
* කොන්ද කැක්කුම
* ස්නායු ආබාධ
* අංශභාගය
දවස් ගණනකින් හොඳ කරන බුල්නෑවේ වෙද මහතා කියයි
බුල්නෑව ලෝලුගස්වැව විස්මිත වෙද මහතා පිළිබඳ අප ලියූ මුල් ලිපිය හා ආරංචිය තටු ලබා රට පුරා පියාඹා තිබිණ. එම ප්‍රදේශයේ මතු නොව දිවයිනේ නන් දෙස පත්තර තට්ටුවල ‘සිළුමිණ’ පුවත්පත කලින් ම විකිණී අවසන් විය. මේ සියල්ලන්ටමත් වඩා විස්මය සිළුමිණ පුවත්පත් අත් තබා ගත් රෝගීන් බොහෝ දෙනෙකු වෙද මහතාගේ නිවෙස හා මිදුලේ රොද බැඳෙන්නට වීමයි.
“මට හිතාගන්ඩවත් බෑ. වෙද මහත්මයා (මගේ මාමණ්ඩි) ගැන රට පුරා දැනගත්තා. සිළුමිණ පත්තර පිටුව අතේ තබා ගත් බාල, මහලු, තරුණ පිරිස් ගොඩාක් වෙදගෙදර රැස්වුණා. සමහර පත්තරකාරයනුත් ආවා. ගම් පළාතේ හිටපු සමහර මාධ්‍යකාරයන් ඒ පත්තරවලදී ලියුවේ සිළුමිණ පත්තරේ අපේ මාමණ්ඩිගෙ තොරතුරු ගියාට පස්සෙ.....” අවංකව අදහස් ප්‍රකාශ කළ පුෂ්පික ප්‍රේමලාල් කළුආරච්චි නම් ඒ මහතා බුල්නෑව වෙද මහතාගේ දෙවැනි දුව කර කාර ගත් බෑනා ය.
ගමේ ඉසිවරයා ගමට වටින්නේ නැතැයි කතාවක් ගම්වල තිබේ. මෙතැන සිදුව ඇත්තේත් එයමය. ඒත් ඔවුන් දැන්වත් ඉසිවර නාමය ඒ වෙද මහතාට පිදීම ගැන මට ඇත්තේ නොමඳ සතුටකි.
ක්‍රි.පූ. 3 වැනි සියවසේදී අපි බුද්ධාගම වැනි ගැඹුරු ජීවිතයට ඵලදායි දහමක් වැළඳගන්නට තරම් ම්ලේච්ඡත්වයෙන් මිදුණු බුද්ධිමත් ජාතියක් වීමු. ලෝකයේ විල්බට්රයිට්, ඕවල් රයිට්ලාට පෙර අපි අහසින් පියෑඹිමු. ඒ දඬු මොනරයෙනි. රාවණා රජතුමා ආයුර්වේදයේ ද හසළයෙක් විය. පුලතිසි ඉසිවරයා ද එසේ ම විය. බුද්ධදාස රජු උරගෙඩියක් පළා නාගයකු සුවපත් කළේය. එතැන අපට උරුම ශල්‍යකර්ම විද්‍යාවක් තිබුණේය. ඒවා දැන් අභාවයට ගොසිනි. තැන් තැන්වල සිටින මෙවැනි වෙද මහත්වරුන් බුද්ධදාස රාජ පරම්පරාවේ, පුලතිසි පරපුරක රාවණ පරපුරේ අයයි. ඒ ඇරෙන්නට ආයුර්වේදයේ ඉහළ පුටුවල සිට ව්‍යාජ නාමකරණ හදන ආයුර්වේද අටුවාචාරීනට වඩා මේ වෙද මහත්වරු ආයුර්වේදය රැකගන්නට මහ මෙහෙයක් කරති. අප ඔවුන් සොයා යන්නේ එනිසාය. අද බුල්නෑව වෙද මහතාගේ අලුත් ම කිරියවත ලියමි.
මට ඔබේ ලෙඩ කියන්න එපා. මා ලෙඩ අහන්නෙත් නෑ. ඔබේ නාඩි මට ඔබේ ලෙඩ කියනවා... මේ තෙන්නකෝන් බණ්ඩා නම් බුල්නෑළු වෙද මහතා කියන කතාවයි. වෙන්නප්පුවේ සිට පැමිණි තම කුඩා දරුවාට නැවැතී ප්‍රතිකාර ලබාගන්නා නිශාන්ති මට අපූරු කතාවක් කීවාය.
