‍බොරු කියන්න බැරි මිනි­හට දේශ­පා­ල­න­ඥ­යෙක් වෙන්න බෑ | සිළුමිණ

‍බොරු කියන්න බැරි මිනි­හට දේශ­පා­ල­න­ඥ­යෙක් වෙන්න බෑ

සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ගැනීම සඳහා පැමිණ සිටින තරුණ පුවත්පත් කලාවේදියාට සහ ඡායාරූප ශිල්පියාට ආහාරපානයෙන් සංග්‍රහ කිරීමේ වගකීම බන්දුලට පැවරූ නරේන්ද්‍ර ඔවුන් දෙදෙනා දෙස මඳ වේලාවක් බලා සිටියේ ය.

“මල්ලිලා ලජ්ජා වෙන්න එපා. හොඳට කාලා බීලාම වැඩේ පටන් ගනිමු. කෑම බීම මානසික අල්ලසක් නෙමේ. අපි ගැමියො. අපේ සිරිතක් මේ.”

අනතුරුව ඔහු කීවේ බන්දුල රැගෙන එන කෙටිකෑම බඳුන් සහිත බන්දේසිය දෙස ඕනෑකමින් බලමිනි.

“මන්ත්‍රිතුමා ගැන අපි දන්නවා. මීට කලිනුත් අපි දෙන්න ම ඇවිත් තියෙනවා.”

“ඕ... එහෙමද? පළමුවෙනි ගමන හිතට අල්ලපු නිසා දෙවැනි ගමනත් ආවා. එහෙමද?”

“නෑ. මන්ත්‍රිතුමා හිතට එකඟව කතා කරනවනෙ. ඒකට අපි කැමතියි.”

“කොයි දේශපාලනඥයද කොල්ලනේ හිතට එකඟව කතා කරන්නෙ? බොරුව - බොරුව - බොරුව. බොරු කියන්න බැරි මිනිහෙකුට දේශපාලනඥයෙක් වෙන්න බැහැ.”

නරේන්ද්‍ර කීවේ හඬ නඟා සිනාවක් පාමිනි. කැමරා ශිල්පියාත් පුවත්පත් කලාවේදියාත් උනුන් මුහුණ බලා ගත්හ. මේ නම් අමුතුම දේශපාලන සත්ත්වයෙකැයි හැඟීමක් දෙදෙනා තුළම උපන්නේත් සාකච්ඡා කර ගත්තේත් පුවත්පත් කාර්යාලයෙන් පිටතට එන විටමය.

“නරකම නැහැ. ඒත් පෙන්නන උපාසක චරිතයක් මිනිහට නෑ. පරිස්සමෙන්. ගස් නැති රටකට තුත්තිරි ගසුත් වටිනවා.”

ප්‍රධාන කතුවරයා නරේන්ද්‍ර පිළිබඳ කළ හැඳින්වීම ඡායාරූප ශිල්පියා අනුමත කළේ නැත.

“මම නම් හිතන්නෙ නරේන්ද්‍ර මන්ත්‍රීතුමා අවංකයෙක් කියලයි.”

ඔහු සගයාට කීවේය.

“දැනට ඔහොම හිතමුකො. කලිනුත් අපිට එයා හම්බවෙලා තියෙනවනෙ. ලොකු ම දුර්වලකම වචනවල හොද නරක ගැන හිතන්නෙ නැතිකම. පිහියෙන් අනින්නා වගේ කතා කරනවා කියලා සමහරු සම්මුඛ සාකච්ඡාවක් ගන්න යන්නෙත් නැහැ.”

“බලමු බලමු අහන ප්‍රශ්නවලට දෙන උත්තරේ ටේප් කර ගමු. එච්චරයිනෙ අපේ රාජකාරිය. ඉතුරු ටික පත්තර කන්තෝරුව බලා ගනීවි.”

