
“ක්‍රීඩාව” පිළිබඳ කතිකා කරනු ලබන විට ලෝක මට්ටම ලෙස සැලකුම් ලබන්නේ ඔලිම්පික් තරගාවලියයි. ලොව කුමන රටක කුමන ජනවර්ගයකට අයත්ව ඉපදුණු ද ක්‍රීඩක - ක්‍රීඩිකාවක වේ නම්, ඔහුගේ ඇය ගේ හෝ එක ම අරමුණ කෙදිනක හෝ ඔලිම්පික් පදක්කමකින් ගෙල සරසා ගැනීමය. එය උපන් බිමට තමාට කළ හැකි ඉහළ ම උත්තම පූජාව වනු නියතය. ඒ උත්තම පූජාවෙන් ලක්මෑණිව පිදු ඔලිම්පික් පදක්කම්ලාභී ශ්‍රී ලාංකේය දිරිය ක්‍රීඩිකා, දේශබන්දු සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලාංකික කාන්තාවගේ අද දවසේ සමාජ ආර්ථික, දේශපාලන ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු දැයි පැහැදිලි කෙළේ මෙසේයි.
ලෝක සිතියමේ පුංචි තිතක් බඳුවට සනිටුහන් වුව අප උතුම් මාතෘභූමිය “පෙරදිග ධාන්‍යාගාරය”, “ඉන්දියන් සාගරයේ මුතු ඇටය” යන නම්වලින් පුදනු ලැබ තිබේ. මේ උතුම් පින්බිමේ උපන් සමස්ත රටවැසි ජනතාව ම වාසනා වන්තයෝ ය. ඒ අතුරින් කාන්තාවක ලෙස උපන් මා ඇතුළු මේ රටේ සමස්ත කාන්තා පරපුෙර් ම අභිමානය, සේවාව, වගකීම පිළිබඳ යම් තක්සේරුවක් සිදු කිරීම ඉලක්ක කොට කාන්තා වැඩසටහන් රටපුරා පැවැත්වීම වටී.
ශ්‍රී ලාංකේය කාන්තාවගේ අද දවසේ සමාජ, ආගමික, දේශපාලන ක්‍රියාකාරිත්වය කොතරම් දුරට පවුල් ඒකකයේ, සමාජයේ පොදුවේ ගත් කල රටේ දියුණුවට බලපාන්නේදැයි විමසා බැලීමක් අප කළ යුතුයි. එම සේවාව අගය කළ යුතුයි.
ලෝකයේ සමාජ, ආර්ථික, දේශපාලන, ආගමික ක්ෂේත්රවල දියුණුවට අභීතව ක්‍රියා කළ ලෝක කාන්තා නායකයන් ගැන මට මේ මොහොතේ සිහිපත් වේ.
ඒ අතුරින් එක්සත් රාජධානියේ අවස්ථා කිහිපයකදි අග්‍රාමාත්‍ය ධුරය දැරූ මාගරට් තැචර් මැතිනිය, අසල්වැසි ඉන්දියාවේ විසූ තෙරේසා මවුතුමිය, ඉන්දිරා ගාන්ධි මැතිනිය ප්රමුඛ යැයි සිතන්නට පුළුවන.
ශ්‍රී ලංකාවේ කාන්තා නායිකාවෝ ලෙස මට එක් සුවිශේෂී චරිතයක් සිහියට නැඟේ. ඒ වෙන කිසිවෙකුත් නොව, ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය වූ දිවංගත ගරු සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනිය යි.
ෙම් අන්දමට දෙස් විදෙස් හි පතල කාන්තා නායිකාවන් රාශියක් වෙති.
එම අභීත කාන්තා නායිකාවෝ සමාජ, දේශපාලන, ආර්ථික, ක්‍රීඩා, කලා, විද්‍යාව, පරිසර ඇතුළු නෙක විධි ක්ෂේත්රවල ප්රගමනයට සිය දායකත්වය උපරිමයෙන් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ කාන්තාවෝ අද දවසේ පෙරටත් වඩා, තම පවුල් ඒකකයේ ආර්ථික, සාමාජයික දියුණුව සැලසීම උදෙසා ඇපකැපවී දැඩි ලෙස වෙහෙස වී ක්‍රියා කරන පිරිසක් බවට පත්ව සිටිති.
