වෙඩි තියද්දීත් පලාගිය කොල්ලකරුවන් මෙල්ල කළ පොලිසිය | Page 5 | සිළුමිණ

වෙඩි තියද්දීත් පලාගිය කොල්ලකරුවන් මෙල්ල කළ පොලිසිය

 පොලිස් නිලධාරියා සමාජය තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරයි. සමස්ත ජනතාවගේ ජීවිත හා දේපළ සුරකියි. රැයක් දවාලක් නොමැතිව අත්විඳින්නාවූ සියලු දුක් කම්කටොලු විඳ දරා සේවය කරයි.

ඒ රාජකාරිය දේවකාරිය සේ සලකා සේවය කරන පොලිස් නිලධාරියාගේ ගුණාංගය. ජීවිතය දෙවනුව සලකා රාජකාරිය කළ එවැනි පොලිස් නිලධාරීන් දෙදෙනකු ගැන ඉකුත් 20 වැනි දින හලාවත පොලිසියෙන් වාර්තා විය. ඒ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් කාන්තාවගේ‍ ගෙළ බැඳි රන්මාලයක් කඩා යතුරු පැදියකින් පලායන පුද්ගලයන් දෙදෙ‍නකු අත්අඩංගුවට ගැනීමය.

සැබවින් ම එය ත්‍රාසජනක ක්‍රියාවකි. කොටින් ම හින්දි චිත්‍රපටයක ජවනිකාවක් මෙනි. මාරවිල නගරයේ වූ මේ සිදුවීමේ වීර චරිත දෙක වූයේ හලාවත පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන පොලිස් සැරයන් (31620) මංගල හා පොලිස් කොස්තාපල් (36670) අධිකාරිය.

ඔවුන් එදින සිය දෛනික රාජකාරිය සඳහා සුපුරුදු ලෙස පොලිසියෙන් පිටත් වූ‍ෙ‍ය් උදෑසන 5.50 ට පමණ ය.

සැරයන් මංගල යතුරුපැදිය පදවයි. අධිකාරි පිටුපස අසුනේ ය. රාජකාරි දිනයක් වූ එදින හලාවත නගරය කලබලකාරී බවක් ඉසිලීය. පොලිස් නිලධාරීහු දෙදෙනා නගරයේ වාහන හසුරුවමින් සිය රාජකාරියේ නිරත වෙමින් සිටියහ. අඩහෝරාවක පමණ කාලයක් එසේ සිය රාජකාරියේ නිරත වෙමින් ඔවුහු පුත්තලම මාර්ගයේ ඉදිරියට ඇදෙන්නට වූහ. උදෑසන 6.45 පමණ වන විට නිලධාරීන් දෙදෙන සිටියේ හැලඹවටවන මහා විද්‍යාලය ආසන්නයේ ය.

හැලඹවටවන විද්‍යාලය හලාවත පුත්තලම මහා මාර්ගය ආසන්නයේ පිහිටා තිබේ. හලාවත නගරයේ සිට විද්‍යාලයට ඇත්තේ කිලෝමීටර් අටක පමණ දුරක්. පාසල් දරු දැරියන්ට ආරක්ෂිතව ගමන් කිරීමට මාර්ගයේ රථවාහන පාලනය කිරීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය විය. පැය භාගයකට ආසන්න කාලයක් එතැන රැඳී සිටිමින් වාහන හසුරුවද්දී හලාවත දිසාවේ සිට ඉදිරිපස විදුලි ලාම්පුව දල්වාගෙන පවනට බඳු වේගයෙන් පැමිණි යතුරු පැදියක් පොලිස් නිලධාරින් දෙදෙනා ඉදිරියේ නතර විය. යතුරු පැදියේ වූයේ මැදිවියේ පිරිමියෙකි.

“රාලහාමි මීට ටිකකට කලින් මෙතනින් ගිය මෝටර් සයිකලේ ගිය දෙන්නා මගෙ නෝනාගේ චේන් එක කඩාගත්තා. අර ඈත යන්නේ ඒ බයික් එක තමා‍” යැයි ඔහු උස් හඬින් කීවේය.

ඔහු පලායන යතුරු පැදියේ අංකය ද පොලිස් නිලධාරීන්ට පැවසුවේ ය.

සැරයන් මංගල වහා ක්‍රියාත්මක විය. කොස්තාපල් අධිකාරි ද කැටුව ඈත තිතක් මෙන් පෙනෙන යතුරු පැදිය ඉලක්ක කරගෙන සිය යතුරු පැදිය ධාවනය කරන්නට වූයේ ය.

