
අද අපි කතා කරන්නේ සුරා පානය ගැන. ඊට බොහෝ දිගු ඉතිහාසයක් තිබෙනවා. වෛදික යුගයේ පටන් මිනිසුන් 'සෝම' නම් පානය බී මත්ව ගී ගැයූ බව දැක්වෙනවා. වෙහෙස මහන්සි වී වැඩ කළ ඔවුන් ප්‍රකෘති තත්ත්වයෙන් මිදී යම් මත්වීමක් අපේක්ෂාවෙන් මීට ඇබ්බැහි වුණු බව සිතිය හැකියි. සුරාවෙන් මත් වූ අයකුට හිතට එන ඕනෑම දෙයක් කිව හැකියි. සංස්කරණයක් නැහැ. එවැනි ඇතැම් දේ නරක බව ඔවුන් දන්නා නමුත් ඒවා පාලනය කර ගැනීමේ හැකියාව ඒ අයට නැහැ.
• සුරාව හා මේරය දෙකක්
සුරාව කියන්නේ තම්බා පැසවා ගන්නා දේවල්. මේරය කිව්වේ පෙරළා බොන ඒවාට. මේක දෙකක්. මත්ද්‍රව්‍ය පානය හෝ විද ගැනීමත් මේ අකුසලයට වැටෙනවා. බණ පොතේ දැක්වෙන්නේ ජාතිය කුමක් වුව මදයට හා ප්‍රමාදයට හේතු වන මොන දෙයක් වුව ගැනීමෙන් වැළකිය යුතු බවයි. මදය කිව්වේ මත්වීමට. ඇතැමුන් ධනයෙන් මත්වෙනවා. තව කෙනෙක් රූපයෙන් මත්වෙනවා. සමහරක් සුරාවෙන් මත්වෙනවා. ප්‍රමාදය නම් පමාවයි. එය ජීවන ප්‍රමාදය වෙන්න පුළුවන්. සංසාර ප්‍රමාදය වෙන්න පුළුවන්.
• අකුසලය සම්පූර්ණ වන්න කරුණු 4ක්
සුරාමේරය අකුසලය ප්‍රතිසන්ධි විපාක බවට පත් වන්නේ මත්පැන් පානය කොට සිදු කරන පාප කර්ම අනුවයි. නැතිනම් පව්කම් කොට මත්පැන් පානය කොට ඒ ගැන සතුටු වීමත් යන කරුණු අනුවයි. ඒ අකුසලය සම්පූර්ණ වන්න කරුණු 4ක් බලපානවා.
1. සුරා ආදි මත්ද්‍රව්‍යයක් වීම
2. මත්ද්‍රව්‍ය ගැනීමේ චේතනාව
3. ඒ සඳහා උත්සාහ කිරීම
4. මත්ද්‍රව්‍ය ශරීරගත වීම
• සුරාව බෙහෙතක් ද
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සුරාව ඖෂධයක් ලෙස භාවිත කරනවා. බටහිරත් එහෙමයි. ඒ අයත් යම් පාලනයක් ඇතිව නියමයන්ට යටත්ව සුරාව පාවිච්චියට ගන්නවා. බණ පොතේ දැක්වෙන්නෙත් සුරා පානය කොට නුසුදුසු තැන මත් නොවිය යුතු බවයි. ඒත් ඇතැමුන් ධර්මමය අර්ථය නොගෙන මේවා තම වාසියට අර්ථකථනය කරගන්න උත්සාහ දරනවා. ඒ නිසාම සුරාව නරකක් නෙමෙයි කියන තැනකට සමාජය පත් වෙමින් තිබෙනවාදෝයි සැක හිතෙනවා.
• සුරාවේ ආදීනව රැසක්
සුරාමේරය හේතුවෙන් වතුරට දැමූ ලුණු සේ කෙනකුගේ ධනය පිරිහෙන්න පුළුවන්. එය ධනය වස්තුව විනාශ වීමේ මූලික හේතුවක්. මදයට හා ප්‍රමාදය හේතුවන රහ මෙර පානයේ තව ආදීනව රැසක් දැක්විය හැකියි. ඉන් අඩදබර කලකෝලාහල ඇති වෙනවා. ලෙඩ රෝග වැලඳෙනවා, මත්පැන්, මත්ද්‍රව්‍ය ගැනිම නිසා ඇතිවන බොහෝ රෝග සුවකළ හැකි මට්ටමක නැහැ.
