
ස්ථානය මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයයි. තමන්ට මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා හමුවීමට අවශ්‍ය බවත් තමා වට්ටාපලෙයි මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා බවත් මුරපොළට පැමිණි අමුත්තා සෙබළුන්ට පවසා සිටියේය. ආඥාපතිවරයාගේ අවසරය පරිදි අදාළ අමුත්තාට අවසර ලැබුණි.
‘ආයුබෝවන් , මම ඒ. තිරුකුමාර් වට්ටාපලෙයි කොලේජ් එකේ ප්‍රින්සිපල්‘
‘ආයුබෝවන් වාඩිවෙන්න‘ ආඥාපතිවරයාගේ සුහද පිළිගැනීම ගැන විදුහල්පතිවරයා කෘතඥ සිනහවක් පා අසුන් ගත්තේය.
‘අපේ ඉස්කෝලෙ ඕ ලෙවල් , ඒ ලෙවල් කරන ළමයි කවුරුවත් ග්‍රහලෝකාගාරය දැකල නැහැ, පාර්ලිමේන්තුව මොන වගේ එකක්ද අහනව, දියවන්නා ඔයේ වතුරෙ පාවෙන එකක්ද කියලත් සමහරු අහනව, සත්තු වත්තෙ සත්තු ඉන්නෙ කොහොමද අහනව, කොළඹ කොයි වගේ ද අහනව‘ . මේ දරුවො කවදාවත් කොළඹ ගිහින් නැහැ. නැවක් දැකල නැහැ. නැවක් විතරක් නෙමෙයි කෝච්චියක් දැකපු නැති ළමයිත් ඉන්නව. බලධාරීන්ගෙන් අහපුවහම කියන්නෙ සල්ලි එකතු කරගෙන චාරිකාවක් යන්න කියල, අනෙක් පාසල්වලත් කරන්නේ එහෙමයි කියනව. මේ දරුවන්ට කොළඹ ගිහින් එන්න දවස් දෙක තුනක් යනවා. ඒ තරම් වියදමක් දරන්න පුළුවන් දරුවො කවුරුත් මේ පාසලේ නෑ‘
‘ඉතින් ඇයි මාව හමුවෙන්න ආවේ‘
‘අපි ඔබතුමාලගේ සේවය ගැන හොඳින් දන්නව, කෙප්පපිලව් ඉස්කෝලෙට ගොඩනැගිලි හදල දුන්න, පිට්ටනියක් හදල දුන්න, ඒ වගේ ගොඩන් දේවල් කරපු නිසා අපිට දැනුණ මේ වගේ ඉල්ලීමකට හොඳ පිළිතුරක් ලැබෙයි කියල, දෙමව්පියොත් කිව්ව හමුදාවෙ මහත්තුරු නන්දිකඩාල් කලපුවේදී අසරණ වෙච්ච අයට සලකපු හැටි එයාල දැක්ක කියල, හමුදාවෙන් අනිවාර්යෙන්ම උදවු කරයි කියලත් කිව්ව, කොළඹ නෙමෙයි ත්‍රිකුණාමලයට පවා නොගිය ළමයි ඉන්නව‘
‘ ළමයි කී දෙනෙක් ඉන්නවද? ‘
‘ ඕ ලෙවල් ඒ ලෙවල් පන්තිවල ළමයි 110ක් විතර ඉන්නව‘
‘හරි ත්‍රිකුණාමලයටයි. කොළඹටයි ගිහින් එන්න දවස් 4ක චාරිකාවක් ලෑස්ති කරන්න, මම දරුවන්ට යන්න එන්න, එහේ ඉන්න කන්න බොන්න සේරම නොමිලේ ලෑස්ති කරල දෙන්නම්‘
විදුහල්පතිවයා මඳ වේලාවක් ආඥාපතිවරයා දෙස එක එල්ලේ බලා උන්නේය. ඔහුට ඒ පිළිතුරෙන් ඇස් අදහා ගත නොහැකි විය.
