
අපේ රට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති යුගයේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ වතුමුර සංචාරය සඳහා ආරම්භ කෙරුණු පොලීසිය පසුව ‘සිලෝන් පොලිස්’ ලෙසින් හැඳින්විණ. එතැන් පටන් යුගයෙන් යුගය නිල ඇඳුම වෙනස් කරමින් ජනරජයක් බවට පත්වන තුරු ‘සිලෝන් පොලිස්’ නාමය භාවිත විය.
එම යුගයේ පොලිස් නිලධාරින්ගේ නිල ඇඳුම්වල සියලුම ලාංඡන සැකසුණේ බ්‍රිතාන්‍ය ඔටුන්නේ සංකේතය ඇතුළත්වය. ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසු පොලීසියේ නිල නාමය ශ්‍රී ලංකා පොලීසිය යනුවෙන් වෙනස්වී නිල ලාංඡනය ද දේශීය ආකාරයෙන් නිර්මාණය විය.
වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසියට ලක්ෂයකට ආසන්න නිලධාරීහු සංඛ්‍යාවක් අනුයුක්තව සිටිති. මේ සැම කුමන හෝ ආකාරයක නිල ලාංඡනයක් හෝ පදක්කමක් පලඳිති. මේ නිල ලාංඡන හා පදක්කම් බොහොමයක් නිර්මාණය වී ඇත්තේ පොලිස් නිලධාරියකු අතින් වීම සුවිශේෂය. වසර 36ක සේවා කාලයකින් පසු දැන් විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු ඩී.එම්. තිලක සරත් දිසානායක මහතාය. හාරිස්පත්තුවේ - කටුගස්තොට පදිංචි ඔහු දැන් 76 හැවිරිදිය. විශ්‍රාම ගොස් වසර දාහතකට ආසන්නය.
පොලිස්පතිවරයාගේ සිට පහළ ම ශ්‍රේණියේ නිලධාරියා තෙක් සියලුම පොලිස් නිලධාරීහු සිය නිල ඇඳුමේ කොටසක් ලෙස හිස්වැසුම් පලඳිති. එම හිස් වැසුමේ සවි කෙරෙන ඇත්රුව ඇති ‘ශ්‍රී ලංකා පොලිසිය’ සඳහන් ධම්ම චක්‍රය සහිත “ධම්මෝහවේ රක්ඛති ධම්ම ාරි” යන බුදු වදන සහිත නිල ලාංඡනය දිසානායක මහතාගේ නිර්මාණයකි. මෙම නිල ලාංඡනය නිර්මාණය කිරීමේදී ඇතුළත් කළ බුදුවදන කාලෝචිත බව පවසා එය සනාථ කර ඇත්තේ එවකට ලියන්ගස්තැන්න රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ පසුව අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහනායක ධුරය දරා අපවත්ව වදාළ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමි විසින් බව ඔහු පවසයි.
මෙම නිල ලාංඡනය නිර්මාණය කළේ ක්‍රි.ව. 1982 - 1985 අතර කාලයේ පොලිස්පතිව සිටි රුද්‍රා රාජසිංහ මහතාගේ අවදියේදී බවද ඔහු සිහිපත් කළේය.
“හිස්වැසුම් ලාංඡනය පළමුව වෙනස් කලේ පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතා සිටි අවදියේ. එදා හිස් වැසුමේ තිබූ ලාංඡනයේ බ්‍රිතාන්‍ය ඔටුන්න අයින් කර දේශයේ ඔටුන්න යොදා හොඬය බිමට හෙළා තිබූ ඇතාගේ හොඬය උස්සා ආචාරකරනා ආකාරයට නිර්මාණය කර “සිලෝන් පොලිස්” යනුවෙන් නිර්මාණය කළ. දෙවැනි වර මෙම ලාංඡනය සැකසීමට ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු පොලිස්පතිව සටි රුද්‍රා රාජසිංහ මහතා කලාකරුවන් රැසකගේ නිර්මාණ රැස් කළා. එවකට මා සිටි ආධුනිකයන් බඳවා ගන්නා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඇම්. සිරිවර්ධන මහාතගේ ඉල්ලීම පරිදි මාත් නිර්මාණ පනස් හතරක් ඉදිරිපත් කළා. මේ සඳහා දින පහක නිවාඩුවක් පොලිස් අධිකාරිතුමා ලබා දුන්නා. මම ගෙදර ඇවිත් ඇම්බැක්ක, ගඩලාදෙණිය ආදී පැරැණි රජමහා විහාර දේවාල රැසකට ගොස් කැටයම් නිරීක්ෂණය කර වර්තමානයේ හිස් වැසුමට සවිකළ ලාංඡනය නිර්මාණය කළා. ලාංඡනයේ උඩට ධර්ම චක්‍රය ඇතුළත් කොට දෙපසට වී කරල් රුව යොදා හොඬය උස්සා ආචාර කෙරෙන ඇතාගේ රූපය ඇතුළත් කොට ලාංඡනයේ පහතට සහ ඉහළට මල් වැල්යොදා පහළින් ශ්‍රී ලංකා පොලිසිය යනුවෙන් සටහන් කර ඇත් රූපය වටා යෙදිය යුතු අර්ථවත් වදන ගැන උපදෙස් ගැනීමට ලියන්ගස්තැන්න රජමහා විහාරයේ නාහිමි හමුවීමට ගියා.