ජීවිතයෙන් සමුගැනීමට තරම් ඒවා බරපතළ විය හැකියි. තව ආදීනවයක් තමයි නින්දා අපහාස. සුරාලෝලීන් ලැජ්ජා භය නැති වී තිරිසනකු මෙන් හැසිරෙනවා, නුවණ පිරිහී දුර්වල අයකු වෙනවා.
• බේබද්දාට සදාචාරයක් නැහැ....
බේබදුකම මවුපිය දූදරු සබඳතා බිඳ දමනවා. ඊට සදාචාරයක් නැහැ. බලන්නේ තාවකාලික ආශ්වාදය පමණයි. තාත්තා හැමදාම හවසට බීගෙන එනවා නම් දරුවන්ට ඔහු එපා වෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට එය නරක අයුරින් බලපානවා. පවුල් සංස්ථාවේ ප්‍රශ්න රැසකටත් මුල් වන්නේ සුරාව. පළමුව නිවසින් ආරම්භ වන අසමඟිය දෙවනුව අසල්වාසීන් අතරට ද ගොස් ඥාති ධර්ම හා අනොන්‍ය සබඳතා පළුදු කරනවා. ඇතැම්විට නීතිමය ප්‍රශ්න ඇති කරගෙන අධිකරණය සිපිරි ගෙය දක්වා ඒවා ව්‍යාප්ත කරනවා. අපරාධ රැසකටත් මත්පැන්, මත්ද්‍රව්‍ය සම්බන්ධයි. අද සිරගතව සිටින වැඩිදෙනා මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්වූවන් බව පෙනී ගොස් තිබෙනවා.
• පාපමිත්‍රයෝ හා සුරාධුත්තෝ
මත්පැන් බොන්නන් හඳුන්වන්නේ බේබද්දන් කියලා. සුරාසොඬාට බේබද්දාට කිසි ආකාර දියුණුවක් ලබා ගත නොහැකි වෙනවා. මෙබඳු අයට සමාජයේ කිසි තැනක් නැහැ. ඔවුන් පිළිකුල් කරනවා. ගමේ සමාජයේ පන්සලේ කටයුතුවලට ඒ අය සුදුසු නැහැ. ඔවුන්ට ආවාහ විවාහ වෙන්න පවා අපහසුයි. සිඟාලෝවාද සූත්‍රයේ දී සුරාව පානය කරන්නන් 'පාපමිත්‍රයන්' ලෙස හැඳින්වෙනවා. වසල පරාභව සූත්‍රවලදී ‘සුරාධුත්තෝ’ යනුවෙන් ඔවුන් හඳුන්වා දී තිබෙනවා. පස්පව්වලින් මුල් සතර සමාජයට කරන අපරාධ. සුරාමේරය කියන්නේ වෙනස්. එය තමන්ට ම කර ගන්නා අපරාධයක්. තමාට හානි කරගන්නා ඔහු අනතුරුව සමාජයටත් හානි කරනවා.
• බිව්වාම සිංහයෝ වෙනවාද....
මිනිස් සිතට මුලින් ම එන්නේ සිතිවිල්ලයි. එය ක්‍රියාත්මක කිරීමෙන් යම් ආස්වාදයක් ලබනවා. ඒ ආස්වාදයත් සමඟ ආසාවට බැඳෙනවා. දිගින් දිගට කිරීමෙන් එය ඇබ්බැහියක් බවට පත්වෙනවා. ඇබ්බැහිය රෝග ලක්ෂණයක්. සමහරුන්ට හැමදාම බොන්න ඕනෑ වෙන්නේ ඒකයි. මේක කෙතරම් බලවත් වෙලා ද කීවොත් අපේ සංස්කෘතිය මේ වනවිට සුරාසොඬ සංස්කෘතියක් බවට පත්වෙලා. පෞරුෂයේ හීනකමත් මීට බලපානවා. කෙලින් ප්‍රකාශ කරන්න බැරි දේවල් කියන්න දෙකක් දාගෙන එනවා. ඒත් සුරා පානයෙන් පණුවෙකු මිස කිසිවකුට සිංහයෙකු වන්න බැහැ. අප එය තේරුම් ගත යුතුයි.
තෙරුවන් සරණයි
මේ ධර්ම සාකච්ජාවෙන් පැන නඟින යම් ගැටලුවක් වෙතොත් පහත ලිපිනයට යොමු කරන්න. 'ධර්මයාමය', සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.