එක් කුටුම්භයක පුරුෂ පාර්ශ්වය වෙහෙස වී උපයා ගන්නා ආදායමින් පමණක් ඉහළ ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීෙම් අමාරුකම වටහා ගත් වත්මන් ශ්‍රී ලාංකික කාන්තාව, ඒ නිසා ම පෙර දවසේ විසූ කාන්තාවට වඩා පෙරට විත් පිරිමින් හා හරි හරියට වැඩ රාජකාරි කොට තම දුවා දරුවන්ගේ අනාගතය ගොඩනැඟීමට දායක වී ඇත. එම තත්ත්වයට පත්විමට කාන්තාවට අද දවසේ සිදු වී ඇත.
ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබීමට යම් පවුලක්, කුටුම්භයක් සමත් වී ඇත්ද? ඊට කාන්තාවන් දැක්වූ දායකත්වය බෙහෙවින් ම ඉහළින් ම බලපා ඇති බව මා නොබියව කියනුයේ අප පවුලේ “අපේ අම්මාගේ” ක්‍රියා කලාපය සිහිපත් කරමිනි. ඇඳිවත පමණක් අතැතිව උපන් අපට මුළු ලොව දිනන්නට අවශ්‍ය මූලික සවිය, අඩිතාලම දැමුවේ අපේ අම්මාය.
ඇය කුසට අහරක් නොමැතිව, දිවා රෑ වෙහෙස වී ක්‍රියා කළේ තම දූ දරුවන්ගේ යහපත සැලසීම උදෙසාමය. මෙවන් මෑණිවරු මුළු රටේ ම ජීවත් වෙති. අප අද ගෞරව, බුහුමන් දැක්විය යුත්තේ එවන් උතුම් මෑණිවරුන්ට ය. අපේ සහෝදරවරියන්ට ය. අපේ ම දියණිවරුන්ට ය.
පෙර දිනවල විසූ කාන්තාවන්ට වඩා අද දවසේ කාන්තාවෝ ක්‍රියාශීලී වි සිටිති. ඔවුහු සමාජයේ පිරිමින් හා කරට කර, සම සමව සිට ආර්ථික අතින් ඉදිරියට ඒමට වෙහෙස වෙති. ගමේ, නගරයේ ත්රීවිලර් පදවන, රියදුරු රැකියාව කරන කාන්තාවෝ පවා සිටිති. ඔවුන් මේ දේ ඉටු කරනුයේ දැඩි ආත්ම ශක්තියකින් යුක්තව ය.
අභ්‍යාවකාශය ජය ගත් විදේශීය කාන්තා චරිත පිළිබඳ කතා කරන අප, අප රටේ කාන්තාවෝ ආර්ථික අතින් තම පවුල් සංස්ථාව පෙරට ගැනීමට දුක් මහන්සි වන ආකාරය ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය. ගොවිබිමේ, කම්හලේ, මඟතොටේ කාන්තාවෝ සිය දා බිඳු වැය කොට පවුල්, සමාජය, පරපුර, රට ගොඩනැඟුමට අනේකවිධි පීඩා මැද කැපවී ක්‍රියා කරති. කාන්තාවන් මුහුණ දෙන පීඩා අවම කිරීම අද දවසේ අප සැමගේ යුතුකම හා වගකීම බවට පත්ව ඇත.
ආසියානු රටවල කාන්තාවන්, යුරෝපා රටවල කාන්තාවන් තරම් ආර්ථික අතින් සවිමත් වීමට රැකියා කරන ආකාරයක් පෙරදා දක්නට නොලැබුණි. එනමුත්! රට රටවල් දියුණුව කරා යෑමේදී නිවසට වී නිකම් බලා සිටීමේ පුරුද්දෙන් මිදීමට කාන්තාවට අවශ්‍ය විය. මේ ආකාරයෙන් සිතූ කාන්තාවෝ අද දවසේ යුරෝපය අබිබවා යන දිරිමත් කාන්තාවෝ ලෙස ආසියාවෙන් ඉදිරියට එති. ඒ අය විවිධ ක්ෂේත්රවලින් පෙරට විත් ඇත. එය සතුටට කරුණකි.
රට, සමාජය පිළිබඳ කාන්තාවන්ගේ තිබෙන දැනුම, අත්දැකීම්, පළපුරුද්ද වැඩිදියුණු කිරීමට අප කටයුතු කළ යුතුවේ. අද දවසේ කාන්තාවන්ට මුහුණපෑමට සිදුවන ගැහැට අනන්තය.
මේවා සියල්ලක් ම විඳ දරා නැඟී සිටීමට වෙර දරන කාන්තාවෝ ද සිටිති. එවන් පිරිස් වැඩි වැඩියෙන් රටට අවශ්‍ය මොහොත උදා වී ඇත. ඇත්ත වශයෙන් ම අභියෝගවලට බිය නොවී අභියෝග ජයගත හැකි මානසිකත්වයකින් ආකල්පවලින් පිරි කාන්තා පරපුරක් අප බිහි කළ යුතුය.
