
මැණික් සල්ලිවලට ආයුෂ අඩුයැයි කියමනක් තිබේ. මැණික් ලද පුද්ගලයා මසුරු නොවී පිරිමැස්මකින් තොරව වියදම් කරන බැවිනි. මැණික් ගරන්නා ද සිතන්නේ හැමදාම එක වගේ මැණික් ලැබෙනු ඇතැයි කියා ය. ඒ ලෙසම මීට දසක පහකට පමණ පෙර ඇළහැර මැණික් මතු වුණේ නොසිතුව විලසිනි. එකල ඇළහැර මැණික් ගැරීමට යන නඩ දින දෙක තුනේ මැණිකක් ගරාගෙන ගමට පැමිණෙති. එම මැණික් අලෙවි කර නැවත ඇළහැර යන නඩය තව දින දෙක තුනකින් යළි මැණික් ගරාගෙන ගමට පැමිණෙති. මේ කාලයේ අපේ ගම් පළාතේ ලක්ෂපතියෝ බොහෝ සිටියහ. ඒ ලක්ෂපතියන් කළ කී කතා පැරැණියෝ අදත් සිහිපත් කරති.
හිටි හැටියේ ලක්ෂපතියන් වූ ඇතැම්හු ඒ කාලයේ තිබූ අනර්ඝතම මෝටර් රථය වූ ෆෝඩ්, මයිනර් වැනි රථ මිලට ගත්හ. ඔවුහු එම වාහන පැදවීමට පළපුරුදු රියැදුරන් යොදා ගත්හ. වාහනයේ මිතුරන් පටවා ගෙන තැබෑරුමට යෑමත්, සූදුවට යෑමත් ඔවුන්ගේ දින චරියාව විය. මෙසේ මාස තුන හතරක් ගිය පසු ඇතැමුන්ගේ වාහන ගරාජයවල දිරා පත් වන්නට විය. ඇතැමුන්ගේ වාහන අතින් අතට විකිණී ගොස් ආගිය අතක් නැති විය. ඇළහැර මැණික් ලැබෙන ඉල්ලම් අඩු වෙත්ම මැණික් ගරන්නන්ට අසුබ කාලයක් උදා විය. ගමේ ලක්ෂපතියන් හිටපු තත්ත්වයට පත්වීමට වැඩි කලක් නොගියේ ය.
එසේ ලක්ෂපතියෙකු ලෙසින් මැණික් සල්ලි මිටි කොට්ටය සේ හිසට තබා ගෙන නිදා ගත් අයෙකු පසුගිය දිනක ඇහැළියගොඩ රෝහලේදී මට හමු විය. හයේ වාට්ටුවේ නේවාසික සිටි ඔහු බුළුගහපිටියේ සෝමරත්න විය. (නියම නම නොවේ) එකල ලංකාවේ භාවිතා වූ වටිනාකම වැඩිම නෝට්ටුව, රුපියල් සීයයි. වරක් මැණික් අලෙවි කර, රුපියල් පනස්දාහක් මුදල් ගෙදර ගෙන ගියේ ගෝනියක බව ඔහු පැවසුවේ සිනා සෙමින් ය. පාසලේ සල්පිල විවෘත කිරීමට ඔහු නැතිවම බැරි විය. මඟුල් මේස ඉඳුල් කිරීම් ඔහු සොයා ආවේය. නොමසුරුව වියදම් කළ ඔහුට මාස හයක් පමණ ගනුදෙනු කර හාන්සි වී පෙර පුරුදු ජීවිකාවට බහින්න සිදු විය.
ඔහු ගැන හැඳින්වීමක් කළ අයෙකු කීවේ ඔහු ඒ කාලයේ ගමේ තේ කඩයට ගොස් සිගරට් පැකට් එකක් ගෙන එයින් එකක් එළියට ගෙන දල්වා ගෙන ඇත්තේ රුපියල් සියයේ නෝට්ටුවකින් බව ය.
එසේ මුදල් හෑල්ලුවට ලක් කළ සෝමදාස අද ඉතා අසරණව ජීවිකාව ගෙන යන්නකු බව දැන ගැනීමට ලැබිණි.
සාක්කුවලට ගිය දුම්මල
නඩයක් බලපත්‍ර සහිත පතලක් කපා ඉල්ලමට බැස ඉල්ලම් කැඩීමට සූදානම් විය. එම ඉල්ලමේ දුම්මල යහමින් තිබුණි. එකිනෙකා දුම්මල ඇහිදීමට පටන් ගත්හ. මෙසේ ඉල්ලමේ තිබී දුම්මල ඇහිඳින ඇතැමුන් දළං කෑලි දෙක තුනක් ඇහිඳ ගත් අවස්ථා ද තිබුණි.
