යහපත් මනුෂ්‍ය ප්‍රජාවක් බිහි කළ සිළුමිණ | සිළුමිණ

යහපත් මනුෂ්‍ය ප්‍රජාවක් බිහි කළ සිළුමිණ

 සිළුමිණ චූඩා මාණික්‍යයක් බවට පත්වූයේ එහි ආරම්භයේ පටන් ය. ම විසින් සිළුමිණ පුවත්පතට ලිපි ලියන්නට වූයේ පාසල් වියේ සිටය. අපේ පියාණන් ද සිළුමිණට කවි, ලිපි රචනා කර ඇත්තේ ඔහු ගේ බාලවිය සිට බැව් අපට පවසා ඇත. අප කුඩා කාලයේ සිළුමිණ හැඳින්වූයේ සත දහයේ විශ්වවිද්‍යාලය යන අන්වර්ථ නාමයෙනි. එය එපමණ ශාස්ත්‍රීය සේවයක් අප රටෙහි පාඨකයනට ඉටු කොට ඇති බැවිනි.

සිළුමිණ වැනි ශ්‍රේෂ්ඨ පුවත්පතක තමන් විසින් ලියන ලද කවියක්, කෙටිකතාවක්, ශාස්ත්‍රීය රචනාවක් පළවන්නේ නම් ඒ දුර්ලභ මහඟු අවස්ථාවකි. දශක නවයක් තිස්සේ සිළුමිණේ පළවූ ලිපි රචනාවන්ට වඩා ඉවතට වීසි කරන ලද සංඛ්‍යාව සුවිශාල ය. එසේ වීමට හේතු ගණනාවකි. පුවත්පතේ පළ කරනුයේ ඊට උචිත ලිපි තෝරා බේරාගෙන සංස්කරණය කිරීමෙන් පසුවය. ඒ සඳහා බහුශ්‍රැත විද්වතුන් සුධීමතුන් පබස්සර නුවණැතියන් අවශ්‍යය. ආරම්භයේ සිට එම භාවිතය පැවැතිණි.

1908 වර්ෂයේ ජූලි මාසයේ සිළුමිණ නමින් සඟරාවක් පළවී ඇත. තත් සඟරාවේ කලාප 12 පළ විය. පිටු 576 ක අගනා ලිපි මාලාවක් බව පුවත් පත් කලා සඟරා විමසුමේ පූජ්‍ය කළුකොදයාවේ පඤ්ඤාසේඛර නාහිමියෝ සඳහන් කරති.

“තුන් ලක්ෂයකට වැඩි ගණනක් එකවරම නිකුත් කරනු ලබන්නාවූ ද ආරම්භයේ පටන් මේ තාක් නොකඩව සතිපතා ප්‍රසිද්ධ කර ගෙන එනු ලබන්නාවූ ද අග්නිදිග ආසියාවේ ඉතා වැඩි ගණනක් ප්‍රචාරයට පැමිණෙන්නාවූ ද සිළුමිණ පත්‍රය ආරම්භ කරන ලද්දේ 1930 මාර්තු මස 30 වැනි ඉරිදාය. කර්තෘ පියසේන නිශ්ශංක මහතා ය. අවුරුද්දට තැපෑලෙන් රු. 6.50කි. පත්‍රයක් ශත 10කි. එබැවින් එහි වූ ශාස්ත්‍රීය සාරගර්භ ස්වරූපය කරණ‍කොට සිළුමිණ සත දහයේ විශ්වවිද්‍යාලය වූයේය.

සිළුමිණ නම් වූ මේ අභිනව සප්තාභිකා පත්‍රය අද දින මහජනයා අතට දෙන්නට ලැබීම අපට මහත් සන්තෝෂයකි. සිංහල ප්‍රවෘත්ති පත්‍ර සම්බන්ධයෙන් පැවති බරපතළ අඩුපාඩුවක් සම්පූර්ණ කිරීම පරමාධ්‍යාශය කොට ආරම්භ කරන ලද පත්‍රය ගැන මෙහි වැඩිදුර විස්තර කිරීම අවශ්‍ය යැයි නොසිතමු.

සියලු තරාතිරම්වල අයට ඉමහත් සේ වැඩ සිදු කිරීම - එනම් පුද්ගල ව්‍යක්තිත්වය දැනුම, කුසලතා, අවබෝධය අභිවර්ධනය කිරීම සිළුමිණේ අභිලාෂය වූයේ ය. ශාස්ත්‍රීය හා ඓතිහාසික ලිපි පළ කිරීමෙන් පොදු ජන පාඨකයා අල්පශ්‍රැත භාවයෙන් බහුශ්‍රැතිභාවය වෙත පමුණුවා ද මේ කාර්යභාරයට සිළුමිණ උර දුන්නේ කිසිදු වාදභේදාදියෙන් ගෝත්‍රිකභාවයෙන් අත් මිදී පෘථුල මානව හා සමාජීය චින්තනයක් පෙරදැරිව ය.