එවැනි සම්මුතියකට අනුගතව පැමිණි දෙදෙනා තේ පානය කරමින් සිටියදී නරේන්ද්‍ර උඩු මහලේ තම නිදන කාමරයට ගියේ යොවුන් කල ගත් පැරැණි ඡායාරූපයක් තෝරා ගෙන ඒමටය. එය නිදන කාමරයක් පමණක් නොවේ. ඔහු විසින් පරිස්සමින් ආරක්ෂා කර ගෙන සිටින අතීත මතක සිහිවටන තැන්පත් කළ කෞතුකාගාරය ද එයමය. කාමරයේ පසක අහංකාරයෙන් හා ප්‍රභූත්වයෙන් නිහඬව බලා සිටිනා කොහොඹ ලීයෙන් තැනූ අල්මාරිය ඔහු කරන්නට යන්නේ කුමක්දැයි විමසිල්ලනේ මෙනි.

පෙර එහි ඇඳුම් පැලඳුම් තිබුණ ද දැන් සමරු සිහිවටනය. යොවුන් වියේ තරුණ වියේ මෙන් ම ක්‍රමයෙන් වියපත් වන මේ දිවියේ මතකවලින් පිරුණු අල්මාරිය සමීපයට ගිය නරේන්ද්‍ර දොර පියනකට අත තැබුවා පමණි. අල්මාරි කැඩපත ඔහුගේ අවධානය තමා වෙතට යොමු කරවා ගත්තේ ඔහුටත් නොදැනෙන්නටය.

නරේන්ද්‍ර කැඩපතේ ප්‍රතිබිම්බය දෙස බලා සිටින්නට විය. මහලුවිය කය ආක්‍රමණය කරන්නට දැඩි උත්සාහයක් ගනිමින් බව පැහැදිලිය. ආක්‍රමණිකයා පරදවන්නට සිත ද අධිෂ්ඨානශීලීව සිටී. ඔහුට වඩා වියපත් මැති ඇමැතිවරු ජනයා පාර්ලිමේන්තු ආසන අරා වැජඹෙන චිත්තරූප ඔහුට දිරිදෙමින් නැගී සිටියේ ය.

“උපතක් කියන්නේ ජීවිතයේ එක සිදුවීමක්. පසුකාලීනව ඒක අවුරුද්දේ එක දිනයක් වෙනවා. අධික අවුරුද්දක් නම් තව දවස් තුන්සිය හැට හතරක් අපට ඉතුරුයි. සාමාන්‍ය අවුරුද්දක් නම් දවස් තුන්සිය හැට තුනක් ම ඉතිරි වෙලා තියෙනවා. ජීවිතයත් එක්ක බද්ධ වුණා.”

ඔහුගේ සිත සෙමෙන් සෙමෙන් ජීවිතය විවරණය කරන්නට විය. එය දුර නොයා හැකි විවරණයක් විය.

“මටත් විකාර. අර කොල්ලො දෙන්නා මං එනකම් පහළ බලාගෙන ඇති.”

නරේන්ද්‍ර තමාට ම සමච්චල් කර ගනිමින් අල්මාරියේ දොරඟුළු විවෘත කරන්නට විය. අල්මාරි පියනක් ඇරිය සැණින් සිදු වූයේ ඔහු බලාපොරොත්තු වූවක් නොවේ. මං මුළාවූ ගමනක යෙදී අවසන අල්මාරිය තුළ සිරව සිටි හූනෙක් නරේන්ද්‍රගේ සිරුරට පැන ඇසිල්ලකින් බිමට වැටී සැඟව ගියේ අල්මාරිය තුළ වූ වීදුරු භාණ්ඩයක් ද බිම හෙළමිනි. වීදුරු භාණ්ඩය අමිහිරි හඬක් නංවමින් බිඳී ගියේ කුඩා කෑලිවලටය. එතුළ සුරක්ෂිතව පැවති රන්වන් පැහැති කුඩා බෝ කොළය සියලු බැඳීම්වලින් නිදහස ලැබුවා සේ ඔහුගෙන් දුරකට වීසි විය.

හූනා සොයා පයින් පාගා පොඩිකර දැමීමේ ක්ෂණික ‍ක්‍රෝධ සිත ලජ්ජාවෙන් යටපත් කර ගත් නරේන්ද්‍ර ඉතා සෙමෙන් පය තබා ගොස් බෝ කොළය අතට ගත්තේය.