ඉල්ලම් කඩා ගොඩට දැමීමේදී වැඩ කරන්නෝ තමන් හැඳි කලිසම් සාක්කු පුරා දුම්මල ඇහිඳ ගනිති. මෙසේ දින දෙක තුනක් එකතු කරන දුම්මල හංදියේ කඩයට අලෙවි කරති. පතලේ මැනේජර්ට සිගරට් දෙක තුනක් ගෙනත් දීමට ද අමතක නොකරති. එනිසා ඔහු දුම්මල ඇහිඳීමට අවහිර නොකර නිහඬව සිටින්නේ ය.
ජනක මේ කඩයේ සිටි කහබිලියාකාර කොල්ලෙකි. ඔහු මෙම දුම්මල ඇහිඳීම දෙස බලා සිටියේ ය. සමහරු දුම්මල ඇහිඳීමට ඉල්ලම් ගොඩද අවුස්සනවා දුටුවේ ය. එදින නිහඬව සිටි ජනක හවස කතුරකුත් රැගෙන වාඩියට පැමිණියේ ය. පතල් නඩයට හොරා හැම කෙනෙකුගේ ම කලිසම්වල සාක්කු කපා දැමුවේ ය. පතල් වැඩට අඳින ඔහුගේ කලිසමේද සාක්කු කැපුවේ ය.
පුරුදු පරිදි පසුවදා වැඩට ගිය පිරිස පතලට බැස ඉල්ලම් කඩන්නට විය. එකිනෙකා පැන පැන ඉල්ලමේ තිබෙන දුම්මල ඇහිඳීමට පටන් ගති. එසේ ඇහිඳින දුම්මල සාක්කුවට දමද්දී ඔවුන් පුදුම කරමින් බිමට වැටුණි. සාක්කුවට අත දැමූ ඔවුහු තම සාක්කු කපා ඇති බව දැනගත් හ. සාක්කුවල දුම්මල කැටයක්වත් නැති තැන ඔවුහු සාක්කු කැපුව පුද්ගලයාට බණින්න පටන් ගත්හ.
ජනක මේ වෙලාවේ මැනේජර් ළඟට ගොස් “මේ අය ඉල්ලමෙන් ඇහිඳ ඇහිඳ සාක්කුවල දමා ගන්නේ දුම්මල ද මැණික් ද කවුද දන්නෙ. අදින් පස්සෙ කවුරුත් ඇහිඳින දුම්මල මේ කූඩයට දමා එකතු කර හවසට සම සමව බෙදා ගමු. ඒක හොඳයිනෙ. මේ මගෙ කලිසමෙත් සාක්කුව කපල තියෙන්නෙ” යැයි කියමින් සිනාසුණේ ය. මැනේජර් මහතා ද එම යෝජනාවට එකඟ විය. ඉන්පසු දවස පුරා එකතු කරන දුම්මල හවසට සම සමව බෙදා ගැනීමට පතල් නඩය පුරුදු විය.
මැණික ‘බකයා’ ගැසීම
මැණික් බහුලවම ලැබෙන පතල් පොළවල් වැටලීමට පොලීසිය ඉතා කැමැතිය. පොලීසියට බයේ දුවන අයගේ ඉල්ලම්, අත්අඩංගුවට ගන්නා අය ලවා ගැරවීම පොලීසියෙන් කරයි. එම ඉල්ලම්වල තිබී ඉතා වටිනා මැණික් ගල් හමුවූ අවස්ථා එමටය.
දිනක් ඔක්කම්පිටිය කුඹුකන් ඔයේ දේවාල මංකඩ පොලීසියෙන් වැටලුවේය. පොලීසිය එන බවට කලින් ලද ඔත්තුව නිසා මිනිසුන් එක්කෙනෙකුවත් අල්ලා ගත නොහැකි විය. ඔයට ගෙනැවිත් දමා තිබූ ඉල්ලම් ගොඩවල් කිහිපයක් තිබිණි. ඒවා ගැරවීමට මිනිසුන් දහ දෙනකුවත් අවශ්‍ය විය. එනිසා මිනිසුන් ඔයට ගෙන්වා ගැනීමට පොලීසිය අපූරු උපායක් යෙදුවේය.
එක් පොලිස් භටයෙක් ඔයේ සිට ඔහුගේ හිතට එන නම් කියමින් හඬ ගෑවේය. පොලීසිය පතල් පොළෙන් පිටවී ගිය බව ද කීවේය. ඒ අතර අනෙක් පොලිස් නිලධාරීහු කැලෑ රොදේ සැඟවී සිටියහ. පොලිස් නිලධාරියා කියන නම තිබෙන කවුරුන් හරි කැලේ සැඟවී සිටියානම් ඔහු ඔයට බසින්නේ නම හඬ ගැසුවේ නඩේ කෙනෙකු යැයි සිතාගෙනය. එවිට සැඟවී සිටින පොලිස් නිලධාරීහු ඔහු අල්ලා තබා ගනිති. මෙසේ නම් කියමින් කැඳවාගන්නා අය ලවා පොලිස් නිලධාරීහු ඉල්ලම් ගරවා ගනිති.