ඉරුදින විවේකයෙන් ගත කරන ශ්‍රී ලාංකිකයනට විවේක බුද්ධියෙන්, වැටහෙන නුවණින් කියවා රසවිඳිමින් ස්වකීය ධී ශක්තීන් අභිවර්ධනය කරලීමේ ආ‍ලෝචනා සිළුමිණ සතු විය. එ නිසා එකල දිනමිණට සිළුමිණ එක්විණ. සිළුමිණ පළවීමට පෙර ලංකවේ අංග සම්පූර්ණ ඉරිදා පුවත්පතක් නොතිබුණි.

ඉරිදා ඔබ්සවර් පත්‍රය ඇරැඹීමෙන් ලංකාවේ ප්‍රථම ඉරිදා ඉංග්‍රීසි පුවත්පත ආරම්භ කළ ඩී.ආර්. විජේවර්ධන මහතා සිළුමිණ පටන්ගෙන පියසේන නිශ්ශංක මහතා ප්‍රථම කර්තෘවරයා ලෙස වගකීම් පැවරුවේ ඉමහත් අපේක්ෂා දල්වාගෙනය. එය හුදු ව්‍යාපාරික ඤාණය මුදුන්පත් වූ අවස්ථාවක් මතු නොවී ය.

ඉන්දියානු සාගරයේ බලවත් රාජ්‍යයන් පාමුල අධිරාජ්‍යවාදීන්ගෙන් ස්වාධීන වූ අදීන රටක් හැටියට නැඟී සිටින්නට ශ්‍රී ලංකාද්වීපය නම් වූ කුඩා දූපතට නැගී සිටීමේ ශක්තීන් අවදි කිරීමක් ද වූයේය.

බුර බුරා අවටින් නැ‍ෙඟන නිදහස ඉල්ලා කැරෙන කෑමුර ගැම් වලට සංස්කෘතික හා ශිෂ්ටාචාර ශ්‍රී ලාංකිකයා ථීනමිද්ධයෙන් අවදි කරලීමට දැරූ ප්‍රයත්නයක් ද වූයේය. පියසේන නිශ්ශංක මහතාට සුවිශද කර්තෘ මණ්ඩලයක් සිටීම වාසි සහගත විය. අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල, ඇන්.ඇ‍ෆ්.ඇස්. ගුණසේකර, අබය ගුණරත්න එහි නියමුවෝ වෙති. ගුරු ශිෂ්‍ය, ගොවි, කම්කරු, කාන්තා, ළමා, තරුණ, වැඩිහිටි කවර සමාජ ස්තරායණ්‍යකට අයත් පාඨකයකුගේ වුව මන දොළ සපිරෙන ආකාරයේ ප්‍රවෘත්ති පත්‍ර ආකෘතියක් වර්ණ මාලාවක්, ගද්‍ය පද්‍ය භාෂා භාවිතයක් ප්‍රවර්ධනය කර ගැනීමට සිළුමිණ ට හැකිවීම ජයග්‍රහණයක් වූයේ ය. කවි පිටුව, මල්හාමි මාමාගේ කථා, කමලාගේ ළමා ලියුම් ඉතා ජනප්‍රිය වූ අංග වූයේ ය. ඩී.ආර්. විජේවර්ධන මහතා විසින් ඊරියගොල්ල මහතා ලවා පරිවර්තනය කොට නොක්ස්ගේ ලංකා ඉතිහාසය සිළුමිණේ පළ කරවන ලදී. එම මුල් ඉංග්‍රීසි කෘතිය විජේවර්ධන මහතා ළඟ තිබුණි. එම පොත සිංහලයට නැගුණේ මුල් වතාවට ය.

1934 මාර්ටින් වික්‍රමසිංහ මහතා තුන් වසරක් පමණ සිළුමිණ කර්තෘ ලෙස ඉමහත් වෑයමක් දරා සිය රචනා කෞශල්‍යයෙන් ද කර්තෘත්ව කුශලතාවෙන් ද සිළුමිණ පෝෂණය කළ සැටි වාර්තා ගතය. වික්‍රමසිංහයන්ගේ උපන් දා සිට විවිධ ලේඛනවල මේ සම්බන්ධ පසුබිම් කරුණු ඇතුළත් ය. 1944 දී ඇස්.ඩබ්. ලියනගේ මහතා සිළුමිණ කර්තෘ පදවියට පත් විය.