එදා විහාරාධිපති හිමිව වැඩසිටියේ පසුව අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක වී වැඩ වාසය කළ අපවත්වී වදාළ පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියි. යුගයේ විදිහට කාලෝචිත බුදුවදන මෙය බව පවසා “ධම්මෝභවේ රක්ඛති ධම්මචාරි” යන බුදුවදන ලාංඡනයට ඇතුළත් කරන ලෙසට උපදෙස් දුන්නා. එය ඇතුළත් කර නිර්මාණය කළ හිස්වැසුම් ලාංඡනය පොලිස්පතිතුමා විසින් තෝරා ගැනීමෙන් පසු එම ලාංඡනය මේ වනතෙක් පොලීසිය භාවිතා කරනවා.”
පොලිස් හිස් වැසුමේ ලාංඡනයට අමතරව දිසානායක මහතා පොලිසිය සඳහා ඒ ඒ කාලයන්හි සිටි පොලිස්පතිවරුන්ගේ ඉල්ලීම් පරිදි පොලිස් පදක්කම් කීපයක් ම නිර්මාණය කළේය. පොලිස් ජනරජ පදක්කම, පොලිසියට වසර 125ක් සපිරුණු දා ලබාදුන් සංවත්සර පදක්කම හා දීර්ඝ සේවා පදක්කම ද ඒ අතර වේ.
අංක එක නිල ඇඳුමට වර්තමානයේ සියලුම නිලධාරීන් පලඳින කරපටියේ කළු වර්ණය වෙනස් කර නිල් පාට කරපටියත් සුදුපාටින් හිස් වැසුමට වර්තමානයේ පලඳින ලාංඡනයේ රුව සුදුපාටින් මුද්‍රණය කර සෑදීමත් මාගේ නිර්මාණයක්. මීට අමතරව එදා පොලිසියේ පැවැති උත්සවවල කලා නිර්මාණ සැරසිලි ද මාගේ නිර්මාණයි. මා නිර්මාණ කළ සියලුම අවස්ථාවලදී හිටපු පොලිස්පතිවරුන් මා ඔවුන්ගේ කාර්යාල වෙත වරින් වර ගෙන්වා අතට අතදී සතුට ප්‍රකාශ කළා මිස ත්‍යාග හෝ උසස්වීම් කිසිවක් මට ලබාදුන්නේ නෑ. අද මම විශ්‍රාම ගියත් මගේ නිර්මාණ පලඳින පොලිස් නිලධාරීන් දකිනට විට ලොකු සතුටක් ලැබෙනවා.
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා වරක් ගම් උදාවල මා විසින් කරනු ලැබූ ගොඩනැඟිලි නිර්මාණ දැක ප්‍රශංසා කළා. මට අවශ්‍ය මොනවාදැයි ඇහුවා.”
දිසානායක මහතා පවසන පරිදි ඔහු සිය ජීවිතයේ තෝරාගත් එකම වෘත්තීය වන්නේ පොලිසියේ රාජකාරියයි. පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වූ ඔහු විශ්‍රාම ගියේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසය.
“එදා අද වාගේ නොවෙයි. පොලීසියට එක්වරකට බඳවා ගන්නේ සුළු පිරිසක්. හොඳම අධ්‍යාපන ක්‍රීඩා සහතිකය ඇති ගමේ පිළිගත් චරිතවත් පවුල්වලින් තමයි එදා පොලීසියට බඳවා ගන්නේ. එදා පොලිසියට අද වාෙග් නොවෙයි මහජනතාව හුඟාක් ගරු කළා.” යනුවෙන් ද දිසානායක මහතා පවසයි.
දූදරු මුනුපුරන්ගේ සුරතල් බලමින් දැහැමිව විශ්‍රාම දිවිය ගෙවන දිසානායක මහතා වත්මනෙහි ද කලා කටයුතුවල නියැළේ.