එහි ඇලී තිබුණ වීදුරු කටු කෑල්ලක සිහින් තුඩක් ඔහුගේ දකුණත වෙදැඟිලි තුඩ තුළට කිඳා බැස්සේ සියුම් වේදනාවක් ඇති කරමිනි. සිරුර ඒ සියුම් වේදනාවෙන් වෙව්ලා ගියේය. ඇඟිලි තුඩ ද හිරිවැටුණා සේ විය. ඔහු වමත නිය තුඩින් වීදුරු කටුව ඉවතට ගත්තේ ප්‍රවේශමෙනි. පළමුව ඇඟිලි තුඬින් ලේ පිටතට පැන්නේ බි‍ඳෙන් බිඳය. දෙවනුව ලේ දහරාවක් අතැඟිල්ල ඔස්සේ පහළට රූරා වැට‍ුණේ බෝ කොළය සොයා ගෙනය. එය ලෙයින් තෙත් විය.

ලේ බිඳු පොළොවට පතිත වන විට නරේන්ද්‍රට බියක් දැන‍ුණෙන් ඔහු යහන මත හිඳ ගත්තේය. ඇඟිල්ල තුළ වසක් විෂක් වේ නම් පිට වෙනවා දකින්නට නොව ස්වකීය රුධිරයෙන් බෝ කොළය තෙත් වනු දැක්මේ සිහින් කුරිරු ආසාවකින් ඔහු බෝ කොළය මත තැවරුණු රතු ලෙය දෙස බලා සිටින්නට විය.

මේ සිහිවටනයක් වන් තිළිණය තම අත්ල මත තබා ආදරණීය මඳහසක් මුවග ඇතිව බලා සිටි ගැහැනියට තම කුරිරු සිතුවිල්ල දැනෙන්නට ඇතැයි හැඟීම අනතුරුව ඔහු සිත උපන්නේය. ඔහුට සුසුමක් හෙළිණි. ප්‍රියදෝණි මායාවක් සේ ඔහු අසලයි. “නරේන් ඔයා කවුද කියලා මම දැන් හොඳට දන්නවා. ඔයා හිතේ එකක් තියාගෙන ඊටවිරුද්ධ දෙයක් ගැන කියවන කොට ඒක තේරෙන නිසා මට දුක හිතෙනවා. ඇයි එහෙම කරන්නෙ? මාව විශ්වාස නැත්නම් මට ඔයාගෙන් මිදිලා යන්න දෙන්න නරේන්.”

ඇය කොතරම් නම් ආයාචනා කරන්නට ඇද්ද? ඇය තමාගෙන් මිදී පලා යනවාට තමා තුළ අබැටක තරම්වත් කැමැත්තක් නොතිබුණ බව ඇය සිතා මතා ම වටහා නොගෙන සිටියා ද? වසර ගණනාවක් පුරා ඇගේ එකම ආයාචනය ව‍ූයේ කුමක් ද?

“නරේන් මිනිස්සුන්ගෙ හිත් රිද්දවලා ඔයා ලබන සතුට මොකක්ද? පව් නරේන්. මිනිස්සු හැමෝම ගෞරවයට කරුණාවට ආදරයට කැමතියි. මට නම් හිතෙන්නෙ හැම පිරිමියෙකුගෙන් ගැහැනියකට ලැබෙන උත්තම සැලකිල්ල කරුණාව...”

“ඉතින් හොයා ගන්නවකො එහෙම මහා කාරුණික පිරිමි කෙනෙක්. එකක් කියන්නම්. අහගන්නවා හොඳට. මං ළඟ ඔය තුට්ටු දෙකේ බොළඳ ප්‍රේම කතා නැහැ. මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා.”

එවිට ඇගේ දෙනෙත් වේදනාවෙන් රතු වූ සැටි නරේන්ද්‍රගේ සිතට වහ වහා ආවේය.

“නරේන් ඔයයි මනුෂ්‍ය ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ. මං ඔයා ළඟ ඉන්න ඕන අම්බලන්ගොඩ රූකඩයක් වගේ ද?”

“රූකඩයක් වගේ හරි, රාමුවක් ඇතුළෙ හරි, කල්දේරමක් බුජමක් ඇතුළෙ හරි ඉන්න කැමැති නම් ඉන්නවා.”

“මං යන්නද නරේන්?”

“යනවා බලන්න. ගිහින් බලනවා වෙන්නෙ මොකද කියලා.”

“මොනවා වෙන්නද? ඕන නම් ඔයා....”

