
ඉංගිරිසි නාට්‍යකරුවන් අතර ඔහු දෙවැනි වන්නේ විලියම් ශේක්ස්පියර් පමණක් බව පිළිගැනේ. අයිරිෂ් ජාතික ලේඛක, නාට්‍ය රචක ජෝර්ජ් බර්නාඩ් ෂෝ බටහිර වේදිකාවට, දේශපාලනයට හා සංස්කෘතියට සිය නිර්මාණ හා අදහස් ඔස්සේ ඇති කළ බලපෑම ඔහු ජීවත් වූ යුගයට පමණක් සීමා නොවූවකි. Maa and Superman (1903), Pygmalin (1913), Saint Joan (1923) ඇතුළු නාට්‍ය 60කට අධික ප්‍රමාණයක් ඔහු අතින් රචනා විය. ඔහුගේ පරම්පරාවේ නාට්‍යවේදීන් අතර පුරෝගාමී නාට්‍යකරුවා ඔහුය. 1925 දී සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් ද බර්නාඩ් ෂෝ පිදුම් ලැබුවේය. ෂෝ ලේඛකයකු හා නාට්‍යරචකයකු පමණක් නොව විචාරකයකු සහ දේශපාලන ක්‍රියාධරයකු ද විය. 1856 ජූලි 26 වැනිදා අයර්ලන්තයේ ඔබ්ලින් නුවරදී උපත ලැබූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ ‘ජෝර්ජ්’ යන නාමයට ප්‍රිය කළේ නැත. මේ නිසා පසුකලෙක ඔහු එය බැහැර කළ අතර පුද්ගලික හෝ ලේඛක ජීවිතයේ දී එසේ භාවිත නොකළ් ය. ඔහු සිය නම සඳන් කළේ ජී. බර්නාඩ් ෂෝ යනුවෙනි. ඇත්තට ම ඔහු සිය නාමය තනි අකුරකින් ලිවීමට හැකිනම් වඩාත් හොඳ බව කල්පනා කර තිබේ. ෂෝගේ පියා බීමත්කමට ඇබ්බැහිව සිටි අසාර්ථක තිරිඟු ව්‍යාපාරිකයකු වූ අතර මව වෘත්තීය ගායිකාවක් විය. ෂෝ ට අවුරුදු 16 ක් වනවිට මව ඇයගේ ගුරුවරයා ද සමඟ ලන්ඩනයට ගියේ ෂෝ සහ පියා තනිකර දමමිනි. ඕ, ෂෝ ගේ සොයුරියන් දෙදෙනා ද කැටිව ගියාය. බාලසොයුරිය අකාලයේ මරණයට පත්විණි. තවදුරටත් ඩබ්ලින් නුවර ජීවත් වූ ෂෝ ට පාසල් ගමන එතරම් ප්‍රිය ජනක නොවිණි. ඔහු විධිමත් ලෙස පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළේ නැත. ෂෝ ගේ ළමාවිය ගෙවුණේ බිඳුණු පවුලකය. මවු - පිය සෙනෙහස හා රැකවරණය එකවිලස නොලැබ හැදී වැඩුණු ඔහු ඉන් ලැබූ කම්පනය Misalliance වැනි නාට්‍යකින් මනාව ප්‍රකාශයට පත්වේ.
