාලීන යුගයේ බරපතළ ගැටලුව වී ඇතැයි පැවසීම මාලක කෙසේ නම් මාධ්‍යයට ඉදිරිපත් කරනු ඇද්ද?
මේ භූමිය හාත්පසින්ම මුහුදින් වටවී ඇත. රට තුළ විවිධ භාෂා ඇතැයි පැවසුව ද ඇත්තේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුන පමණි. ස්වකීය මවුබස හදවතේ භාෂාව ලෙස හදාරන දරුවාට මිත්‍රත්වයේ බස දෙමළ ලෙසත් දැනුමේ බස ඉංග්‍රිසි ලෙසත් හඳුන්වා දීම පාසල් අධ්‍යාපනයෙන් විය යුත්තකි.
සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් කවර ප්‍රශ්න ගැටලු අභියෝග තිබුණත් සාමූහිකව ජීවත්වීම අගය කරන සැටියක්ද ඇත.
මේ සමඟිය භේදභින්න කර භූමිය බෙදා ගැනීමට දෙමළ මුස්ලිම් ජනතාව පෙලඹවීමෙන් අධිරාජ්‍යවාදීන්ගේ බොහෝ බලාපොරොත්තු ඉටුවන බව පාලකයන් වටහා ගැනීම රටේ අනාගත සමඟිය නොවේ ද?
“මාලක, ටේප් කරගන්නකො මගෙ දේශපාලන යථාර්ථයේ ඉතුරු අර්ථය. මිනිස්සු හිතේ කහටක් නැතිව, ශක්තිමත් විදිහට, එකිනෙකට ළංවෙලා, හරියට වැව් බැම්මක් වගේ නැඟී හිටිනවා දකින්න මං කැමැතියි. අපි වැටෙන්න ඕන ජාතියක් නෙමේ. විශේෂයෙන් සිංහලයා වැටෙන්න වැටෙන්න නැගිටපු ජාතියක්.”
“හැම දේශපාලනඥයෙක්ම ඔය කතාව කියනවා.”
“මාලක බඩේ බිත්තර තියාගෙන රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. දේශපාලනඥයා කියන්නෙ කිකිළියන් බිත්තර දාපුවම හඬලන්න ඉන්න කුකුළෙක් නෙමේ.”
උපමාව ඇසූ පත්තර මුවින් මහා සිනා හඬක් මතු විය. ඡායාරූප ශිල්පියාට ද හිනාව නවතා ගත නොහැකි විය.
නරේන්ද්‍රගේ සොහොයුරියකගේ දියණියක් දෙමළ දේශපාලනඥයෙකු හා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ යයි ෆේස්බුක් මත රඟ දෙන නව ප්‍රබෝධයක් පිළිබඳව ඔහුගෙන් ඇසිය යුතු ද නැද්දැයි කිසියම් දෙගිඩියාවක් ඇතිව මොහොතක් නිහඬව සිටි මාලක ඊළඟ මොහොතේ ප්‍රශ්නයට ප්‍රාණය දුන්නේය.
“මන්ත්‍රීතුමා ජාතිවාදියෙක් නූනට උග්‍ර දේශප්‍රේමියෙක් කියලයි ජනතාව හඳුන්වන්නෙ. එහෙමනම් ඇයි තමන්ගෙ ඥාතිවරියක් දෙමළ මන්ත්‍රී කෙනෙක් බඳිනවට කැමැති?”
“මොකක්ද ඒ මංගල කතාව? මගේ ඥාතිවරියක් දෙමළ මන්ත්‍රී කෙනෙක් බැන්දා කියලා කාටද අමාරු? ඒවා මේ රටට නුහුරු නෑ”
“ෆේස්බුක් එකෙක් ලෝකෙ පුරා යන කතාවක්.”
“මංගල යෝජනාව පැත්තකට දාන්නකො. මේ භූමියේ දේශප්‍රේමියෙක් වෙන්න දෙමළ මිනිහකුට බැරි ද? මුස්ලිම් මිනිහෙකුට බැරි ද?”
“නෑ අපේ ගැටලුව?”
“නෑ. නෑ. මාලක කිසිම ගැටලුවක් නෑ. කෙල්ල කැමති නම් කොල්ලා කැමති නම් ඒක දෛවය. අනුන්ගෙ දෛවයට අත පොවන්න මට අයිතියක් නෑ. සමහර වෙලාවට අපිට අපේ දෛවයට අත පොවා ගන්නත් බැරි වෙනවා.”
“ඔබතුමා කතා කරන්නෙ ජීවිතේ ගැන කලකිරිලා වගේ.”
“නෑ මං ජීවිතේ ගැන නෙමේ මාධ්‍ය ගැන කලකිරිලා.”
නරේන්ද්‍ර කීවේ විහිළුවෙනි. ඉන් පසු ඔව්හු තවත් බොහෝ දේ ගැන කතා කළහ. එහි අවසානයේ නරේන්ද්‍ර කැමරා ශිල්පියාට කීවේ ගත් ඡායාරූප කිහිපයක් තමාට ද ගෙනැවිත් දෙන ලෙසය.