පුත්තලම - කොළඹ මාර්ගය දැඩි කලබලකාරී ය. ඉදිරියෙන් පැමිණෙන වාහන සහ ඉදිරියට යන වාහන පිටුපස අසුනේ සිටින කොස්තාපල් අධිකාරි විසින් ක්‍රමානුකූලව පාලනය කරද්දී සැරයන් මංගල වේගයෙන් පලායන යතුරු පැදිය පසුපස හඹායයි. මෙලෙස කිලෝමීටර් කීපයක් ම පස්සෙන් පන්නාගෙන ගමන් කළ පොලිස් යතුරු පැදිය පලා යන යතුරු පැදියට ආසන්න වෙද්දී පලායන්නෝ සිය යතුරු පැදියේ වේගය තවත් වැඩි කළහ. සැරයන් මංගල ද පසුබට නොවී ය. ඔහු ද සිය යතුරු පැදිය වේගය වැඩි කළේ ය.

ඉදිරියෙන් යන්නේ පල්සර් වර්ගයේ යතුරු පැදියකි. යතුරු පැදිය පදවන්නා නිල්පැහැති ඩෙනිම් කලිසමක් සහ කළු පැහැ හෙල්මටයක් පැලඳ සිටී. දෑස් පමණක් විවෘත වන සේ සුදු රෙදි කැබැල්ලකින් මුහුණ ආවරණය කරගෙනය. ‘කැමා’ කොට කලිසමක් සහ කොළ පාට ටී ෂර්ටයකින් සැරසී සිටි පිටුපස අසුනේ වූ තැනැත්තා මුහුණ නිරාවරණය වන සේ නිල් පැහැති හෙල්මටයක් පැලඳ සිටී. අධික වේගයෙන් ධාවනය වූ පොලිස් යතුරු පැදිය සැකකරුවන් ගමන් ගත් යතුරුපැදිය ආසන්නයට පැමිණි‍ෙය් ය. කොස්තාපල් අධිකාරි ඔහුගේ ඉණේ රඳවා තිබූ පිස්තෝලය අතට ගත්තේ ය.

“ඒයි නැවතියල්ලා නැත්නම් වෙඩි තියනවා.” උස් හඬින් කෑ ගැසී ය. කීප වතාවක් එසේ අණ කළ ද ඊට අවනත නොවූ සැකකරුවෝ යතුරු පැදියේ වේගය තවත් වැඩ කළහ. සැරයන් මංගල යතුරු පැදියේ වේගය වැඩි කරමින් ඔවුන් හඹා යන්නේ ය. සැකකරුවෝ වාහනවලට වෙට්ටු දමමින් යතුරු පැදියෙන් පලා යෑමට උත්සාහ කරති. වේගය වැඩි කරමින් පොලිස් යතුරු පැදිය ඔවුන් එකට ළංවෙද්දී පලායන යතුරු පැදියේ පිටුපස අසුනේ සිටි සැකකරු අත්බෝම්බයකට සමාන දෙයක් අතැතිව “ළං වෙන්න එපා” ළඟට ආවොත් මරනවා‍” යනුවෙන් පවසමින් දමා ගැසීමට මෙන් සූදානම් විය. මේ අතර සැරයන් මංගලගෙන් කොස්තාපල් අධිකාරිට උපදෙස් ලැබුණේ අහසට වෙඩි තබන ‍ලෙස ය.

“වෙඩි තියනවා නැවතියන්” එසේ පවසමින් කොස්තාපල් අධිකාරි අහසට වෙඩි කීපයක් එල්ල කළේ ය. එහෙත් යතුරු පැදිය ඉදිරියට ගමන් කරයි.

පොලිස් නිලධාරීහු මෙලෙස කීපවරක් ම පලායන කොල්ලකරුවන්ට අනතුරක් සිදු නොවන සේ ඔවුන් මෙල්ල කර ගැනීමට උත්සාහ දැරූහ. කොල්ලකරුවන් මහ මඟ දිවෙන අනෙක් වාහනවලට වෙට්ටු දමමින් ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් පලායද්දී මහමඟ සිටින ජනතාව නෙත් අයාගෙන එදෙස බලා සිටියේ විමතියෙනි. ඇතැම් රියදුරන් සිය වාහන පසෙකට කර නවතා ගත්තේ මහ මඟ සිදුවන මේ කලබැගෑනියට මුහුණ දීගත නොහැකි වය.

