කතුන් වෙනු­වෙන් හඬ නැඟූ ලලිතා දිසා­නා­යක | සිළුමිණ

කතුන් වෙනු­වෙන් හඬ නැඟූ ලලිතා දිසා­නා­යක

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්ව දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ විවිධ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ සහ විවිධ ආයතනවල සේවය කළ ලලිතා දිසානායක මැතිනිය අප අතරින්ව වෙන්ව ගොස් අප්‍රේල් 4 දිනට වසර දෙකක් සපිරේ.

නියන්ගොඩ එම්. හේරත් ගුරු මාතාවට සහ ඩී.බී. හේරත් බැංකු නිලධාරි දෙමාපියන්ගේ දියණියක් ලෙස 1941 දී උපන් ලලිතාට, දෙමාපියන් පෙරමග පෙන්වූයේ අධ්‍යාපනයේ වටිනාකමට මුල්තැන දෙමිනි. ඇය මහනුවර උසස් බාලිකා විදුහලෙහි ආදි ශිෂ්‍යාවක් වූ අතර එහි දීප්තිමත් ශිෂ්‍ය නායිකාවක මෙන්ම, බාහිර ක්‍රියාකාරකම්වල නියතු දක්ෂ සිසුවියක වූවාය. ඇය 1960 දී එම විදුහලෙන් පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහිදී ද, අධ්‍යාපනයට මෙන්ම ක්‍රී‍ඩා වලටද, දස්කම් දැක්වූවා පමණක් නොව, ඇය මේස පන්දු ක්‍රීඩාවෙන් විශේෂ සමත්කම් දැක්වූවාය.

ගම්පල, වික්‍රමබාහු විද්‍යාලයේ හා ගැටඹේ මහා විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටිය දී, 1967 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වූවාය. 1977 දී සංවර්ධන පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සඳහා නෙදර්ලන්තයට ගිය ඇය, ශ්‍රී ලංකාවට පැමිණ සමාජසේවා දෙපාර්තමේන්තුවෙහි සහ කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙහි සේවය කරමින් 1980 මුල් භාගයේ මහවැලි සංවර්ධන අධිකාරියෙහි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළාය.

1990 දී අගනුවර සේවා ස්ථානය කරගත් ලලිතා දිසානායක මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගත්තාය. ඇයගේ රාජ්‍ය සේවා කාලයෙහි සුවිශේෂී ම කාර්යක් ඉටුකළ, කාන්තා කටයුතු අමාත්‍යංශයෙහි ලේකම් ධුරය, 1991 දී ලබා ගනිමින් ශ්‍රී ලාංකීය කාන්තාවන්ට විශේෂ වූ අණපනත්, අයිතිවාසිකම් ස්ථාපිත කර ගැනීම සඳහා ක්‍රියාශීලී මෙහෙවරක යෙදුනාය. කාන්තාවන් සඳහා සියලු ආකාරයේ හිංසනයන් දුරු කිරීම සඳහා වූ සෙ‍ඩෝ ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා ඇය ක්‍රියාකාරී වූවාය. එපමණක් නොව, ඇයගේ පශ්චාත් උපාධිය සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාවේ කාන්තාවන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයක යෙදුනු ඇය, එතැනින් නොනැවතී තම ප්‍රායෝගික සේවාව තුළ ද, එම දැනුම ඉතා විශාල ලෙස යොදා ගත්තාය.

කාන්තා අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම්වරිය ලෙසද, එම අමාත්‍යංශයේ ම කැබිනට් ලේකම්වරිය ලෙසද, දෙවරක් කටයුතු කළ ඇය, කාන්තා දිනයන්හි දී උත්සව කිරීමට පරිබාහිරව එවකට අමාත්‍යංශයේ සිටි අනෙකුත් නිලධාරීන්ගේ සහය ඇතිව විවිධ කාන්තා ව්‍යාපෘතීන් ප්‍රජාවට හඳුන්වා දීමට ද, කටයුතු කළාය. ඇය හදවතින්ම තම කාර්යන්ට කැපවූ නිලධාරිනියක් මෙන්ම, සත්ව කරුණාවේ උපරිම ආදර්ශයක් ද වූවාය.

ඇය කරන ලද කාර්යන්ට අවංක වූවා මෙන්ම රාජ්‍ය මුදල්, මහජනයා සතු මුදලක් ලෙස මහත් වගකීමක් සහිතව සේවය කළාය. ඇය ලංකාවේ ඕනෑම පළාතක කාලවේලා රහිතව කාන්තාවන් පිළිබඳ සමීක්ෂණවල නිරතවූ රාජ්‍ය නිලධාරිනියකි. උදාහරණයක් වශයෙන් අසීරු ක්‍රමවේද මත ලිංගික සේවිකාවන් පිළිබඳ කළ සමීක්ෂණයෙන් නව දත්තයන් ලබා ගැනීම වැදගත් වේ.

රාජ්‍ය සේවා කටයුතුවලට බැහැරව අත්හැර දමන ලද සුනඛයින්, බළලුන් ආදී සතුන්ට ආහාර හා නිවාස ලබා දීම සඳහා ඇය කටයුතු කළේ සත්ව හිංසාවන්ට ‍එරෙහි වීමට සියලුම ලාංකිකයන්ට ආදර්ශයක් සපයමිනි. ඒ අත්හැර දමනු ලැබූ සතුන්ට සහන සැලසීමට ඇය ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූවාය.

ආර්.බී. දිසානායක මහතා සමඟ විවාහ වී අනූෂා හා නිලක්ෂි යන දියණියන් දෙදෙනෙකුට මව වූවාය. ලලිතා දිසානායක මහත්මිය 1996 සිට 1998 දක්වා මහනුවර මූලික අයිතිවාසිකම් අධ්‍යයන කේන්ද්‍රයෙහි ලේකම්වරිය ලෙස කටයුතු කළ අතර, 2004 දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් පසු ස්ත්‍රී පුරුෂ සමාජභාවය විෂය සමාජගත කිරීම උදෙසා උපදේශිකාවක් ලෙස කටයුතු කළාය. 2013 - 2014 කාලය තුළ මහනුවර උපාධිධාරී කාන්තා එකමුතුවේ සභාපතිවරිය ලෙස කටයුතු කරමින් සිට 2015 අප්‍රේල් 04 දින, වසර 73ක්, ආයුවලඳා දිවංගත වූයේ ශ්‍රී ලංකාවෙහි රාජ්‍ය සේවයෙහි කාන්තාවන්ට මහඟු ආදර්ශයක් වෙමිනි. 

Comments