“මගෙ මහත්මයා මේසන් බාස් කෙනෙක්. දැන් මගෙ පුතාට අවුරුදු 4යි. මෙයාට මාස 9 ඉඳන් නොයෙක් ස්නායු ආබාධ ආවා. දොස්තරලා දරුවා පරීක්ෂා කළා. ඒ අය කීවෙ අවුරුදු 3 විතර වෙනකොට දරුවාට කන් ඇසීම, ඇස් පෙනීම වගේ දේ දුර්වල වෙනවා කියලයි. කිව්වා වගේ ම අවුරුදු 3 පනිනකොට දරුවා තවත් දුර්වල වෙලා ඇස් පෙනීම අඩුවුණා. කන් ඇසීමත් දුර්වල වුණා. ඇවිදගන්ඩ බැරි වුණා. අනෙක් ළමයින්ගෙ වර්ධනය ළමයාට ආවෙත් නෑ. අපි මේ වෙද මහත්මයා ළඟට ඇවිත් තවමත් මාස 4ක්වත් නෑ. එතුමා කරන තෙල් බෙහෙත් සාත්තුවට දරුවා සුව අතට පත්වෙමින් සිටිනවා. අපි තරමක බයෙන් වෙද මහත්මයා ළඟට ආවෙ. මොකද! මීට අවුරුදු 2 1/2කට විතර පෙර අපි මුලින්මත් වෙද මහත්මයාට දරුවා පෙන්නුවා. එතුමා කී දේවල් ගණන් නොගෙන අපි බටහිර ප්‍රතිකාරවලටයි ගියේ. ඒවා හරි නොගිය තැන දැනට මාස 3කට පමණ පෙර නැවත වෙද මහත්මයා ළඟට ගෙනාවා. විශාල රෝගීන් ගණනාවක් දවසකට බැලුවත් එතුමාට හොඳ මතකයක් තිබෙනවා. නාඩි අල්ලපු ගමන් කීවා දරුවා මීට කාලෙකට පෙරත් ගෙනාවා නේද! කියලා. අත පය දරදඬු වෙලා වගේ තිබුණු මගේ දරුවා ගේ අත පය අද සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. මටත් තේරෙනවා ඇතුළේ තිබෙන නහර වැල් බුරුල් වෙලා තිබෙන විත්තිය. දරුවාට දැන් හුඟාක් ම හොඳයි. මං එතුමාට පින් දෙනවා.”
පංචකර්ම ප්‍රතිකාර සඳහා දැන් වෙද වාට්ටුව සූදානමින් තිබේ. නොයෙක් බෙහෙත් වර්ග මුසුකළ (වෙනිවැල්ගැට, ඉරමුසු, කස්තුරි, ගෝරෝචන ආදිය) ධුමය පැතිරෙයි. පෙට්ටිවල වතුරා ඇති ලෙඩුන්ට මේ ධුම ආඝ්‍රාණය වෙයි. මම ඒ පිළිබඳ පොඩි වෙද මහත්මයා කුමාරසිංහ (ඒත් වෙද මහතාගේ බෑනෙකි.) විමසමි.
“මේකට බෙහෙත් විශාල ගණනක් ගන්නවා. ඔක්කොම හෙළිරව් කරන්න බෑ. මේ ධුම ශරීරගත වුණා ම මේ අයගෙ ශරීරයේ මේදය, අම්ල පිත්තය හා වෙනත් ප්‍රදාහ තත්ත්වයන් ඉවත් වෙනවා. එතකොට මේ ශරීරය බෙහෙත් තෙල් ගැන්වීම සඳහා සුදුසුයි. ඊට පස්සෙ තමයි බෙහෙත් තෙල් ඔරුවෙ බස්සවන්නෙ.
ඒ අතර නාවන්නට කැඳවාගෙන යන අංශභාග රෝගියකු හා කතා කරන්නට අපට හැකි විය. අංශභාග රෝගීන් දවස් කිහිපයකින් නැඟිට්ට වන මේ වෙද මහතා ගැන ඒ මහතා මෙසේ කියයි. ඔහු නම්වර ලබන්නේ කළුතර වාද්දුවේ සුනිල් රුද්රිගු නමිනි.
“මගෙ ගම කළුතර වාද්දුව. මං රියැදුරෙක් වශයෙන් වැඩ කළේ. එක පාරට මගේ වම් අතයි වම් කකුළයි පණ නැති වුණා. මට ඇවිදගන්න බැරි වුණා. මාව ගෙනාවෙ රෝද පුටුවෙන්. දැන් ඇවිත් මාස 2යි. පුදුම තෙල් සාත්තුවක් මෙහිදී ලැබෙන්නේ. කෑම බීමත් ලැබෙන්නේ. දවසට ම සුළු ගණනක් වැටෙන්නෙ. මාස දෙකට දැන් මට තනියෙන් ඇවිදින්න පුළුවන්.
කොහොඹ කොළ හා පාවට්ටා තැම්බු ජලයෙන් මේ අංශභාග රෝගියා නාවනු අපි සියැසින් දුටිමු. කරුණාබරව ලෙඩුන් බලා ගන්නා හැටි ද කදිමය.
අංශභාගය, තුනටිය අමාරු, පිළිකා, ගර්භාෂ රෝග පවා මේ වෙද මහතා සුව කළ බව අපි ගමෙන් ඇසීමු. සමීර සඳරුවන් (36) භික්ෂූන් 110 ක් වැඩමවා වෙද මහතා පවත්වමින් සිටි මහා පුණ්‍ය කර්මයට සහභාගී වන්නට පැමිණ සිටියේය.