මෙලෙස තවත් කිලෝමීටර් කීපයක් පලා යන යතුරුපැදිය පසුපසින් හඹා ගිය ද ඔවුන් යතුරුපැදිය නවත්වන බවක් නොපෙනේ. අවසානයේ සැරයන් මංගලට තීරණයක් ගැනීමට සිදුවිය. සැකකරුවන් ගමන් කරන යතුරු පැදියේ පිටුපස ටයරයට වෙඩි තැබීමට ඔහු උපදෙස් දුන්නේ ය. මේ වෙද්දී යතුරු පැදි තරගය මුන්දලම පොලිස් වසමේ කීරියන්‍කල්ලිය මංසන්දියට අසන්නට තිබිණ. කොස්තාපල් අධිකාරි වහා ක්‍රියාත්මක වී ඉදිරියෙන් යන යතුරුපැදියේ පිටුපස රෝදයට වෙඩි කීපයක් එල්ල කළේ ය.

කීරියන්කල්ලිය මංසන්ධිය ආසන්නයේ ඇඟලුම් කම්හලක් පිහිටා තිබේ. දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන මෙම ආයතනය ඉදිරිපිට තරමක් කලබලකාරීය. ඒ මොහොතේ ඇඟලුම් කම්හල ඉදිරිපිට කහ ඉර මතින් පාර මාරුවන ඇඟලුම් සේවිකාවන් පිරිසකට ඉඩදී මාර්ගයෙන් වාහන කීපයක් නැවතිලා ය. වෙට්ටු දමමින් අධික වේගයෙන් පැමිණි සැකකරුවන් ගේ යතුරු පැදිය කහඉර මතින් ගමන් කරමින් සිටි කාන්තාවගේ ගැටී යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා සහ එහි ගැටුණු කාන්තාව මාර්ගයේ ඇද වැටුණහ. වේගයෙන් පැමිණි පොලිස් යතුරුපැදිය අනතුරක් නොවී නවත්වා ගැනීමට සැරයන් මංගල සමත් විය. ක්ෂණයකින් පනහකට අධික පිරිසක් රොක් විය. යතුරු පැදියේ සිටි දෙදෙනා සීරීම් තුවාල සහිතව ආයාසයෙන් නැඟිට ගත්හ.

පිටුපස ගමන් ගත් අයගේ දකුණු කකුල ලෙයින් තෙත් ව තිබිණ. එල්ල කළ වෙඩි පහරක් කකුලට වැදී තිබීම ඊට හේතුවයි. තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා රැස්ව සිටි අයගේ ද සහායෙන් මාර්ගයේ ගමන් ගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් හලාවත මහ රෝහලට ද තුවාල ලද කාන්තාව මුන්දලම රෝහලට ද ඇතුළත් කෙරිණ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 20 සහ 28 පසුවන තරුණයන්ය. ඔවුන් නවගත්තේගම කෝන්කඩවල සහ වගයාමඩුව ප්‍රදේශයේ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ ය.

මේ වනවිට ඔවුහු හලාවත මහ ‍රෝහලේ පොලිස් ආරක්ෂාව සහිතව ප්‍රතිකාර ලබති.

කාන්තාවගේ ගෙල බැඳි රන්මාලය කඩා ගන්නා අවස්ථාවේ ඔවුන් අතට එහි පෙන්ඩනය පමණක් පත්ව තිබේ. දැලි පිහියක්, යකඩ කොකු 2 ක්, ආරක්ෂක අංශ භාවිතා කරන ටී ෂර්ට් එකක්, පොලිස් නිලධාරීන් භාවිතා කරන ටීෂර්ට් එකක් සහ ජංගම දුරකථන 2 ක් ද ඔවුන් සතුව තිබී පොලිස් බාරයට ගෙන තිබේ.

කඩාගත් රන්මාලය හිමි කාන්තාව ආරච්චිකට්ටුව ආයුර්වේද මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍යවරියෙකි. ඇය තම ස්වාමිපුරුෂයා සමඟ සිය පුතා ආරච්චිකට්ටුව ප්‍රාථමික විද්‍යාලයට කැටුව යමින් සිටියදී යතුරුපැදියෙන් පැමිණ පුද්ගලයන් දෙදෙනා රන්මාලය කඩාගෙන තිබේ.

ජීවිතය පරදුවට තබා කොල්ලකරුවන් මෙල්ල කළ සැරයන් මංගලට හා පොලිස් කොස්තාපල් අධිකාරිට ප්‍රදේශයේ ජනතාව සිය ප්‍රණාමය පළ කරති.

හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරි කුමාර පේලිගේ මහතාගේ අධීක්ෂණය යටතේ හලාවත පොලිස් ස්ථානාධිපති මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් මත මෙහි ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.

මිහිර විජේසේකර
මාරවිල සමූහ 

Comments