මේ වන විට දේශපාලන නියෝජනයේ දී කාන්තාවන්ට සියයට 25ක ප්‍රතිශතයක් ලබා දිය යුතු යැයි කතිකා වෙමින් පවතියි. කාන්තාවන්ට යම් ක්ෂේත්රයක කටයුතු කිරීමට ප්‍රතිශත ලෙස නොව, යම් ඉඩක් ලබාදිය යුතුය යන කරුණ කතිකා කිරීම අප පැසසිය යුතුය. එම කතිකාව පවා ඉතා ඉහළ ප්රතිඵලදායී ක්‍රියාවක් බවට ඉදිරියේදි පරිවර්තනය වනු ඇත.
කාන්තාවන්ට සමාජයේ ප්රගමනයට නීත්‍යානුකූලව ප්‍රතිශත ලෙස ම වෙන් කළ ඉඩක් නිර්මාණය වීම ඉතා වැදගත් වන්නා සේ ම, දැනට කාන්තාවෝ නියැළී සිටින යම් යම් ක්ෂේත්රවල ඉහළට පැමිණි පිරිසගෙන් රටට, සමාජයට සේවාවක් සිදු කිරීමට අවස්ථාව ලබාදීම ද කළ යුතුවේ. උදාහරණයක් ලෙස තමා ගන්නැයි මම සමාජයට ආරාධනා කරන්න කැමැතිය.
මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ලෝක මට්ටමේ ස්වර්ණමය පදක්කම් 4කට හිමිකම් කියන “මා” ක්‍රීඩාව තුළින් ලත් අත්දැකීම්, පළපුරුද්ද ඉහළය.
එය, මෙරටේ නැවත වතාවක් එවන් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරලීමට ලබාදීමට මා සූදානම්. එනමුත්! අදාළ බලධාරීන් තවම නිසි ලෙස “මා” ගෙන් හෝ මාගේ සමකාලීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් රටට අවශ්‍ය ඒ සේවය ලබා ගැනීමට උත්සුක වී නොමැති බව කනගාටුවෙන් වුව කිව යුතුය. අප රටට, සමාජයට අපේ දැනුම ලබාදීමට සූදානම් නමුත්! එයට නිසි ගෞරවයක්, පිළිගැනීමක් අවස්ථාවක් දීමට වගකිවයුත්තෝ සූදානම් නැති නම් කාට ද? මේ ගැන කරුණු කිව යුත්තේ යන පැනය ඉදිරියට පැමිණේ. අපි ඒ පැනය අභියස පිළිතුරු නොමැතිව නිරුත්තර වී සිටින්නෙමු.
දකුණු ආසියානු ක්‍රීඩා තරගවලදී පදක්කම්ලාභීන්ට රාජ්‍ය සම්මාන ජාතික ඇගැයීම් ලැබෙන අයුරු අපි දුටුවෙමු. ඒ පිළිබඳ කිසිදු අහිතක් මා සිත තුළ නැත. එනමුත්! ලෝක මට්ටමේ ඔලිම්පික් පදක්කම් මට්ටමේ ඉතා සුවිශේෂී ජයග්‍රහණ රටට ගෙන ආ මා වෙත “දේශබන්දු” නාමය පවා ලබා දුන්නේ ඉතා ම මෑතකදියි.
එලෙස වසර ගණනාවකට පසු හෝ නිසි ලෙස අපව ඇගැයීමට ලක් කිරීමට පියවර ගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මේ මොහොතේ අවංකව, හෘදයාංගමව ස්තුතිය පළ කරන්නට කැමැතිය.
ක්‍රීඩා ක්ෂේත්රයේ නියැළී ලත් අත්දැකීම්, පළපුරුද්ද, දැනුම යළිත් රටේ දරුවන්ට ලබාදීමට දැනට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටින මා ඇතුළු සමකාලීනයෝ සූදානම්! එම පිරිස්වලින් යම් සේවාවක් රටට, මෙරටේ ක්‍රීඩාවට ලබා ගැනීමට අවස්ථා හිමි කරදීමට කාලය එළැඹ තිබේ.
මේ සියලුදෙනාගේ ම සේවය රටට යළි ලබා ගැනීම යනු කාන්තා පරපුරේ පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකිකයිනගේ ම ජයග්රහණයන්ට සපයන යෝධ ශක්තියක් ම වනු ඇත.