කුඹුකන් ඔයේ දේවාල මංකඩ පොලීසියෙන් වටලද්දී මැණික් ගරන්නන් සියලු දෙනාම පැන ගොස් ඉල්ලම් ගොඩවල් පමණක් ඉතිරි වී තිබිණි. පොලීසිය දන්න උපාය යොදවා මිනිසුන් හය හත් දෙනෙකු අල්ලාගෙන ඉල්ලම් ගොඩවල් හරවන්නට විය. එකම නඩයේ දෙදෙනෙකුට මෙසේ ඉල්ලම් ගොඩක් ගැරීමට සිදු විය. එතැන මුරට එක් පොලිස් භටයෙක් සිටියේය. ඉල්ලම් ගොඩින් බාගයක් පමණ ගැරීමේදී නිල් කැටයක් වට්ටිය තුළ කැරකෙනවා එක් අයෙක් දුටුවේය. ඔහු වට්ටියේ කැට තෝරන ආකාරයට දිය යට තිබියදීම වට්ටියට අත දමා නිල් කැටය අතට ගෙන රාලහාමි ඉවත බැලු මොහොතේ කලිසමේ සාක්කුවට දමා ගත්තේය.
ඊට පසු ඔවුන් කල්පනා කළේ මෙතැනින් කැලේට පැන ගන්නා ක්‍රමයයි. තවත් හොඳින් වට්ටිය තුළ විපරමින් බලමින් ඉල්ලම් ගොඩම සෝදන්නට වූහ. ඒ අතර මැණික් ගල් කෑලි තුනක් ‘බකයා’ ගසා ගත්තේ මුරට සිටි රාලහාමිගේ ඇස් වසමින්ය. මෙම ඉල්ලම්වල නාම්බුව බැලීමට පොලීසියේ ලොකු මහතාට දිය යුතුය. එම නාම්බුවේ තිබෙන මැණික් ඔහු තබා ගනී. රාලහාමිලාට ලැබෙන්නේ නැත. ඒ බව මැණික් ගැරූ දෙදෙනා ද දනිති. එනිසා ඔහු රාලහාමිට යෝජනාවක් කළේය.
ඒ ඉල්ලම් ගරද්දීම පොලීසියේ ලොකු මහත්තයාට හොරෙන් මුරට සිටි රාලහාමිට මැණික් කැටයක් දී කැලෑවට පැන ගැනීමයි. ඒ අනුව රාලහාමි සමඟ කතා කරන තීරණයකට එළැඹිණි. ඉල්ලම් ගොඩ අවසන් වෙද්දී වට්ටිය දිය තුළ තිබියදීම කරකවා අඩිය බලා එහි තිබූ නිල් ආර්නූල් කැටයක් රාලහාමි අතට දුන්නේ කාටත් හොරාය. රාලහාමි එය සාක්කුවේ දමා ගත්තේය. ඔයට බැස ගරමින් සිටි අනෙක් පිරිසගේ හා පොලීසියේ අවධානය වෙනතකට යන තෙක් සිටි මේ දෙදෙනා ළඟ සිටි රාලහාමිට ඇසක් ඉඟි මරා කැලෑවට රිංගූහ. ඔවුන් කැලෑවට වැදී මඳ දුරක් යන විට ඔය දෙසින් කලබල ගතියක් ඇසිණි. ඒ එතෙක් ඔවුන් මුර කළ රාලහාමි ලොකු මහතාගේ බැණුමෙන් බේරීමට ඔවුන් පසුපස පන්නාගෙන එන කලබලයයි. කෙසේ හෝ ගල් කෑලි තුනක් ගරා ගත් දෙන්නා හවස නඩයේ ඉතිරි තිදෙනා සොයාගෙන පසුවදාම ගමට පැමිණියේ අහම්බයෙන් ලැබුණේ හොඳ මැණික් තුනක් බැවිනි.
මෙම පතල් නඩය ගමට විත් මැණික් අලවි කර මුදල් බැංකු පොත්වල දමා පවුලේ අයට සංග්‍රහ කර නැවත ඔක්කම්පිටි ගියේ එම ඉල්ලම හොඳ වූ බැවිනි. ඒ යන අතර මොනරාගල පොලීසියට ගිය නඩයේ දෙදෙනා ඔවුන් මුර කළ රාලහාමි සොයා ගත්හ. එදා කුඹුකන් ඔයේදී දුන් ආර්නූල් රුපියල් 20000කට අලෙවි කළ බව රාලහාමි කීවේය. ඔහු ඉන්පසු මැණික් ගරන්නන් සමඟ මිත්‍ර විය.