
කියෑන් හොංයෑන් හුරුබුහුටි පුංචි කෙලි පොඩිත්තියක්. ඒ වෙද්දී ඇගේ වයස අවුරුදු හතරයි. බටහිර චීනයේ යුනාන් පළාතේ පදිංචි කියෑන් එදා පාරට ගියේ තමන්ගේ සීයා සමඟයි. එහෙත් නොසිතූ ලෙස ඇයට එදා තදබල අනතුරකට මුහුණ දෙන්න සිදුවුණා. වෙන්නේ කුමක්දැයි සිතා ගන්නවත් නොහැකි තරම් වේගයෙන් පැමිණි වාහනයක් ඇය යටකර ගෙන ගියා. ඒ අනතුරින් කියෑන් යන්තම් පණ රැක ගත්තේ වෛද්‍යවරුන්ට පින්සිදු වෙන්නයි. පණ රැක ගන්න වාසනාව ලැබුණත් එදායින් පසු කියෑන්ගේ ජීවිතය කණපිට පෙරළුණා. අනතුරින් පසු සුවය ලබා නිවෙසට පැමිණි මේ පුංචි කෙල්ලට ඉන්පසු ඇගේ යහළු යෙහෙළියන් සමඟ වෙනදා මෙන් දුව පැන ඇවිදින්න සෙල්ලම් කරන්න වාසනාව ලැබුණේ නැහැ. ඒ අනතුරින් දැඩි ලෙස හානි වූ ඇගේ දෙපා මුලින්ම කපා දැමීමට සිදු වූ නිසයි. පුංචි කියෑන් ඉන්පසු නිවෙසටම සීමා වුණා. යහළු යෙහෙළියන් මිදුලේ සෙල්ලම් කරද්දී කියෑන් ඒ දෙස බලා සිටියේ කදුළු පුරවා ගත් දෑසින්.
“අනේ සීයේ මට කවදාවත් සෙල්ලම් කරන්න බැරි වෙයිද?”
“මට ඉස්කෝලේ යන්න ඕනෑ” කියෑන් නිවෙසට වී හඬා වැටෙමින් විමසුවා.
කියෑන් ඉගෙනීමට දක්ෂයි. ඇය පාසල් යවන්න සීයාට මෙන්ම මවටත් පියාටත් අවශ්‍ය වුණත් ඒ සඳහා ඔවුන්ට පහසුකම් නැහැ. ඔවුන් ජීවිකාව ගෙනගියේ කපු වගාවෙන්. දුප්පත් ගොවීන් වූ ඔවුන්ට එදා වේල සරිකරගන්නවා හැරෙන්න වෙනත් දෙයක් කරන්න වත්කමක් තිබුණේ නැහැ. ඒත් කියෑන්ගේ සීයා කල්පනා කරලා කියෑන් පාසල් යවන්න ක්‍රමයක් සොයා ගත්තා.
ඔහු කළේ පරණ පැසි පන්දුවක් මඳක් උඩින් කපලා දෙපා නැති කියෑන් ගේ කඳ කොටස මේ බෝලයට රිංගවීමයි. දැන් කියෑන්ට මේ පැසිපන්දුවේ ආධාරයෙන් එහා මෙහා යා හැකියි. සීයා කියෑන්ට පුංචි බංකු දෙකක් සාදා දුන්නේ දෑතට ආධාරකයක් ලෙසයි. දැන් පුංචි සියෑන් මේ පැසිපන්දුවේ බැස පාසල් යනවා. 2000 වසරේදී වූ අනතුරින් පසු කියෑන් යළි එළියට බැස්සේ 2005 වසරේදීයි. ඒ වෙද්දී කියෑන් දස හැවිරිදියි.
මෙලෙස පැසිපන්දුවක නැගී පාසල් යන කියෑන් ගැන මුළු යුවාන් පළාතේත් ඉන්පසු චීනය පුරාත් පැතිරීමට වැඩි කලක් ගත වූයේ නැහැ. ඉන්පසු කියෑන් ගැන මුළු මහත් ලෝකය පුරාම පතළ වුණා. බෝලයක නැගී පාසල් යන මේ පුංචි කෙල්ල ගැන අපිත් එදා අපේ පාඨකයන් දැනුම්වත් කළා. චීනයේ බාස්කට් බෝල් කෙල්ල ලෙස මුළු ලෝකයම දන්නා කියෑන් දැන් සුන්දර තරුණියක්. දෑත් දෙපා අහිමිව ජීවිතයක් ජයගත් තරුණ යානිස් පසුගියදා අපේ රටට පැමිණි පසු කියෑන්ට දැන් කොහොමදැයි සොයා බැලීමට මට සිතුණා. ඒ බාස්කට් බෝල් කෙල්ල දැන් චීනයේ ආදර්ශවත් චරිතයක්.