“මගෙ නහරයක් හීන් වෙලා මං පුදුම දුකක් වින්ඳා. පුරා අවුරුදු 12ක් මේකට විවිධ බටහිර ප්‍රතිකාර ගත්තා. අන්තිමට ඔපරේෂන් කරන්න ඕනැයි කීවා ම මං වෙද මහත්මයා ළඟට ආවෙ. මාස 3යි ප්‍රතිකාර ගත්තේ. දැන් කියැවෙනවා. ඒ අසනීපය දැන් මගෙන් දුරස්වෙලා කියලා. වෙද මහත්මයා ඇත්තට ම මිහිපිට දෙවියෙක්.
ගමේ පදිංචිකරුවකු වන ඒ.පී.ඩී. ආරියදාස මහතා ද අපට එක්විය.
“මං ගඩොල් කපන මිනිහෙක්. මං පිනට කැමැතියි. මේ වෙද මහත්මයා ඇත්තට ම පින්කඳක්. හුඟාක් ලෙඩවලට ප්‍රතිකාර ගන්න මිනිස්සු මෙහි එනවා. ගමේ මිනිහෙකුට පලතුරක් විකුණලා ජීවත්වෙන්න පුළුවන් වන්නෙ වෙද මහත්තයා නිසයි. මට ඇති ලෙඩක් නෑ. මං ආවෙ වෙද මහත්තයාට උදව් වෙන්ඩ.”
තඹුත්තේගම පදිංචි නම හෙළි කරන්නට අකමැති රෝගියෙක් මෙසේ කියයි.
“මගෙ කොඳු ඇට පෙළ ඇද වෙලා ඉංගිරිසි බෙහෙත් කළා. අවුරුදු ගණනාවක් කළ බෙහෙත්වලින් වැඩක් වුණේ නෑ. ස්නායු ලෙඩ්ඩුත් සුව කරන මේ වෙද මහත්තයා ළඟට ආවෙ යම් සහනයක් පතාගෙනයි. එතුමාට පින් සිද්ධ වෙනවා. මට දැන් ගොඩාක් සුවයක් දැනෙනවා. මගෙ දරුවො ප්‍රසිද්ධියට යනවට කැමැති නෑ. ඒ නිසා ප්‍රකාශය විතරක් ලියාගන්න මහත්තයො” ඔහු යටහත්ව බුලත් කසටින් පිරුණු දත් විලිස්සමින් මට කියයි.
ලෝලුගස්වැව පදිංචිකාරියක වන නන්දාවතී (67) කැමැත්තෙන් ම ඉදිරිපත් වන්නීය.
මේ නම් දෙවියෙක්. මං එකපාරට නිලංකාරව ඇද වැටුණා. ඇවිදගන්ඩ බැරි වුණා. අත පය අප්‍රාණිකයි. මගෙ දරුවො වෑන් එකක දමාගෙන මළකඳක් ගේනවා වාගේ මෙහෙට ගෙනැල්ලා තියෙන්නෙ. වෙද මහත්මයා නාඩි බලලා මාව හොඳ කරන්නම් නවත්වන්න කියලා කීවලු. දැන් දවස් 15ක් විතර ඇති දැන් මට ඇවිදින්න පුළුවන්. අංශභාගයට ආපු අත පය පණ ගහගෙන එන බව දැනෙනවා.
වම්බොටුවාමුල්ල සිට පැමිණ සිටි දයාවතී (අවුරුදු 61) මෙසේ කියන්නීය. අපි වත්තෙ කොළේ වැඩකරන කට්ටිය. එකපාරට උකුලු ඇටේ පැන්නා වගේ වුණා. අවුරුදු 2ක් විතර බටහිර ප්‍රතිකාර ගත්තත් හරි ගියේ ම නෑ. කැක්කුමත් නැති වුණේ නෑ. මං මෙතැනට ආවා. දැන් කකුල බිම ගහලා ඇවිදින්න පුළුවන්.
මෙවැනි සාක්කිකරුවන් බොහොමයක් මට ජනතා අධිකරණය හමුවට පැමිණවිය හැකිය. මේ ඇත්තට ම ඒ ලෙඩුන් මට කී කතාවය. වෙද මහත්මයා ඉසිවරයකු බව අප දැන ගත්තේ කොළඹ සිටය. මෙතරම් ජනතාවක් ඔහු සොයා යන්නේ ඇයි දැයි සෙවීම බොරුවට පුරාජේරු කතා කියන ආයුර්වේද න්‍යායාචාර්යවරුනට බාරය.
තෙල් බින්දුවෙන් ඩෙංගු සුව කරන හාමුදුරුවන් ගැන අලුත් ම තොරතුරු ලබන සතියේ
උපාලි සමරසිංහ
ඡායා - දුෂ්මන්ත මායාදුන්න