ඇය ඉතා අසරණ හඬකින් පැවසූ කතාවේ අවසානයක් තිබුණේ නැත. එහෙත් ඒ දෙනෙත් තුළ වූ ඇදහිය නොහැකි සන්තාපය පසුතැවිල්ල පවසා සිටියේ මරණ බය නොවේ ද?

දැවෙන මරණ බයක් සිත ඇතිව ඇය මා අසලට වී සිටි‍ෙය් කුමක් නිසා දැයි නරේන්ද්‍ර සිතන්නට විය.

ඇගේ එකම චෝදනාව දුක තම මුවින් පිටවන ක්‍රෑර වදන් වීම තමාට එකල කොතරම් නම් සතුටක් වීද?

“මිනිස්සුන්ගෙ හිත් රිද්දවන්නෙ නැතිව ලස්සනට කතා කරනවා නම් ඔයා හොඳ මනුෂ්‍යයෙක් නරේන්. කවුරුවත් ඔයාට හොරෙක් වංචාකාරයෙක් බොරුකාරයෙක් කියන්නෙ නැහැ. ඒත් පැත්ත පළාතෙ හුඟක් මිනිස්සු ඔයා එක්ක තරහයි. ඒ ඔයාගෙ කට හින්දා. වචන හින්දා. මොන කරුමයක් ද මේ?”

එදින ගැටුමෙන් පසු පුරා දෙසතියක පමණ කාලයක් ඇය නිහඬව සිටියාය. ඒ දෙසතිය තුළ තමා විඳි ගැඹුරු පාළුව හද රිදවන්නක් වූ සැටි? එය විඳ ගත නොහැකි තැන තමා ඇය සොයා ගියේ සෝබර දෙනෙතින් නොව මවා ගත් රකුසු මුහුණකිනි. එය සිතට එකඟ රකුසුකමක් නොවුණ ද ඇයට තම ව්‍යාජ කෝපය වටහා ගැනීමට නොහැකි වීම තමාට මහත් තෘප්තියක් ගෙන දුන්නේ පුරුෂාධිපත්‍යයේ ගති සොබාවට ද?

“නරේන් මේ ලෝකෙට පුරුෂාධිපත්‍යයක් ඕන.” කතා කරන විටක ඇය කීවාය.

“හැබැයි ඒක මෘගාධිපතිකමක් වෙන්න හොඳ නැහැ. පුරුෂාධිපත්‍යය හැම වෙලේ ම ගැහැනියට ආදරය කරුණාව අනුකම්පාව දයාව තෑගි විදිහට දෙනවා නම් මේ ලෝකෙ ගෑනු මොනතරම් සතුටෙන් ජීවත් වෙයිද?”

“මං වගේ මෘගයෙක්, කුහකයෙක්, ඊර්ෂ්‍යාකාරයෙක්, වංචාකාරයෙක් ළඟ ඔය කරුණාව දයාව අනුකම්පාව කියන බොළඳ ප්‍රේම හෑලි නැහැ. ඒවා බලාපොරොත්තු වෙන්නත් එපා. මං රාක්ෂයෙක් කියලා හිතා ගන්නවා.”

“ඔයා මනුස්සකම්වලට නින්දා කරනවා.”

ඇය එවිට කීවාය. ඔහු සුපුරුදු උපහාස සිනාව පෑවේය.

“ඔව් ඒ මගෙ හැටි.”

“ඔයා ඔය ගැනම විග්‍රහ කරන්නෙ ඔය විදිහට නම් අපිට කරන්න දෙයක් නැහැ.”

“එහෙනම් කට වහගෙන ඉන්නවා.”

තම නියෝගයට කීකරු වූවා සේ මොහොතක් නිහඬව සිටි ඇය තමාට පිටුපා ඇතුළු ගැබකට ගොස් ආපසු පැමිණියේ කුඩා පාර්සලයක් අත ඇතිව බව පවසන චිත්ත රූපයක් නරේන්ද්‍රගේ මනසට ආවේය.

“ඔයාට පුංචි තෑග්ගක්. හොඳ ද බලන්න.”