චීනය ආබාධිතයන් ගැන කිසිම කතාබහක් නොවෙන රටක්. එහෙත් බාස්කට් බෝල් කෙල්ල ගැන ලෝකයේම ප්‍රසිද්ධ වීමත් සමඟ ඇය කෙරෙහි මුළු රටපුරා ඇතිවූයේ දැඩි කතාබහක්. කියෑන්ගේ ජීවිතයේත් වෙනසකට මුල පිරුණේ එලෙසයි. හැමතැනින්ම ආධාර හා උපකාර ගලා ඒමේ ප්‍රතිඵලයක් ලෙස සිය ගමෙන් සැතපුම් 1600කටත් වඩා දුරක් ගෙවා කියෑංට බීජිං අගනුවරට පැමිණීමේ වාසනාව උදාවුණා. ඇගේ පළමු කෘත්‍රිම පා යුගල ලැබුණේ බීජිංවලදීයි. එතැන් පටන් ඇය පා තබන සැම තැනකදීම ඇගේ කතාව මාධ්‍ය ආකර්ෂණය දිනා ගත්තා. එපමණක් නොවෙයි ඇය නිසා දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන චීන ආබාධිත ජනතාව ගැනත් සමාජයේ විශාල කතාබහකට මුල පිරුණා.
අාබාධිත වුවත් ජීවිතය එකතැනක ගෙවීමට අකැමැති වූ කියෑන්ට අවශ්‍ය වූයේ වැඩිදුර ඉගෙන ගැනීමටයි. අන් අයගේ උපකාරයෙන් උසස් පෙළ දක්වා ඉගෙන ගත් කියෑන් ආර්ථික අපහසුතා නිසා එතැනින් පසු ඉගෙනීමට තිත තැබුවා. එතැන් සිට ඇගේ ඉලක්කය වූයේ පිහිනුම් ශූරියක වීමයි.
ශරීරයේ කඳ කොටස පමණක් ඇතිව පිහිනීම ඇයට මුලදී අභියෝගයක් වුණා. එහෙත් අධෛර්යවත් වුණේ ඇය නොවෙයි.
“මට වතුරේ පාවීම හරිම දුෂ්කර වුණා. උත්සාහ කළ හැම විටම මා වතුරේ ගිලී වතුර පෙවුණා. ඒත් මං කොහොමහරි පීනන්න ඉගෙන ගන්නවාය යන අධිෂ්ඨානයේ හිටියා. අන්තිමට මං ජය ගත්තා.” පිහිනීමේ ඉලක්කය සපුරා ගත් ආකාරය ඇය මාධ්‍යයට විස්තර කර තිබුණේ එසේයි.
කියෑන් දැන් චීනයේ ආබාධිත පිහිනුම් ශූරියක්. ආබාධිතයන් සඳහා වන ඔලිම්පික් තරගාවලිය සඳහා චීනය කීප වාරයක්ම නියෝජනය කළ ඇය රන් හා රිදී පදක්කම් ගණනාවක්ම දිනා ගත්තා.
“මගේ ආබාධිතබව හේතුවක් කරගෙන පැත්තකට වී නොසිට කවදා හෝ මට දැඩි අභියෝගයක් වුණත් මං එය ජය ගත්තා.”
එලෙස ජීවිතය ජයගත් කියෑන් දැන් එරට ආබාධිත ජනතාවගේ සිතුම් පැතුම් වෙනස් කරන ඔවුන් මනසින් ශක්තිමත් කරන ආදර්ශවත් චරිතයක්. ඒ ඇය ඇගේ අසීරු ළමා අවදියේ සිට මේ දක්වා අප්‍රතිහත ධෛර්යෙන් හා නොපසුබස්නා වීර්යයෙන් යුතුව පැමිණි ගමන නිසායි.