‘මට පොඩ්ඩක් කලින් දින ගැන කියන්න හමුදාපතිවරයාගේ අවසරය අරගෙන මම බස් දෙකක් දෙන්නම්, අනෙක් පහසුකම් සේරම අවසර ඇතිව සලසා දෙන්නම්‘
‘ඔබතුමාලට බොහොම පින් සිද්ධ වෙනවා.‘ මිටෙන් මුදා හළ කුරුල්ලකු මෙන් කඩිනමින් ගිය විදුහල්පතිවරයා පසු දිනම අධ්‍යාපන චාරිකාව මාර්තු 10 වැනිදා සිට 13 වැනිදා දක්වා සංවිධානය කර ඇති බව දැන්වීය.
චාරිකාවට අවශ්‍ය බස් රථ දෙක යුද හමුදාවෙන් සැපයිණි. ඒ සඳහා සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් අසේල ඔබේසේකර මහතා ඇතුළු හමුදාවේ කිහිප දෙනෙකුද සහභාගි වූහ.
දින 4 අධ්‍යාපන චාරිකාව ත්‍රිකුණාමලය දක්වා ගොස් කොළඹ හරහා යළි මුලතිව් දක්වා ගියේය. භාෂාවේ ප්‍රශ්න හැරෙන්නට මේ සිසු සිසුවියන්ට වෙනත් ප්‍රශ්නයක් නොවීය. ඔවුහු ජීවිතයේ මුල් වරට කොළඹ දුටුවහ. උතුරේ ඇතැම් දේශපාලඥයන් කියන්නේ හමුදාව උතුරෙන් ඉවත් විය යුතු බවයි. එහෙත් මේ චාරිකාවට පැමිණි දරු දැරියන් හමුදා නිලධාරීන් සහ සෙබළුන් සමඟ එක්ව සේයාරූ වලට මුහුණ දෙන හැම විටම කියා සිටියේ තමන්ට උදවු උපකාර කරමින් හමුදාව සැමදා තමන් සමඟ සිටිය යුතු බවයි. ග්‍රහලෝකාගාරයට ගිය විට තමන් පිට සක්වළකට පැමිණියා බඳු හැඟීමක් ඇති වූ බව මේ සිසුහු පැවසූහ. සතුන් වත්ත ගැන අපට ඒ තරම් අමුත්තක් නොදැනුණද මේ දරු දැරියන් කිසිදා නොදුටු සතුන් සියැසින් දැක විඳ ගත්තේ අපූරු අසිරියකි. ඉඳ හිට වල් අලි දැක ඇතත් හීලෑ අලින් ඔවුන් දුටුවේ ප්‍රථම වතාවටය. අලි නැටුම්ද ඔවුහු දැකගත්හ මේ සංචාරයේදී දරු දැරියන් ඇතුළු පිරිස විසින් ග්‍රහලෝකාගාරය, කෞතුකාගාරය සත්තුවත්ත පාර්ලිමේන්තුව කොළඹ අන්තර්ජාතික ගුවන් තොටුපළ, කොළඹ වරාය, දියත උයන, ගාලු මුවදොර, ගංගාරාමය ඇතුළු ස්ථාන රැසක්ද ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වැනි තට්ටු සංකීර්ණයන්ද ඔවුන්ගේ නෙතට රසඳුනක් විය.
සංචාරය නිමවා පැමිණි පසු පාසලේ ඉංග්‍රීසි ආචාර්යවරයකු වන ක්‍රිෂ්ටියන් අනුසාද් මහතා විසින් ස්තුති පූර්වක ලිපි මුලතිව් හමුදා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා වෙත යොමු කර ඇත. මේ සම්බන්ධව හමුදාවේ සියලු දෙනාටම පාසලේ සියලු දරු දැරියන් සහ දෙමව්පියන් විසින් ස්තුතිය හද පිරියෙන් පළ කරනු ලබන බවද එහි දක්වා ඇත.
උතුරේ සංහිඳියාවක් ඇති කළ යුතු බවට අද බොහෝ විට මාධ්‍ය මගින් කතා බහට ලක් වනු පෙනේ. මේ ක්‍රියාදාමය දෙස බැලූ විට අමුතුවෙන් සංහිඳියාවක් ඇති කළ යුතු බවක් අපට නම නොපෙනේ. සංහිඳියාව ඇති කළ යුත්තේ ජනතාවට නොවේ. තම වාසිය ලබා ගන්නට දරුවන් සහ ජනතාව බිල්ලට දෙන්නට උත්සාහ ගන්නා උතුරේ ඇතැම් දේශපාලඥයන්ටය.