ඇය එය ඔහු අත තැබුවාය. රන්වන් බෝ කොළයක් සහිත කුඩා වීදුරු භාණ්ඩය ඔහුට සතුටක් ගෙන දුන්නේය. දැන් ඒ සොඳුරු කාරුණික සිහිවටනය කැඩී බිඳී අවසානය. බෝ කොළයේ රන්වන් පැහැය ඔහුගේ ඇඟිලි තුඬින් කඩා හැලුණු රතු රුධිරයෙන් තෙත්ව නිහඬව සිටී.

“නරේන් මාමා.”

රාජඍෂි නරේන් අමතමින් දොර සමීපයේ සිටියේය. මාමාගේ පුවත්පත් සාකච්ඡාව රාජඍෂිට ද වැදගත් වී තිබිණි.

“එන්න ඍෂි.”

නරේන් යහනින් නැගිටිමින් රාජඍෂි කැඳවීය. කුටියට පිවිස තරුණයා පළමුව දුටුවේ මාමා නොව පොළොව මත විසිරුණු වීදුරු කටු සහ මාමාගේ දෑත් තෙත් කළ රතු රුධිරයයි.

“‍මොකද මේ?”

ඔහු ඇසුවේ මවිතයෙන් විසල් දෙනෙතින් හාත්පස බලමිනි.

“මං පින්තූරයක් හොයා ගන්න මේ අල්මාරිය අරින කොට ඇතුළෙ හිටපු හූනෙක් බයවෙලා මේකත් පෙරළාගෙන බිමට පැන්නනෙ. වීදුරු කටුවක් ඇඟිල්ලෙ ඇනුණා. ඔක්කොටම වැඩිය මේ බෝ කොළේ ලේ ගෑවුණානෙ.”

නරේන් දුක් සිනාවකින් කීවේය. මාමා ඔහුට අත්‍යවශ්‍ය සමීප භණ්ඩ මිස අන් කිසිවක් ළඟ තබා නොගන්නා බව දැන සිටි රාජඍෂි ඔහු‍ෙග් අත්ල මත වූ බෝ කොළයට දැඟිල්ලක් තැබුවා පමණි.

“එපා ඍෂි. මම අතයි බෝ ‍කොළෙයි සෝදාගෙන එන්නම්. ඔයා අර පත්තර ළමයි දෙන්නා ළඟට යන්න ටිකක්. බන්දුල හරි නිලන්තට හරි එන්න කියන්න මෙතන සෝදා දෙන්න.”

“බෙහෙත් ටිකක්.”

“හරි. හරි. යන්නකො. මේක පොඩි තුවාලයක්.”

“ලේ හුඟක් ගිහින්. මාමා පරිස්සම් වෙනවා මදි.”

රාජඍෂි චෝදනා කළේය. හෘද සැත්කමක් කළ රෝගියකු ස්වකීය ලේවල ඝනත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු යැයි නේෂන් වෛද්‍යවරයා කිසියම් කතා බහකදී කීවා රාජඍෂිගේ මතකයට නැගිණි. එවිට නරේන් මාමා ද එතැන සිටියේය.

“මරණය එන්නේ කියකියා නෙමේ. මම එයා එනකන් ඉන්නවා. ආ වෙලාවට යනවා.” ඔහු කී‍වේ උපහාසයෙනි.

නේෂන්ගේ දෙනෙත් විශාල විය. නරේන් යළිත් කතා කළේය. එය සාහිත්‍ය මතකයක් සිහි ගැන්වීමකි.

“එදිරිවීර සරච්චන්ද්‍ර මැතිතුමාගෙ පොතක තියෙනවා ගියොත් එන්න පුළුවන්ලු. එන්න නම් යන්න ඕනලු.”

“නරේන් සංසාරෙ බදා ගන්නද හදන්නෙ?”

නේෂන් වෛද්‍යවරයා ඇසුවේය. ප්‍රශ්නයට පිළිතුර කුමක් විය හැකිදැයි රාජඍෂි හොඳින් අසා සිටිය ද නරේන්ද්‍ර නේෂන් වෙතට හැරී සෙමෙන් කී වදන් පෙළ ඔහුට ඇස‍ුණේ නැත. මාමා ජීවිතය ගැන කලකිරුණු මිනිසෙක් ද? රාජඍෂිගේ සිතෙහි ගැටලුවක් උපන්නේය. ඒ එදාය. පසුව එය අමතක විය.

Comments