වර්ෂ 1876 දී බර්නාඩ් ෂෝ සිය පියා මෙන් ම ඩබ්ලිනය ද හැරදමා ලන්ඩනයට ගියේය. ඔහු සිය මව හා සොයුරිය සමඟ එක්විණි. එහිදී ඔහු ජනමාධ්‍යකරුවකු ලෙස ද අත්දැකීම් ලැබීය. ලේඛන කටයුතුවලට නැඹුරු විය. බරපතළ ලෙස පොතපත කියැවීමට ඇබ්බැහි වූ ඔහුගේ කාලය මහජන පුස්තකාල හා බ්‍රිතාන්‍ය කෞතුකාගාර කියැවීම් ශාලාවේ වැඩි වශයෙන් ගතවිණි. ඊට අමතරව ෂෝ, ප්‍රගතිශීලී දේශපාලනය දෙසට ද ඇදී ගියේය. හයිඩ්පාර්ක් හි කථිකයන් සඳහා වෙන්වූ ස්ථානයේදී මෙන් ම සමාජවාදී රැලිවලදී ද ෂෝ ගේ කථිකත්වය මුවහත් විය. මුලදී තිබූ සබකෝල බව සහ ගොතගසන සුලු බව ඉක්මනින් ම පහව ගිය බව පෙනෙන්නට තිබිණි. උද්‍යෝගී මෙන් ම ආක්‍රමණශීලී කථිකත්වයක් ඔහු කෙරෙන් පළවිය. බියට්‍රිස් හා සිඩ්නි වෙබ් සමඟ එක්ව “ෆෝබියානු” සමාජය (The Fabian Society) නම් සමාජවාදී දේශපාලන සංවිධානය බිහිකර ගැනීමට ද ෂෝ මුල් විය. බ්‍රිතාන්‍ය සමාජවාදී රාජ්‍යයක් කිරීම එහි අරමුණ විය. එය විප්ලවයකින් නොව ප්‍රගතිශීලී ව්‍යවස්ථාමය වෙනසක් හරහා සිදු කළ යුතු බව පිළිගැනිණි. “ෆෝබියානු” සමාජය පසුකාලීනව ලන්ඩන් ආර්ථික විද්‍යා ගුරුකුලය සහ කම්කරු පක්ෂය නිර්මාණය කිරීමට විශාල පිටුබලයක් විය. ප්‍රගතිශීලී කලාව ගැන පත්‍රිකා ද ඔහු අතින් ලියැවිණි.
මාධ්‍යකරුවකු ලෙස මෙන්ම ඔහු කලා විචාරකයකු ලෙස ද කටයුතු කළේය. Corn di Bassetto යන ආරූඪ නාමයෙන් සංගීත විචාරකයකු ලෙස ද ක්‍රියා කළ ෂෝ 1800 ගණන්වල අගභාගයේ දී නාට්‍ය විචාරකයකු ලෙස ද පෙනී සිටියේය. ඒ; සුප්‍රකට GBS නාමයෙනි.
ෂෝ ගේ පළමු නාට්‍ය රචනය Widowev’s House ය. (1891) ඊළඟ වසර 12 තුළ ඔහු නාට්‍ය 12ක් පමණ රචනා කළේය. ඇතැම් ඒවා නිෂ්පාදනය වූයේ විදේශයන්හිදීය. සමහර නාට්‍ය ප්‍රසිද්ධ වේදිකාවේ නොව අප්‍රකටව කුඩා සමාජ කණ්ඩායම් හමුවේ ද වේදිකාගත විණි. ෂෝ නාට්‍ය විචාරකයකු ගේ භූමිකාව අත්හැරියේ 1898 දීය. ඒ; බලවත් සේ රෝගී වීම හේතුවෙනි. මේ වනවිට ඔහු මවගේ නිවසේ ජීවත් විය. අයිරිෂ් කාන්තාවක වූ චාලට් පේන් ටවුන්ෂෙඩ් සමඟ ඔහු විවාහදිවියට එළැඹියේ ද මේ කාලයේය. 1943 දී චාලට් ජීවිතයෙන් සමුගන්නා තුරුම ඔවුහු එකට ජීවත් වූහ.
1914 වනවිට යුද්ධය පැතිරෙමින් තිබිණි. ෂෝ යුද්ධය දුටුවේ ධනවාදය බංකොලොත්භාවයට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. යුද්ධයෙන් අකාලයේ මියැදෙන තරුණ ජීවිත ගැන ඔහු කම්පා විය. ඔහු සිය හැඟීම් හා මතවාද Common Sense About the war තේමාව ඔස්සේ පුවත්පත් ලිපි පෙළකින් ප්‍රකාශයට පත් කළේය. මේ ලිපි බර්නාඩ් ෂෝ එතෙක් ගොඩනඟාගත් ප්‍රතිරූපයට බලපෑමක් ඇති කළ බව පෙනිණි. තමන් හැදී වැඩුණු රට තුළම ඔහු පහත් අයකු ලෙස ගැරහීමට ලක්විය. ඔහුට එරෙහිව රාජද්‍රෝහී චෝදනා නැඟීමේ වෑයමක් ද තිබිණි. යුද සමය තුළ ඔහු අතින් ලියැවුණේ එක් නාට්‍යයක් පමණි. ඒ, Heart break House ය. එමඟින් ඔහු බ්‍රිතාන්‍ය දේශපාලනය හා සමාජය තියුණු ලෙස විවේචනය කළේය. යුද්ධයෙන් පසු නැවතත් ඔහු කාර්යබහුල විය. අලුත් නාට්‍ය කිහිපයක් ම වේදිකාගත කෙරිණි.
සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමුණු විට එම පදක්කම පමණක් භාරගත් ෂෝ මුදල් ත්‍යාගය ප්‍රතික්ෂේප කළේ ජීවත්වීමට තරම් ප්‍රමාණවත් මුදලක් තමන් නාට්‍යවලින් උපයන බව දන්වමිනි. එම මුදල ස්වීඩිස් නාට්‍ය රචක ඔගස්ට් ස්ට්‍රින්ඩ්බර්ග් ගේ නිර්මාණ ඉංගිරිසි වේදිකාවට රැගෙන ඒමට යොදවන මෙන් ඔහු ඉල්ලා සිටියේය.
ෂෝ සිය ජීවිතයේ අවසන් භාගය ගෙවා දැමුවේ අන්තර්ජාතිකව ප්‍රසිද්ධියට හා සම්භාවනාවට පාත්‍ර වූ ප්‍රභූවරයකු වශයෙනි. ඔහු ලොව නොයෙක් රටවල සංචාරය කළ අතර ෙජා්ෂප් ස්ටාලින්ගේ ආරාධනාවකට සෝවියට් දේශයට ද විලියම් රැන්ඩොල්ෆ් හර්ස්ට් ගේ ආරාධනාවකට අමෙරිකාවට ද ගියේය. අමෙරිකා වේදිකාවේ ඔහුගේ නාට්‍ය නිතර වේදිකාගත විය. මේ අතර ජාතික හා අන්තර්ජාතික වශයෙන් දේශපාලන ක්‍රියාකාරකම්වලට ද ඔහු කාලය මිඩංගු කළේය.
නවකතාකරුවකු ලෙස ෂෝ මුලදී මනරම් සාර්ථක හෝ ජනප්‍රිය නොවිණි. එහෙත්, කෙසේ හෝ දිනපතා බාල සුදු කඩදාසි පිටු 5ක්වත් ලිවීමට ඔහු අදිටන් කරගෙන සිටියේය. ඒ ලිවීම බොහෝවිට නතර වූයේ ලියමින් සිටි වාක්‍ය අවසන් කර නොවේ. ඔහු එය සම්පූර්ණ කළේ ඊළඟ දිනයේය. බර්නාඩ් ෂෝ ගේ පළමු නවකතාව Immaturity ය. (1879) එය ප්‍රකාශයට පත් කිරීම ලන්ඩනයේ සෑම පොත් ප්‍රකාශකයකු ම ප්‍රතික්ෂේප කර තිබේ. ඊට වසර 50 කට පසු ෂෝ විසින් ම එය ප්‍රකාශයට පත් කළේ ය. එසේ වුවද 19 වැනි සියවස අගභාගය වන විට Ceaser and Cleopatra ත් සමඟ ඔහු පරිණත ලේඛකයකු බවට පත්ව සිටියේය. ෂෝ ගේ සුප්‍රකට නාට්‍යයක් වන Pygmallion ඇසුරින් සිනමා පටයක් ද බිහිවිණි. (1938) එම තිරපිටපතට ඇකඩමි සම්මාන හිමිවිය. ගෙවත්තේ සිට ලිවීමේ කාර්යයේ යෙදීමට ද බර්නාඩ් ෂෝ ප්‍රිය කළේ ය. ඊට විශේෂිත වූ ජංගම ලියන ගෙදරක් ගෙවත්තේ තිබිණි. 90 විය ඉක්මවා සිටිය ද ෂෝ නිරෝගී මිනිසෙකු ව සිටියේය. ඔහු දුම්පානය හෝ මත්පැන් පානය නොකළ, නිර්මාංස ආහාරයට ගත් අයකු වීම එවැනි සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට විශාල ලෙස බලපාන්නට ඇත.
1950 ඔක්තෝබරයේ දිනක ඔහු ඉණිමඟක නැඟී සිය ගෙවත්තේ යම් කාර්යයක නියැළී සිටින අතර ඉන් ඇද වැටිණි. එම හදිසි අනතුරින් ලද තුවාල හේතුවෙන් නොවැම්බර් 2 වැනිදා ඔහු ජීවිතයෙන් සමුගත්තේ 94 වැනි වියේ සිටියදීය. ඒ වන විටත් ඔහු ඊළඟ නාට්‍යයේ පිටපත රචනා කරමින් සිටියේය.