අප බාලවිය පටන් සිළුමිණ කර්තෘවරුන් බවට පත්වූ විද්වතුන් කීපදෙනකු සමඟ කතා බස් කොට අදහස් හුවමාරු කර ගැනීමේ විරල අවස්ථා මට උදා වී ඇත. එම වැඩිහිටි පරම්පරාවෝ ප්‍රබුද්ධ ලේඛකයන් විචාරශීලීත්වයෙන් ද, ප්‍රතිභාවයෙන් ද, ව්‍යුත්පත්තිය මෙන් ම සතත අභ්‍යාසයෙන් පිරිපුන් දේශ හිතෛෂී ජාත්‍යනුරාගයෙන් යුක්ත භාෂා ශාස්ත්‍ර පිළිබඳ මනා වැටහීමක් හා දැනුමක් ඇති අය වූහයි මට හැ‍ඟේ. එමෙන් ම ඔවුහු ඉතා හොඳ සුළවත්හු වූ හ.

පූජ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාරාම, කහවේ ශ්‍රී සුමංගල රතනසාර, ලුණු පොකුණේ ශ්‍රී ධර්මානන්ද, පැලෑනේ ශ්‍රී වජිරඥාන, යගිරල ශ්‍රී ප්‍රඥානන්ද, තෙල්වත්තේ අමරවංස, කරදෙන ජිනරතන විදුරුපොළ පියතිස්ස වැනි වියත් තෙරවරු එකල සිළුමිණට ලිපි රචනා කරමින් ජන මනස වඩන්නට උපකාරී ව වූහ. රටක ජන සංස්කෘතියේ පෝෂණයට බහුජන මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය අවශ්‍යය.

ඉදානීන්තනයේ මෙන් අන්තර්ජාල, පරිගණක, මුද්‍රණ පහසුකම්, විද්යුත් මෙවලම් සාමාජීය වෙබ් අඩවි සයිබර් අවකාශ නොපැවැති යුගයක සිළුමිණේ දියුණුවට අකුරු අමුණන රොටරි යන්ත්‍ර ක්‍රියාකරවන අය ගේ පටන් රට පුරා පුවත්පත් බෙදා හරින්නන් දක්වා පැවැති උද‍්යෝගය හා භූමිකා නිරූපණය අප රටේ සමාජ සංස්කෘතික ජීවයට අත්වැළ ඇල්ලීමක් බඳු විය. ඩී.ආර්. විජේවර්ධන මහතා වැලිවිටියේ සෝරත හිමියන්ට සිළුමිණ පුවත්පතට ලිපි රචනා කරන්ට ආරාධනා කර ඇත.

සිළුමිණ භාෂා ශාස්ත්‍ර, සංස්කෘතික, පාරිසරික, ආර්ථික, දේශපාලන, සමාජ විද්‍යා, මානව විද්‍යා, සෞන්දර්ය ලලිත කලා, සිනමා, නාට්‍ය, ටෙලිවිශන් ජාත්‍යන්තර දැනුම, මනෝ විද්‍යා, ව්‍යාපාරික, වෛද්‍ය විද්‍යා, ප්‍රහසන, දැන්වීම් ප්‍රවෘත්ති, චිත්‍ර මූර්ති කවර හෝ විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ වුව ලිපි රචනා දස දහසක් පළකොට ඇත්තේ ය.

සිළුමිණට රචනා කිරීමෙන්, නවකථා කරුවෝ, කෙටිකතාකරුවෝ, කවියෝ, චිත්‍රමූර්ති, ගෘහ නිර්මාණ, වාස්තු විද්‍යා ශිල්පීහු, ඉංජිනේරුවෝ, ඉතිහාස පුරාවිද්‍යා හා මානව සමාජ විද්‍යාඥයෝ, වෛද්‍යවරු මෙන් ම දේශපාලනඥයෝ ද, ගණකාධිකාරිවරුන්, කළමනාකරුවන්, ව්‍යාපාරිකයන් මෙන් ම පුවත්පත් කලාවේදීහු බිහිවූහ.

මේ කුමන ක්ෂේත්‍රයකට වඩා වටින්නේ සිළුමිණ ශ්‍රී ලාංකික ජාතියේ අභිවර්ධනය කරමින් හොඳ මනුෂ්‍ය ප්‍රජාවක් සිවිල් සමාජයක් බිහි කිරීමට ගත් උත්සාහය. අද සිළුමිණ හමුවේ පෙරටත් වැඩියෙන් එම අභියෝගය පවතී. .

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති 

Comments